~

ගහපු පදයකුත් නැති, බෙරේ පලුවකුත් නැති, ට්‍රම්ප් සහ 'පොඩි සාතන්ගේ' ඉරාන ප්‍රහාරය...!

-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.27, පෙ.ව‍. 7.10) ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හෙවත් 'පොඩි සාතන්' ගේ  දොල දුක සංසිඳුවීමට, ඉරානයේ ෆෝඩෝව් සහ ඉස්ෆහාන් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකන් එක්සත් ජනපදය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට කිසිදු පසුබෑමක් සිදු වී නැති බව මේ වන විට සනාථ වෙමින් තිබේ.

න්‍යෂ්ටික විශේෂඥයින් දැන් විශ්වාස කරන්නේ ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කිරීමට දින කිහිපයකට පෙර, ඉරානය න්‍යෂ්ටික අවි 10 ක් සඳහා ප්‍රමාණවත් තරම් අධික ලෙස පිරිපහදු කළ යුරේනියම් කිලෝග්‍රෑම් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් රහසිගත ස්ථානයකට ගෙන ගොස් ඇති බවය.

ඇමරිකානු ගුවන් ප්‍රහාර ඉරානයට එල්ල කිරීමට දින කිහිපයකට පෙර, එම මධ්‍යස්ථානවලින් පිටව යන ට්‍රක් රථ පෙළක් චන්ද්‍රිකා ඡායාරූප තුළ සටහන් වී ඇත. (එම සේයාරුව මෙහි දැක්වේ)

මේ තත්ත්වය තුළ එක්සත් ජනපද සහ ජාත්‍යන්තර පරීක්ෂකවරුන්ට එම යුරේනියම් ඇති ස්ථානය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.

ඉරාන ප්‍රහාරයේ විනාශය ගැන පරස්පරයක්..

ඇමරිකාව විසින් ඉරාන න්‍යෂ්ටික බලාගාර වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව, සමාලෝචනය කරන ලද රහසිගත එක්සත් ජනපද බුද්ධි වාර්තාවකින් පළමුවෙන් කියා සිටියේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මාස කිහිපයකින් පමණක් පසුබෑමට ලක් වී ඇති බවය. නමුත් ඊට පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවය. ඒ අනුව එක්සත් ජනපද බුද්ධි වාර්තාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට වඩා පටහැනි විය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) පවසන්නේ පසුගිය සති අන්තයේ පැවැති ඉරානයේ යුරේනියම් පිරිපහදු කිරීමේ පහසුකම මේ වන විට ෆෝඩෝ හි තවදුරටත් ක්‍රියාත්මක නොවන බවය.

IAEA හි අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි, ඔහුගේ කණ්ඩායම සමඟ අවසන් වරට ඉරානයේ යුරේනියම් තොගය සත්‍යාපනය කර ඇත්තේ පසුගිය ජුනි 13 වන දින බව තහවුරු කළේය. එතැන් සිට මෙම ද්‍රව්‍යය ඇති ස්ථානය පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව ග්‍රොසි CNN වෙත පවසා ඇත.  

ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, මේ පිළිබඳ අවිනිශ්චිතභාවය පිළිගනිමින් ඒබීසී ප්‍රවෘත්ති වෙත පවසා ඇත්තේ ඉදිරි සති කිහිපය තුළ තමන් යමක් කරන බව සහතික කිරීමට කටයුතු කරන බවය. ඉරානයේ පිරිපහදු කළ යුරේනියම් දැන් තියෙන්නේ කොහේදැයි එක්සත් ජනපදය දන්නේද යන්න වැන්ස් තහවුරු කළේ නැත.

ඇමරිකාව ගහන්න පෙර ඉරානය බඩු හංඟලා...

ඉරානයේ ෆෝඩෝ ඉන්ධන සුපෝෂණ පහසුකමෙන් පිටත ස්ථානගත කර ඇති භාණ්ඩ ට්‍රක් රථ 16 ක්වත් පෙන්වන චන්ද්‍රිකා ඡායාරූප, ජුනි 19 සහ 20 යන දිනවල මැක්සාර් ටෙක්නොලොජීස් විසින් ලබා ගත් බව තහවුරු කර තිබේ.

එක්සත් ජනපදය "Operation Midnight Hammer" දියත් කිරීමට දින කිහිපයකට පෙර ගන්නා ලද ඡායාරූප, ආරක්ෂක විශ්ලේෂකයින් විසින් විස්තර කළේ, සංවේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය හෝ උපකරණ ඉවත් කිරීමට ගත් "වියරු උත්සාහයක්" ලෙසය. 

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, එක්සත් ජනපද ප්‍රහාරවලට පෙර දිනවල ඉරානය සියයට 60 ක් පිරිපහදු කළ යුරේනියම් කිලෝග්‍රෑම් 400 ක් ඉවත් කර ඇති බව ඊශ්‍රායල නිලධාරීන් දෙදෙනෙකු ද පවසා ඇත.

ඉරානයේ අධික ලෙස පිරිපහදු කළ යුරේනියම් සියල්ලම පාහේ රහසිගත ස්ථානයකට මාරු කර ඇති බව ජ්‍යෙෂ්ඨ ඉරාන මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

පෙන්ටගනය පවසන්නේ කුමක්ද?

ඊයේ (26) දින පෙන්ටගනයේදී පැවති සාකච්ඡාවකදී, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ජෙනරාල් ඩෑන් කේන් ඇමරිකාව සිදු කළ ප්‍රහාරක මෙහෙයුම ආරක්ෂා කළ අතර, ඉරානයේ යුරේනියම් ගෙන ගොස් තිබේද යන්න පිළිබඳව අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ. (එහි සේයාරුවක්ද මේ සමග ඇත)

හෙග්සෙත් මෙම ප්‍රහාර "ඓතිහාසික වශයෙන් සාර්ථක ප්‍රහාරයක්" ලෙස නම් කළ අතර අර්ධ විනාශයක් පමණක් සිදු වී ඇතැයි ප්‍රකාශ  කරන මුල් බුද්ධි වාර්තාව කෙරෙහි පුනපුනා අවධානය යොමු කිරීම ගැන විවේචකයන්ට අභියෝග කළේය.

"ඔබට එය විනාශ වූ බව කියන්න අවශ්‍යයි, ඔබට එය පරාජය වූ බව කියන්න අවශ්‍යයි, ඔබට එය මුලිනුපුටා දැමූ බව කියන්න අවශ්‍යයි - ඔබ ඔබේ වචනය තෝරන්න," යැයි හෙග්සෙත් වාර්තාකරුවන්ට පැවසීය. මෙය ඓතිහාසික වශයෙන් සාර්ථක ප්‍රහාරයක් යැයි ඔහු අවධාරණය කළේය.

ඉරානයේ යුරේනියම් පිරිපහදු කිරීමේ භූගත සංකීර්ණය විනාශ කිරීම සඳහා වසර 15 ක රහසිගත පර්යේෂණයක නියැළුණු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සිදු වූ බවත් ජෙනරාල් කේන් පැවසීය.

යුරේනියම් ගෙන යන ලද්දේ දැයි කෙලින්ම විමසූ විට, හෙග්සෙත් කීවේ යුරේනියම් තිබිය යුතු තැන නොතිබූ බව පවසන කිසිදු බුද්ධි තොරතුරක් ගැන තමන් නොදන්නා බවය.

කෙසේ වෙතත්, ආරක්ෂක බුද්ධි ඒජන්සිය සොයා ගත්තේ මෙම ප්‍රහාර මගින් "සැලකිය යුතු" හානියක් සිදුවී ඇති බව නමුත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ වූ බව ප්‍රකාශ කිරීමට තවමත්  ප්‍රමාණවත් කාලයක් නොමැති බවය.

සියලුම න්‍යෂ්ටික ද්‍රව්‍ය නිසි තැන පැවතුනේද යන්න තීරණය කිරීමේදී DIA නිලධාරීන් අඩු විශ්වාසයක් පළ කළ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පැවසීය.

පිරිපහදු කළ යුරේනියම්, හෙක්සාෆ්ලෝරයිඩ් (UF₆) කිලෝග්‍රෑම් 400ක්- දළ වශයෙන් රාත්තල් 880ක් - ගෙනයාමට ඉරානයට අවශ්‍ය වන්නේ 30B වර්ගයේ B(U) ප්‍රවාහන සිලින්ඩරයක් පමණි.

මෙම විශේෂිත සිලින්ඩර ආසන්න වශයෙන් අඩි 4 සිට 4.3 දක්වා උසකින් සහ අඩි 3 සිට 3.9 දක්වා විෂ්කම්භයකින් යුක්ත වන අතර පිරවූ විට බර රාත්තල් 6,070 කට ආසන්න වේ. මෙම සිලින්ඩරයක යුරේනියම් කිලෝග්‍රෑම් 1,534 (රාත්තල් 3,380 ක් පමණ) දක්වා රඳවා තබා ගැනීමේ හැකියාව ඇති අතර, මුළු කිලෝග්‍රෑම් 400 ප්‍රමාණය ගබඩා කිරීමට එක් සිලින්ඩරයක් ප්‍රමාණවත් වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ බහුලව භාවිතා වන කාර්මික වාහනවලින් එකක් වන ෆෝඩ් එෆ් -150 හි බර පැටවීමේ ධාරිතාව ආසන්න වශයෙන් රාත්තල් 3,300 ක් වන අතර එය පිරවූ සිලින්ඩරයක් ආරක්ෂිතව රැගෙන යාමට ප්‍රමාණවත් වේ.

IAEA ලොක්කා ආරක්ෂක මණ්ඩලයට අනතුරු අඟවයි...

ජූනි 22 ප්‍රහාරවලින් පසු ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ( IAEA) පරීක්ෂණ නැවත ආරම්භ කර නොමැති අතර, අඛණ්ඩ මිලිටරි ආතතීන් මධ්‍යයේ ඉරානය ජාත්‍යන්තර ප්‍රවේශය අත්හිටුවා ඇත. 

අඛණ්ඩ මිලිටරි උත්සන්න වීම මෙම අත්‍යවශ්‍ය කාර්යය ප්‍රමාද කරවන බව ග්‍රොසි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අනතුරු ඇඟවූයේ රාජ්‍ය තාන්ත්‍රිකව නැවත සම්බන්ධ වීමට බල කරමිනි.

මේ අතර ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය තක්ට් රාවන්චි, ටෙහෙරානය සිය න්‍යෂ්ටික අභිලාෂයන් අඩු කරනු ඇති බවට පැතිර යන ප්‍රචාරය  ප්‍රතික්ෂේප කළේය. "අපි කළ යුතු දේ සහ නොකළ යුතු දේ කිසිවෙකුට අපට පැවසිය නොහැක,"  යනුවෙන් ඔහු ඉරාන මාධ්‍යට ප්‍රකාශ කොට ඇත.

ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ කළත්, ක්‍රීඩාව අවසන්ව නැති බවත්,  පිරිපහදු කළ යුරේනියම්, දේශීය දැනුම සහ දේශපාලනික කැමැත්ත නොවෙනස්ව පවතිනු ඇති බවත්,  උත්තරීතර නායක අලි කමේනිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන අලි ෂම්කානි වඩාත් සෘජුව ප්‍රකාශ කොට ඇත.

සියයට 60 ක්  පිරිපහදු කළ යුරේනියම් - තාක්ෂණිකව ආයුධ නිපදවීමේ ශ්‍රේණියට වඩා තරමක් අඩුය.  එහෙත් තවදුරටත් පිරිපහදු කළහොත් ඒවා බහු න්‍යෂ්ටික අවි  ආයුධ  නිපදවීමට ප්‍රමාණවත් වනු ඇත. මැයි මාසය වන විට, ඉරානය සතුව එම ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 408.6 ක් තිබූ බව IAEA වාර්තා කළේය.

සටන් විරාමයෙන් පසු  කමේනි කට අරී...

මේ අතර, ඊශ්‍රායලය සමඟ සටන් විරාමයෙන් පසු ඉරානයේ කමේනි ප්‍රථම වරට ඊයේ (26) දින ප්‍රසිද්ධියේ අදහස් දැක්වීය.

වීඩියෝ ප්‍රකාශයක් මඟින් අදහස් දැක්වූ අයතුල්ලා අල් කමේනි, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය පරාජය කිරීම සම්බන්ධයෙන් ඉරාන ජනතාවට සුබ පැතුවේය.

එක්සත් ජනපදය යුද ගුවන් යානා මගින් පසුගිය ඉරිදා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට බෝම්බ හෙලීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය මෙය විය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12 ක ගැටුම අතරතුර ඔහු ප්‍රකාශ දෙකක් නිකුත් කර තිබුණ ද, ඉරිදා ඇමරිකානු හමුදා ප්‍රහාරයෙන් පසු ඔහු කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෝ පටිගත කළ පණිවිඩ නිකුත් කර නොතිබුණි.

ඉරාන නිලධාරීන් මීට පෙර පවසා තිබුණේ කමේනි  බංකරයක නවාතැන් ගෙන සිටින බවත්, ඔහුට එරෙහි ඝාතන උත්සාහයන් වැළැක්වීම සඳහා කිසිදු විද්‍යුත් සන්නිවේදනයකින් වැළකී සිටින බවත්ය.

මෙම වීඩියෝ පටය තුළ අයතුල්ලා කමේනි, ලා දුඹුරු පැහැති තිරයක් ඉදිරිපිට අසුන්ගෙන සිටි අතර, ඔහුගේ වම් පසින් ඉරාන ධජයක් සහ දකුණු පසින් ඉස්ලාමීය ජනරජයේ පළමු නායකයා වූ අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ ඡායාරූපයක් ද තිබුණි. මෙම පටිගත කිරීම සිදු කළේ කවදාද යන්න පිළිබඳව පැහැදිලි සලකුණු වීඩියෝවේ නොතිබුණි. (මෙහි ඊට අදාල සේයාරුවක් ඇත.)

ඔහු, එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් සිදු වූ හානියේ තරම අවතක්සේරු කළ අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ඉරණම ගැන කතා කළේ නැත.   නමුත් මෙම ප්‍රකාශය ඉරානය ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව සිදු කරන ලද බවක් පෙනෙන්නට තිබුණි.

කටාර්හි ඇමරිකානු හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් ඉරානය පළිගත් අතර, අඟහරුවාදා ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ විය.

කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් යම් හානියක් සිදු වූ බව ඔහු ප්‍රකාශ කළ අතර අවශ්‍ය නම් ඉරානයට නැවතත් පියවර ගත හැකි බවට ද අනතුරු ඇඟවීය. 

කෙසේ වෙතත් ඇමරිකානු කඳවුරකට ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව ඇමරිකාව නිහඬව සිටි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය විය. 

සුනිල් ගාමිණී ජයලත්ගේ

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106

---------------------------
by     (2025-06-27 02:06:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links