(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.27, පෙ.ව. 5.55) අයථා වත්කම් රැස්කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම මඟින් ඊයේ (26) අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සීමා හේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සැකකරු ජූලි 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ය.
අයථා ලෙස උපයා ගත් වත්කම්හි වටිනාකම නිශ්චිත ලෙස නොපෙන්වා වංචනික ලෙස අවප්‍රමාණය කර පෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ සීමා හේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ක්‍රියා කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවත්වන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව අධිකරණය හමුවේ කොමිසම කියා සිටියේ ය.
යම් යම් පුද්ගලයන් තමන්ට ආධාර ලබාදුන් බව සැකකරු ප්‍රකාශ කළ ද එම පුද්ගලයන් ඒ බව ප්‍රතික්ෂේප කරන බව කියා සිටි අල්ලස් කොමිසම, සැකකරු අයථා ලෙස උපයාගත් වත්කම්හි වටිනාකම නිශ්චිත ලෙස නොපෙන්වා වංචනික ලෙස අවප්‍රමාණය කර පෙන්වීමට ක්‍රියා කර ඇතැයි ද වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු පාණදුර පිංවත්ත ප්‍රදේශයේ පන්සලක බුදු පිළිමයක් සෑදීමට රුපියල් ලක්ෂ 145ක් යොදවා පසුව එම මුදල ලක්ෂ 350ක් දක්වා වැඩි කර ඇති බව ද අල්ලස් කොමිසම දැනුම් දුන්නේය.
“ස්වාමීනි, එම විහාරස්ථානයේ හාමුදුරුවන් එවකට පිළිකා රෝගී තත්ත්වයක සිටියදී මුදල් සංශෝධනය ගැන දිවුරුම් ප්‍රකාශයක් ලබා දී අත්සන් ලබා ගෙන තිබෙනවා. පිළිම වහන්සේ විවෘත කිරීමේදී සඳහන් කළ නියමිත මුදල් ප්‍රමාණය පසුව ඵලකයක් සෑදීමට ලෙස සඳහන් කර පසුව සංශෝධනය කර තිබෙනවා.
එමෙන්ම ලක්ෂ 92 කට නිශ්චල දේපොළක් මිලදී ගැනීමට මුදල් වැය කරලා පසුව එය ලක්ෂ 40 ක් බව දක්වලා තිබෙනවා. නමුත් ඔහුගේ බිරියගෙන් ලබාගත් ප්‍රකාශ අනුව එදින ලක්ෂ 92ක් ලබා ගෙන ඔප්පුව මිලදී ගත් බව සඳහන් වුණා.”
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ (නීති) සඳහන් කරනු ලැබුවේ, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට තිබෙන අතර සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු විය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළාය.
සේයාරුව - දිනමිණ
---------------------------
by (2025-06-27 00:39:30)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි