~

අක්කර දහයක පමණ වගුරු සහිත කුඹුරක් අනීතිකව ගොඩකර තට්ටුගානක ගොඩනැගිල්ලක් හදන මේ තක්කඩියා කව්ද? නීතිය කොහේද? වගුර ගොඩ කිරීමෙන් අනාගත මහා විනාශයක්..!

-අනුරාධපුරයේ තිසර සමල් වාර්තා කරයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.01, ප.ව‍.3.10) අනුරාධපුර ආලංකූලම ප්‍රදේශයේ හග්ගමුව කැලේ වගුරු සහිත කුඹුරු ඉඩමක අක්කර දහයක පමණ ප්‍රමාණයක ඉදි කෙරෙන ප්‍රධාන ගොඩනැගිල්ලක් ඇතුළු හිතුමතේ ඉදිකරන විවිධ ගොඩනැගිලි  ඉදිකිරීම්, වගුරු බිම ගොඩ කිරීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් මුනිවත රැකීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.

උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ පරිසරවේදී පී.බී. දිසානායක මහතා ප්‍රමුඛ පරිසරවේදීන් පිරිසක් මේ පිළිබඳව අල්ලස් කොමිසමට දැනුම් දීමට කටයුතු කර ඇත.

හිටපු මහ දිසාපති ජනක ජයසුන්දර මහතා, නාච්චයාදූව  ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා ප්‍රාදේශීය මෙන්ම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ ද අනුමැතිය නොමැතිව ඉකුත් ආණ්ඩු සමයේ 2024 වසරේ මේ සඳහා ගොවිජන සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අවසර ලබා දී තිබිණි. මේ වනතුරුත් වර්තමාන දිසාපතිවරයාගේත්, ප්‍රාදේශීය ලේකම්වරයාගේත් අනුමැතිය  මෙයට ලැබී නොමැත.

හිටපු ගොවි ජන සේවා කොමසාරිස් ජෙනරාල් විශ්‍රාම යන්න කලින් ගහපු ගේමක්..

එහෙත් මේ සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ මෙන්ම මාධ්‍ය මගින් දිගින් දිගටම දැනුවත් කිරීම හේතුවෙන් ඉකුත් වසරේ මේ වගුරු සහිත කුඹුරු ඉඩම තහනම් කර ඉදිකිරීම් සඳහා අවස්ථාව ලබා දුන්නේ නැත. ඉකුත් වසරේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඡන්ද ප්‍රචාරක කටයුතු පවත්වන අවස්ථාවකදී හිටපු ගොවි ජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර කාටත් හොර රහසේම තමාගේ තනි බලේ පාවිච්චි කර නැවත එම ඉඩමට අවසරය ලබා දී ඇත.

පසුව පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති මහමතිවරණයෙන් පසු නැවත මේ මාතෘකාව කරළියට පැමිණියේය.

ව්‍යාජ දැන්වීම් පුවරු ගහලා වැඩේ කරනවා..

ඉකුත්(2024) වසරේ දෙසැම්බර් 12 වැනිදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ ප්‍රශ්නය පැන නැගිණි. සාමාන්‍ය පුරවැසියෙකුට අදාළ ලිපි ලේඛන සියල්ල සම්පූර්ණ කරගත්තත් මෙවැනි කටයුත්තකට නිලධාරීන්ගෙන් අවසර ලබා ගැනීම ඉතා අසීරු වූ බවත් මෙය ව්‍යාපාර කටයුත්තක් සඳහා බැවින්ද මේ සඳහා අවසර දිය යුතු ආයතන කිහිපයක් අවසර නොදී තිබියදී නැවත අවසර ලබාදීම තුළ පැහැදිලිවම අල්ලසක් දූෂණයක් වංචාවක් සිදුව ඇති බවට පෙනී යන බව මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. එහෙයින් ස්ථිරව නොව තාවකාලිකව මෙහි සියලු කටයුතු නවතා මුල සිට පරීක්ෂණ පවත්වන ලෙසටත් එහිදී නිවැරදිව මෙය සිදුවී ඇත්නම් අවශ්‍ය අවසරය ලබා දෙන ලෙසටත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එහෙත් සිදු වූයේ එයට හාත්පසින් ම වෙනස් දෙයකි. එදිනෙන් පසු නිලධාරීන්ගේ ලිහිල් උදාසීන කම්මැලි ක්‍රියා පිළිවෙත හමුවේ සිට හිමිකරු දැවැන්ත තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කළේය. කිසිදු තාවකාලික නැවැත්වීමක් හෝ කිසිදු පරීක්ෂණයක් නොපැවැත්විය. හිමිකරු විසින් වංචනිකව නාචාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙය සිදු කරන බවට දැවැන්ත පුවරුවක් ද සවි කළේය. මෙය දැනගත් නාචාදුව ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා එම ස්ථානයට ගොස් විරෝධය පළ කිරීමෙන් පසු හිමිකරු එම ව්‍යාජ දැන්වීම් පුවරුව ඉවත් කර ගනු ලැබිණ. නමුත් මාස හතක් වැනි කෙටි කලක් තුළ මේ වන විට දැවැන්ත ඉදිකිරීම් රැසක් සිදුකරමින් සිටියි.

අනාගතයේ විශාල ජල ගැල්මකට..

මෙහි වාර්තා සැකසීමේදී නිසියාකාර ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද නොකර මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධනාධිකාරිය ආදී ආයතන කිහිපයක් ලිපි ගොණු මගින් පමණක් මෙහි නීත්‍යානුකූල බව සකස් කර ඇති බවද කියැවේ.

විශාල ජලගැලීම් සිදුවන දිනවලදී ඓතිහාසික යෝධ ඇල හරහා පිටාර ගලන ජලය, ඉස්මත්තියේ ඇති කුඩා වැව හරස් කිරීම තුළින් වගුරු බිම හරහා ආලංකූලම වැවට ගලා යන ජලය හරස්වීමෙන් අනාගතයේ මාර්ගය මෙන්ම එම ගම්මානයද ආසන්නයේ කුඹුරුද මහා ජල ගැල්මකට හසුවන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

පරිසර වේදියෙකු ලෙස වෙස් මුහුණු ලාගත් පුද්ගලයෙකු..

නුවර වැවේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මහා හඬක් නැගූ පරිසර වේදියෙකු ලෙස වෙස් මුහුණු ලාගත් පුද්ගලයෙකු මේ කටයුත්ත සිදු කරගෙන යෑමට සහයෝගය ලබා දෙන බවට චෝදනාවක් නැගේ. ඔහුගේ බිරිය ආණ්ඩුව නියෝජනය කරමින් පළාත් පාලන ආයතනයක නියෝජිතවරියක වශයෙන්ද කටයුතු කරන බවට චෝදනා කෙරේ. ඒ හේතුවෙන්ම ඔහුගේ දේශපාලන බලය මේ සඳහා යොදා ඇති බැවින් වසන්ත සමරසිංහ මහතාගේ උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක නොකෙරෙන බවටද සැකයක් මතුව ඇත. මේ පුද්ගලයා මෙවැනි අකටයුතු වැඩවලින් මුදල් උපයා ඇත්දැයි සොයා බැලීමට ඉදිරියේදී සංවිධාන කිහිපයක් මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුටද පරීක්ෂණයක් ඉල්ලීමට නියමිතයි.

මේ වන විට වගුරු බිමේ ජලය පිරී පැවති ස්ථානයක් සම්පූර්ණයෙන් ගොඩ කර ඉවතලන ලද ගොඩනැගිලි කොටස් මහා පරිමාණයෙන් රැගෙන විත් පුරවමින් තිබේ. ඒ සඳහාද කිසිදු නිලධාරියෙකුගේ බාධාවක් ඇතිවී නොමැත.

සියල්ල පිටුපස ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය හෝ නැතත් වෙනත් හස්ත කිහිපයක්

හිටපු ගොවි ජන සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සහ මෙයට සම්බන්ධ වූ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අල්ලස් කොමිසම මගින් පවත්වන ලෙසට  දිසානායක මහතා ඉල්ලා සිටියි. වර්තමානයේ දේශපාලඥයෙක් නොව දේශපාලන ඇම්බැට්ටයන් සහ නිලධාරීන් සිදුකරන මේ දැවැන්ත නීති විරෝධී තවත් ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන්ද පරිසර වේදීහු අවධානය යොමු කර සිටිති. දැනට අල්ලස් කොමිසම මගින් දූෂණයට සම්බන්ධ වූ දේශපාලනඥයන්ට මෙන්ම මොවුන් සම්බන්ධයෙන්ද කටයුතු කරනු ඇති බවට ඔවුන් විශ්වාස කරයි.

මේ කරුණු සියල්ල පිටුපස ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය හෝ නොමැතිව වෙනත් හස්ත කිහිපයක් මේ සඳහා බලපෑම් කරන බවටද පරිසර වේදීහු සැක පළකරති. එමෙන්ම පසුගිය ආණ්ඩුවට විපක්ෂයෙන් එක් වී ඇමතිකමක් ලබාගත් පුද්ගලයෙකුද මේ සඳහා ඉකුත් වසරේ මුල් වකවානුවේදී සහයෝගය ලබා දී ඇති බවට තොරතුරු  ලැබී ඇත.

සේයාරූ සහ වාර්තාව

අනුරාධපුරයේ තිසර සමල් විසිනි

---------------------------
by     (2025-07-01 09:47:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links