~

ඉරාන-ඊශ්‍රායල් යුද්ධයේ දින 12 තුල “පොඩි සාතන්” විසින්, ගාසාවේ ආහාර ගන්න පෝලිම් වල කුසගින්නේ සිටි අසරණ පලස්තීන ජනයා 900 ක් ඝාතනය කරලා..!

-ආනුභාවනන්ද හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.25, පෙ.ව.10.45) ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් පැවැති දින දොළහක කාලය තුළ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ අහිසංක පලස්තීන ජාතිකයන් නමසියයක් ඝාතනය කර තිබේ. මේ අතරින් බහුතරය ආහාර සහ අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍යය ලබා ගැනීමට පැමිණි නිරාහාර අහිසංක පලස්තීන පුරවැසියන්ය. පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව, ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කළ පලස්තීන ජාතිකයන් අතර දරුවන් සහ කාන්තාවන් විශාල සංඛ්‍යාවකි. පසුගිය අඟහරුවාදා (24) දිනය තුළ පමණක් ආහාර සහ අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍යය ලබා ගැනීමට පැමිණි නිරාහාර අහිසංක පලස්තීන ජාතිකයන් අසූ එක් දෙනෙකු ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කරනු ලැබීය. ඊශ්‍රායල හමුදා ප්‍රහාර සහ ඩ්‍රෝන යානා හරහා සිදු කළ ප්‍රහාර හරහා ආහාර සහ ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන අසල ඝාතනය කරනු ලැබූ සංඛ්‍යාව පනස් එකකි. පසුගිය අඟහරුවාදා, ආහාර සොයා යන පලස්තීන ජාතිකයන් විසිහත්දෙනෙකු දකුණු රාෆා හි දී පමණක් ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කරන ලදී.

ගාසාවේ පලස්තීන  ජනතාව නිරාහාරයේ තබයි..

පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව වසර 2023 ඔක්තෝම්බර් 7 වන දා සිට ගාසා තීරයේදී ඝාතනය කරනු ලැබූ පලස්තීන ජාතිකයන්ගේ  සංඛ්‍යාව දැන් 56,000 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතර මිය ගිය දරුවන්ගේ සංඛ්‍යාව  17,000 කට අධිකය. මේ අතර ඊශ්‍රායලය මාස දෙකකට වැඩි කාලයක් ගාසා තීරය සඳහා වන සියළු සැපයුම් මාර්ග සම්පූර්ණයෙන්ම කපා හරින ලදී. ඒ හරහා ගාසාතීරයේ පලස්තීන වැසියන් නිරාහාරව තබා ඒ මගින් හමාස් සංවිධානයට පීඩනයක් නිර්මාණය කිරීම නෙතෙන්යාහු ආණ්ඩුවේ උපක්‍රමය විය. මේ නින්දාසහගත ක්‍රියාමාර්ගය හරහා ගාසාතීරයේ දැවැන්ත සාගතයක් නිර්මාණය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNWRA) දිගින් දිගටම අනතුරු ඇඟවීය. එහෙත්  නෙතෙන්යාහු ආණ්ඩුව එම අනතුරු ඇඟවීම් මෙන්ම ගාසාවේ ජනතාව නිරාහාරයේ නොතබන ලෙසට යුරෝපා රටවල් ඇතුළු අතිබහුතරයක් වූ ලෝක ප්‍රජාවගේ ඉල්ලීම් නොසලකා හැරියේ ය. ඔවුන්ගේ එම ක්‍රියා මාර්ගයට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වූයේ ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය පමණි.  ඔවුහු යුද උපක්‍රමයක් ලෙස සිවිල් වැසියන් කුසගින්නේ තැබූහ.  අවසානයේ මැයි මස 27 වන දා ඊශ්‍රායල් සහ ඇමරිකානු රජයන්ගේ  අනුග්‍රහය යටතේ ගාසා මානුෂීය පදනම (Gaza Humanitarian Foundation) නමින් නව පෞද්ගලික  සංවිධානයක් පිහිටුවන ලදී. එම සංවිධානය ඊශ්‍රායල් හමුදාවේ අධීක්ෂණය යටතේ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම ආරම්භ කළේ ය.

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ගැටුමේ “ආයුධයක්”...

දශක ගණනාවක් පුරා පලස්තීන ජනතාවගේ සුබසාධන සඳහා කටයුතු කළ United Nations Relief and Works Agency for Palestine Refugees (UNRWA) අක්‍රීය කර මේ නව පෞද්ගලික  සංවිධානය පිහිටුවා ගනු ලැබූවේ ගාසාතීරයේ පලස්තීන ජනතාවට බෙදාදෙන ආහාර සහ අත්‍යවශ්‍ය ආධාර  ද්‍රව්‍ය, ගැටුමේ “ආයුධයක්” වශයෙන් භාවිතා කිරීම සඳහාය. UNRWA සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ අනෙකුත් මානුෂික ආධාර ලබාදෙන සංවිධානයන්ට තම සැපයුම් ගාසාතීරයට ගෙන ඒම නෙතෙන්යාහු ආණ්ඩුව විසින් තහනම් කර ඇත. මේ සංවිධාන විසින් මෙතෙක් සිදු කරනු ලැබූ ආහාර සහ අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍ය, බෙදාදීම් ජාත්‍යන්තර මානුෂීය ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන් යටතේ සිදු කරනු ලැබීය.

UNRWA ආයතනය යනු කුමක් ද?

වසර 1949 දෙසැම්බර් 8 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 302 (IV) යෝජනාව මගින් UNRWA ආයතනය පිහිටුවන ලදී. එම ආයතනය වසර 1950 මැයි 1 වන දින සිය මෙහෙයුම් ආරම්භ කළේය. පලස්තීන සරණාගතයින් සඳහා සෘජු සහන සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නව ආයතනයේ ඉලක්කය විය. පලස්තීන සරණාගත ගැටලුවට විසඳුමක් නොමැති විට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නැවත නැවතත් UNRWA හි කටයුතු බලාත්මක කරන ලදී.   මෑතකදී  එහි කටයුතු වසර 2026 ජුනි 30 දින දක්වා බලාත්මක කරන යෝජනාවක් මහා මණ්ඩලය සම්මත කළේ ය. UNRWA සේවාවන් එහි මෙහෙයුම් ක්ෂේත්‍රවල ජීවත් වන, අදාළ නිර්වචනයන්ට අනුකූලව,  ආයතනයේ ලියාපදිංචි වී සිටින සහ සහාය අවශ්‍ය සියලු දෙනාටම ලබා ගත හැකිය. වසර 1950 දී UNRWA සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන විට, එය පලස්තීන සරණාගතයින් 750,000කගේ පමණ අවශ්‍යතා සඳහා ඉටු කළේ ය. අද වන විට, පලස්තීන සරණාගතයින් මිලියන 5.9 කට පමණ UNRWA සිය සේවාවන් සපයයි. 

ආහාර සහ ආධාර ලබා ගැනීමට පැමිණි 500ක් ඝාතනය කරයි…

වසර හැත්තෑ පහකට ආසන්න කාලයක් පලස්තීන ජනතාවට සහන සේවා සැපයූ UNRWA අක්‍රීය කර නෙතන්යාහු ආණ්ඩුවට සහ ඇමරිකාවේ ට්‍රම්ප් ආණ්ඩුවට සම්බන්ධ ගාසා මානුෂීය පදනම ආහාර සහ අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍ය බෙදා හැරීම සමඟ සිදුව ඇත්තේ කුමක් ද? පිළිතුර ඉතාම සරළය. එනම් සම්පූර්ණ විනාශයකි.  ගාසා මානුෂීය පදනම විසින් පිහිටුවන ලද ආහාර සහ අත්‍යවශ්‍ය ආධාර බෙදා හැරීමේ ස්ථාන අසළ සෑම දිනකම ඊශ්‍රායල් හමුදා වෙඩි තැබීම් හේතුවෙන් දුසිම් ගණනින් නිරාහාර අසරණ පලස්තීන වැසියන් ඝාතනයට ලක්වෙයි. මේ වන විට ඊශ්‍රායල් හමුදාවේ ප්‍රහාරයන්ට ලක්ව පන්සියයක් ඝාතනය වී අතර තවත් තුන්දාහක් තුවාල ලබා තිබේ. ගාසා මානුෂීය පදනමට පලස්තීන සරණාගතයන්ගෙන් හතරෙන් පංගුවකට හෝ ආහාර සහ ආධාර ලබාදීමට නොහැකි වී ඇති අතර ගාසාතීරය දැවැන්ත සාගතයක අභිමුවට පැමිණ ඇත. යුනිසෙෆ් සංවිධානය පවසන අන්දමට මන්දපෝෂණය හේතුවෙන් ගාසාතීරයේ දරුවන් සිය ගණනක් මේ වනවිටත් මියගොස් අවසානය.

නෙතන්යාහු ආණ්ඩුවේ මර උගුල්…

UNRWA ප්‍රධානී පිලිප් ලසරිනි ගාසා මානුෂීය පදනම විසින් පිහිටුවන ලද ආහාර සහ අත්‍යවශ්‍ය ආධාර බෙදා හැරීමේ ස්ථාන පලස්තීන සරණාගතයන් සඳහා වන “මර උගුල්” වශයෙන් අර්ථ දක්වයි. මානුෂීය අවශ්‍යතාවලට වඩා ඊශ්‍රායල හමුදා අරමුණු ප්‍රමුඛත්වය දෙන බවට කනස්සල්ල පල කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය “ගාසා මානුෂීය පදනම” සමඟ වැඩ කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, මානුෂික ආධාර "හමුදාකරණය" කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ කටයුතු දැඩිව හෙළා දැක තිබේ. ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ක්‍රමය පිළිකුල් සහගත  බව බර්ලිනයේ  පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පසුගිය අඟහරුවාදා (24) දා පැවසූ පිලිප් ලසරිනි “අලුතින් නිර්මාණය කරන ලද ඊනියා ආධාර යාන්ත්‍රණය අසරණ ජනතාව අවමානයට ලක් කරන සහ පහත් කරන පිළිකුල්සහගත දෙයකි. එය ජීවිත ආරක්ෂාකරනවාට වඩා  ජීවිත අහිමි කරන මර උගුලකි” යැයි කියා සිටියේ ය.

ළමුන් මිලියනක් කුසගින්නේ…

“ගාසාහි  55,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමයින් ය. මිලියන දෙකක ජනතාවක් කුසගින්නේ සිටිති. ඔවුන්ගෙන් මිලියනයක් ළමුන් ය. මෙය අපි එය කිහිප වතාවක්ම පවසා ඇති අතර මම එය නැවත වරක් කියමි: ගාසා තීරයේ කිසිදු ස්ථානයක් ආරක්ෂිත නොවන අතර කිසිවෙකු ආරක්ෂිත නැත. රෝහල්, පාසල්, නවාතැන්, නිවාස සහ සරණාගත ස්ථාන සියල්ලටම පහර දී ඇත. වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන් සහ ආධාර සේවකයින් - ඔවුන් අතර UNRWA කාර්ය මණ්ඩලය 320 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇත” යැයි UNRWA ප්‍රධානී පිලිප් ලසරිනි අවධාරණය කළේ ය. ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශයට මෙතැනින් පිවිසිය හැක.
https://www.unrwa.org/newsroom/official-statements/press-conference-unrwa-commissioner-general-philippe-lazzarini-berlin

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ විරෝධය…

ගාසා තීරයේ අසරණව කුසගින්නෙන් පෙළෙන ජනතාවට, ආහාර ලබා ගැනීමට උත්සාහ කරන අතරතුර කුසගින්නෙන් මිය යාම හෝ ඝාතනයට  පත්වීමේ අවදානම යන අමානුෂික තේරීමට මුහුණ දී සිටින බවත්,  ආහාර ලබා ගැනීමට උත්සාහ කරන ජනතාවට වෙඩි තැබීම ඊශ්‍රායල හමුදාව නතර කළ යුතු අතර ජාත්‍යන්තර නීතියට සහ මානුෂීය මූලධර්මවලට අනුකූලව ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ජීවිත පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාර සහ අනෙකුත් මානුෂීය ආධාර පිවිසීමට ඊශ්‍රායලය ඉඩ දිය යුතු බව සහ එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් මානුෂීය ක්‍රියාකාරීන්ගේ කටයුතු සඳහා පනවා ඇති නීති විරෝධී සීමාවන් වහාම ඉවත් කළ යුතු බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශක  තමීන් අල්-කීටන් පසුගිය අඟහරුවාදා (24) අවධාරණය කළේ ය.

සෑම ඝාතනයක් පිළිබඳ කඩිනමින් සහ අපක්ෂපාතීව විමර්ශනයක් අවශ්‍යයි…

“ගාසා මානුෂීය පදනම මැයි 27 වන දින ක්‍රියාත්මක වීමට පටන් ගත් දා සිට, ඊශ්‍රායල හමුදාව බෙදාහැරීමේ ස්ථාන කරා ළඟා වීමට උත්සාහ කරන පලස්තීනුවන්ට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, එමඟින් බොහෝ මරණ සිදුවී ඇත. වාර්තා වන පරිදි, එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීනුවන් 410 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් මානුෂීය සංවිධානවලට අයත්  ආධාර රථ කිහිපය වෙත ළඟා වීමට උත්සාහ කළ පලස්තීන සරණාගතයන් 93 දෙනෙකු අවම වශයෙන් ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම්වලින් අවම වශයෙන් පලස්තීනුවන් 3,000 ක් තුවාල ලබා ඇත” යැයි පෙන්වා දෙන තමීන් අල්-කීටන්, මේ සෑම ඝාතනයක් පිළිබඳ කඩිනමින් සහ අපක්ෂපාතීව විමර්ශනය කළ යුතු අතර, ගිනි අවි නීති විරෝධී ලෙස භාවිතා කිරීම හේතුවෙන් සිවිල් වැසියන් ඝාතනය කිරීම සහ තුවාල කිරීම ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් සහ යුද අපරාධයක් බව පෙන්වා දුන්නේ ය.

ආහාර ආයුධයක් බවට පත්කිරීම යුද අපරාධයක්…

“ගාසා තීරය පුරා පලස්තීන ජාතිකයෝ  කුසගින්නෙන් සහ අනෙකුත් ජීවිතාරක්ෂක අවශ්‍යතා නොමැතිකමෙන් පීඩා විඳිති. ඊශ්‍රායලයේ වසා දැමීම් සහ අවහිර කිරීම් මෙන්ම මානුෂීය ආධාර ඇතුළුවීම සහ බෙදා හැරීම සඳහා නීති විරෝධී ලෙස පනවා ඇති සීමාවන් හේතුවෙන් ගාසා තීරය සාගතයේ අද්දරට පැමිණ ඇත. ඊශ්‍රායලයේ මිලිටරිකරණය වූ මානුෂීය ආධාර යාන්ත්‍රණය ආධාර බෙදා හැරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනිය. එය සිවිල් වැසියන් අනතුරේ හෙළන අතර ගාසා තීරයේ විනාශකාරී මානුෂීය තත්වයට දායක වේ. ජීවිතාරක්ෂක සේවාවන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශය සීමා කිරීමට හෝ වැළැක්වීමට අමතරව, සිවිල් වැසියන් සඳහා ආහාර ආයුධකරණය කිරීම යුද අපරාධයක් වන අතර, එය ජාත්‍යන්තර නීතිය යටතේ අනෙකුත් අපරාධවල අංගයන් විය හැකි” යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ ප්‍රකාශක තමීන් අල්-කීටන් අවධාරණය කළේ ය. ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශයට මෙතැනින් පිවිසිය හැක. https://www.ohchr.org/en/press-briefing-notes/2025/06/gaza-palestinians-seeking-food-continue-be-killed-israeli-military

ආහාර ඉල්ලා පැමිණෙන සරණාගතයන් ඝාතනය මනුෂ්‍යත්වයට කරන නිගාවක්…

ගාසා මානුෂීය පදනම ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් බෙදා හැරීම ආරම්භ කිරීමෙන්  පසුව එම ආධාර ලබා ගැනීමට එන නිරාහාර පලස්තීන ජාතික සරණාගතයන් ඝාතනය කිරීම දිනපතා සිදුවන අතර එය දැන් සාමාන්‍යකරණය වී තිබේ. මේ වන විට ඊශ්‍රායල් හමුදාවේ ප්‍රහාරයන්ට ලක්ව පන්සියයක් ඝාතනය වී අතර තවත් තුන්දාහක් තුවාල ලබා තිබේ.  මේ ජීවිත විනාශ වළක්වා ගැනීමට නම් වහාම ගාසා තීරයේ පෞද්ගලික මිලිටරිකරණය කරන ලද මානුෂීය ආධාර මෙහෙයුම් අවසන් කළ යුතුය. මේ මිලිටරිකරණය සහ පුද්ගලීකරණය කරන ලද ආධාර බෙදා හැරීමේ ආකෘතිය මූලික මානුෂීය මූලධර්ම මෙන්ම ජාත්‍යන්තර සරණාගත නීති උල්ලංඝනය කරයි. යුද උපක්‍රමයක් ලෙස සිවිල් වැසියන් කුසගින්නේ තැබීම යුද අපරාධයකි. ඒ සියල්ලට වඩා ආහාර ලබා ගැනීමට පැමිණෙන නිරායුධ නිරාහාර ජනතාවට වෙඩි තබා ඝාතනය කිරීම යනු මනුෂ්‍යත්වයට කරන නිගාවකි. දශක හතකට ආසන්න කාලයක් පලස්තීන සරණාගතයන්ට ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් බෙදා හැරීමට මූලික වූ UNWRA ඇතුළු එක්සත් ජාතීන්ට සම්බන්ධ මානුෂීය ආධාර සංවිධානයනට එම කාර්යය යළි පවරා ගාසා තීරය සඳහා වන සැපයුම් මාර්ග විවෘත කිරීමට නෙතන්යාහු ආණ්ඩුව කටයුතු කළ යුතුය. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාව බල කළ  යුතු වන්නේ මෙය දේශපාලන ප්‍රශ්නයක් නොව මානව ශිෂ්ටාචාරයේ ගෞරවය පිළිබඳ සදාචාරාත්මක ගැටළුක්, අර්බූදයක් බැවිනි.

(මෙහි දැක්වෙන සේයාරූ වල දැක්වෙන්නේ ජුනි 24 සහ ජුනි 11 දෙදින තුල 'පොඩි සාතන්' ඝාතනය කළ ආහාර ලබා ගැනීමට පැමිණි නිරාහාර පලස්තීනුවන්ගේ පෝලිම් ය. මෙම සේයාරූ ඝාතනයට පෙර ලබා ගත් ඒවා ය. එක් සේයාරුවක් (ජුනි 24) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ප්‍රසිද්ධ කරන ලද එකක් වන අතර අනෙක (ජුනි 11) ගෙටී ඉමේජයකි)

-ආනුභාවනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-06-25 05:19:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links