~

මිනීමරු විශේෂඥ ජොස්තර මහේෂි විජේරත්න මැරුණු ලෙඩුන්ටත් ඔපරේෂන් කරලා; අධිකරණයේ දිග හැරේ; පැමිණිලිකරුට ජීවිත තර්ජන; මහේෂි යළි රිමාන්ඩ්..! ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, චික් විතරක්..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.25, පෙ.ව.4.15) අල්ලස් හෝ දුෂණ විමර්ශන විමර්ෂන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවත් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා ය.

මෙම පැමිණිල්ල ඊයේ (ජූනි 24) කැඳවූ අවස්ථාවේදී සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අදාළ වෛද්‍යවරිය මෙන් ම, ඇයගේ සේවකයෙකු වශයෙන් කටයුතු කළ නිමල් රංජිත් මුතුකුඩ සහ රෝහල් වාට්ටුවේ ලිපිකරුවකු වශයෙන් කටයුතු කළ කේ.එල්. ඉන්දික යන සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

"අල්ලස් කොමිසමේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්," බව සඳහන් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ "සැකකාර වෛද්‍යවරිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටින එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය," බව ය.

රෝහලේ එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය දීපු ගේම..

“ඇය දෙවන හා තුන්වන සැකකරුවන් හරහා EVD නමැති ශල්‍ය අයිතමය රෝගීන්ට වැඩි මිලකට මිලදී ගැනීමට සලස්වා තිබෙනවා. මෙම EVD නමැති ශල්‍ය අයිතමය ජයවර්ධනපුර රෝහලේ රුපියල් 17,500.00 ක මුදලකට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා,” ඔහු පැවසුවේ ය.

“නමුත් මේ සැකකාර වෛද්‍යවරිය මෙම අයිතමය මිලදී ගැනීම සඳහා එම්.එන්.එම්. මෙඩිකල් සර්විස් නමැති ආයතනයකට යොමු කරනවා. මෙම ආයතනය පිළිබඳ විමර්ශනය කිරීමේදී අපට අනාවරණය වුණා එහි හිමිකරු යුශාන්ත මනෝජ් ද සිල්වා නැමැත්තකු බව. පසුව මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා සැකකාර වෛද්‍යවරියගේ සැමියා වන නයිජල් නමැත්තාගේ අවශ්‍යතාවය මත මෙම සමාගම ආරම්භ කළ බව,” නිලධාරියා කරුණු දැක්වූයේ ය.

“2010 වසරේ නයිජල් නමැති මෙම සැකකාරියගේ සැමියා මියයාමෙන් පසුව එම සමාගමට අදාළ සියලු ලේඛන සැකකාර වෛද්‍යවරියට භාරදී තමන් ඉන් ඉවත් වූ බවත් එම පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා,” යනුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා මෙම කරුණට අදාලව සැකකාර වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 88 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් කළේ ය.

රෝහලේ තිබියදීත් පිටතින් මිල දී ගන්න කියලා..

එම ප්‍රකාශ වලට අනුව ශල්‍යකර්ම වලට භාජනය කරන රෝගීන්ට අවශ්‍ය කරන EVD නැමැති ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී ඒවා පිටතින් මිලදී ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරිය රෝගීන්ට දැනුම් දී තිබෙන බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බව ද ඔහු කියා සිටියේ ය.

ඒ අනුව මෙම ක්‍රියාවලිය සිදුවී ඇති බවට අනාවරණය වී ඇති ආකාරය අදාළ නිලධාරියා මෙලෙස කරුණු දක්වමින් පැහැදිලි කළේ ය.

රෝගීන්ගේ වත්කම් අනුව ගණන් කියලා..

“ස්වාමීනී. ශල්‍යකර්ම වලට භාජනය කරන රෝගීන්ට අවශ්‍ය කරන අයිතමය පිටතින් මිලදී ගන්නා ලෙසත්, ඒ සඳහා තුන්වන සැකකාර ලිපිකරු හමුවන ලෙසත් සැකකාර වෛද්‍යවරිය රෝගීන්ට දැනුම් දෙනවා. ඒ අනුව රෝගීන් තුන්වන සැකකරු හමුවූ පසුව ඔහු දෙවන සැකකාර මුතුකුඩ නමැත්තාගේ දුරකථන අංකය ලබාදෙනවා.”

“පසුව මුතුකුඩ නමැත්තාගෙන් මුදල් ගෙවා එම අයිතමය ලබා ගැනීම රෝගීන් විසින් සිදු කරනවා. මෙහිදී අය කරන මිල ගණන් එකිනෙකට වෙනස්. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. මෙසේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ කිසිම අවස්ථාවක රෝගීන්ගේ අතට ලබා දෙන්නේ නෑ.”

“ඒවා කෙලින්ම ශල්‍යාගාරයට තමයි යොමු කරන්නේ. ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද නිලධාරීනියගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මේ බව තහවුරු වෙලා තිබෙනවා. එම නිලධාරීනිය ප්‍රකාශ කළා පිටතින් එම උපකරණ රැගෙන’විත් දෙන බවත්, නැතිනම් සැකකාර වෛද්‍යවරිය ඇතැම් අවස්ථාවල ඒවා ශල්‍යාගාරයට රැගෙන එන බවත්.”

ඒ අනුව රු. 17,500.00 ක් මුදලකට රෝහලින් මිලදී ගත හැකි මෙම ශල්‍ය උපකරණය මෙම සැකකරුවන් විසින් රු. 150,000.00 සිට රු. 250,000.00 දක්වා මුදලකට සැකකාර වෛද්‍යවරියගේ පෞද්ගලික ආයතනය හරහා අලෙවි කර තිබෙන බවත්, ඊට අදාල බිල්පත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීයා සඳහන් කළේ ය.

කවුද මේ “හෙමාෆාම්”

මෙම සැකකරුවන් විසින් “හෙමාෆාම්” නමැති ආයතනයකින් මෙම උපකරණ මිලදී ගෙන තිබෙන බව එම නිලධාරියා පැවසීය.

අදාළ ශල්‍ය අයිතමය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තිබෙන බවත් යම් හෙයකින් එය නොමැති බව අනාවරණය වුණොත් පැය දෙකක් වැනි කාලයක් තුළ ඒවා ලබාගත හැකි හදිසි මිලදී ගැනීමේ ක්‍රම පවා රෝහල තුළ තිබියදී සැකකාර වෛද්‍යවරිය මෙලෙස රෝගීන් බාහිර ආයතනයක් වෙත යොමු කර තිබෙන බවත් එම නිලධාරියා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

වාර්ෂික මිලදී ගැනීම් සිදු කිරීමේදී ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන EVD නමැති ශල්‍ය උපකරණය මිලදී ගැනීමට අවශ්‍ය පිරිවිතර ඉදිරිපත් කිරීම මෙම වෛද්‍යවරිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළ අවස්ථා තිබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා සඳහන් කළේය.

පැමිණිල්ලක් කළාම ඔහුට ගාණක් දී ෂේප් කරලා..

මෙලෙස වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීම සම්බන්ධයෙන් චාමර අබේවර්ධන නමැත්තෙකු පැමිණිලි කිරීමෙන් පසුව “කාරියවසම්” නමැති නීතිඥවරයෙකු ඔහු කැඳවා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී එම ආරවුල සමථයට පත් කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ඔහු පැවසීය.

මෙම වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව [ජූනි 23 වැනිදා] වන විට ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ දුරකථන අංකයට ඇමතුම් 92 ක් පමණ ලැබී තිබෙන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ය.

පැමිණිලි කළ චාමරට ජීවිත තර්ජන කරලා..

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කැළඹීමක් හටගෙන තිබෙන අතර මෙම වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ චාමර ප්‍රසාද් අබේවර්ධන නමැති පුද්ගලයාට මේ වන විට ජීවිත තර්ජනය එල්ල වී ඇති බවට තොරතුරු හෙළි ව ඇති බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට කරුණු දක්වා සිටියේ ය.

මේ නිසා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට ඔවුන් ලබන 08 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, චික් විතරක්...

අල්ලස් කොමිසමේ නිලධාරියාගේ කරුණු දැක්වීමෙන් පසුව සැකකාර වෛද්‍ය මහේශී විජේරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි…, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන කැළඹීමක් පවතින බව අල්ලස් කොමිසමේ නිලධාරියා ප්‍රකාශ කළා. මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ එතන මාධ්‍ය හිටියා,” යැයි පැවසුවේ ය.

“එතනට මාධ්‍ය ආවේ කොහොමද? පුද්ගලයෙක්ව අල්ලන්න කලින් ඒක අල්ලස් කොමිසමෙන් මාධ්‍යයට කියනවා. සමාජ මාධ්‍යවලින් කෘත්‍රිම රැල්ලක් ඇති කර තිබෙනවා. ඒවා මත නඩු අහන්න බෑ. එවැනි කාරණා ඔබතුමිය නඩු ඇසීමේදී සැලකිල්ලට ගන්නෙත් නැහැ කියලා අපි දන්නවා,” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

වැඩිදුරටත් කරුණු දක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවන බව ය.

ස්වාමීනී, මේ සැකකාරිය සිදු කරන්නේ ඉතාම සියුම් සැත්කම්. පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගැනීම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර රෝහල කියන්නේ මුදල් අය කරලා ශල්‍ය කර්ම කරන ආයතනයක්. එහි සිදු කරන ශල්‍යකර්ම සඳහා ඕනෑතරම් පිටතින් උපකරණ රැගෙන තිබෙනවා. මේක පළවෙනි අවස්ථාව නෙවෙයි. රෝහලේ අලවා තිබෙන දැන්වීමක් පවා ඉදිරිපත් ඉදිරිපත් කරනවා. එහි සඳහන් වෙනවා පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගෙන ඒමට අවසර තිබෙන බව,” නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

“රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නෙවෙයි. ඒ නිසා තමයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 වසරේ. එතැන් පටන් මේ දක්වා විමර්ශන සිදුවෙනවා. මගේ සේවාදායිකාව කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ,” යැයි පවසමින් ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති නිසා ඇය ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අල්ලස් කොමිසම කිසි අවස්ථාවක මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නෑ..

සැකකාර රෝහල් ලිපිකරු වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් “සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කරලා තිබුණා පිටතින් ඖෂධ හා උපකරණ මිලදී ගැනීම වරදක් නැහැ කියලා. ඒක සෞඛ්‍ය අමාත්‍යංශයට කරන උදව්වක් ලෙසත් ඔහු ප්‍රකාශ කර තිබුණා,” යනුවෙන් පැවසුවේ ය. එසේ නම් මෙම ක්‍රියාව වරදක් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

(මෙය කරුණු විකෘති කිරීමකි. නියෝජ්‍ය ඇමැති කියා තිබුනේ පිටතින් ඖෂධ මිල දී ගැනීම රෝගීන්ට කරන ලෙස නොව ප්‍රාදේශීය රෝහල් බලධාරීන් සහ කළමණාකාරිත්වය විසින් කළ හැකිය කියාය. මේ සම්බන්ධ නිවැරදි නිල පුවතක් ලංකා ඊ නිව්ස්හි වෙනම තැනක පළවේ. https://www.lankaenews.com/news/16573/si -ලංකා ඊ නිව්ස්)

විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දැක්වූවා ය.

රෝගියා මැරිලත් ඔපරේෂන් කරලා...

“ස්වාමීනි…, අල්ලස් කොමිසම කිසිඳු අවස්ථාවක මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නෑ. මෙම සැකකාර වෛද්‍යවරිය සුළු ආබාධ පවතින ශල්‍යකර්ම අවශ්‍ය නොවන රෝගීන්ටත් ශල්‍යකර්ම සිදු කර තිබෙනවා. මරණාසන්න රෝගීන් පවා හදවත යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක වෙමින් තිබියදීත් ඇය ශල්‍යකර්ම සිදු කර තිබෙනවා. අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා ශල්‍යකර්මයට භාජනය වූ එම රෝගියා මියගොස් දින පහක් ගත වී ඇති බව.”

“ස්වාමීනි…, මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්. ඇයට ඇප ලබා දුන්නොත් විමර්ශනවලට බාධා සිදුවෙන්න පුළුවන්,” යනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට කරුණු දැක්වූවා ය.

එම කරුණු දැක්වීම්වලට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු දැඩිව විරෝධය පළ කළහ.

දෙපාර්ශවයම ම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, අනතුරුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා ය.

මූලාශ්‍රය – බීබීසී

---------------------------
by     (2025-06-24 22:57:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links