-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.04, පෙ.ව.3.25) රටක් ආර්ථික සහ සමාජීය වශයෙන් ඉහළට ඔසවා තැබීමේදී විශාල කාර්‍ය භාරයක් පැවරෙන එක් බලසම්පන්න යාන්ත්‍රණයක් වන්නේ රාජ්‍ය සේවය යි. එය රාජ්‍යයක් පරිපාලනය කරන යාන්ත්‍රණය යි.
ජව බලසන්පන්නව තිබිය යුතු මෙම යාන්ත්‍රණය, අලස , අකාර්යක්ෂම සහ දූෂිත තත්ත්වයට පත් වුව හොත් සිදුවන්නේ, රටක් පවතින තත්ත්වයෙන් ඉදිරියට යෑම කෙසේ වෙතත් රට පරිහානියට පත්ව අගාධයකට වැටීමය.
අපේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව පොදු ජනතාව තුළ ඇත්තේ ප්‍රසාද ජනක හැඟීමක් නොවේ. අපේ රටේ රාජ්‍ය සේවය අලස, අකාර්යක්ෂම සහ දූෂිත යැයි සමාජය තුළ පොදු මතයක් පවතී. එය අසත්‍යයක් නොවන නමුත්, ඒ තුළ ඇත්තේ අර්ධ සත්‍යයකි.
මෙම මතය අසත්‍යයක් නොවන්නේ, අවම වශයෙන් දැනට දශක හතරක සිට මේ දක්වාම රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ සිට පහළ දක්වා වූ රාජ්‍ය සේවකයන් සැලකිය යුතු කොටසක් හොරකම, වංචාව, අල්ලස, නාස්තිය සහ බොරුව යොදා ගනිමින් ජනතා මුදල් හා ජනතා දේපල කොල්ලකමින් සිටින නිසා ය.
අනෙක් අතට මෙම මතය අර්ධ සත්‍යයක් වන්නේ, රාජ්‍ය සේවයේ නිරත විශාල පිරිසක් ඉතා අදූෂිතව සහ කාර්යක්ෂමව තම රාජකාරී කටයුතු වගකීමෙන් යුතුව සිදු කරමින් සිට්න නිසා ය.
රාජ්‍ය ව්‍යවසායන් වල, නැතහොත් රජය සතු ව්‍යාපාර වල ( State Owned Enterprises) සේවයෙහි නියුතු සේවකයන් හැරුණු විට සිවිල් පරිපාලනයේ සහ ත්‍රිවිධ හමුදා වල සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් ප්‍රමාණය 1, 146, 985 කි. ( එකොළොස් ලක්ෂ හතළිස් හයදහස් නවසිය අසූපහකි.)
මෙම සංඛ්‍යාවෙන් සිවිල් පරිපාලනයට අයත් රාජ්‍ය සේවකයන්ට පමණක් වැටුප් සඳහා ගෙවන මුදල රුපියල් මිලියන 627, 501 කි. ආරක්ෂක අංශයේ සේවකයන්ට වැටුප් සඳහා ගෙවන මුදල රුපියල් මිලියන 311, 995 කි. මේ කාණ්ඩ දෙකම එකතු කොට ගත් විට රජයේ වාර්ෂික ආදායමෙන් 31% ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා රජය වැය කරයි. මෙම ගණන් හිලව් 2023 වසරට අදාල ඒවා වන අතර, 2025 වන විට මෙම ඉලක්කම් මීටත් වඩා ඉහළ ගොස් ඇති බවට සැක නැත.
රටේ සමස්ථ වැඩ කරන ජනතාවගේ සංඛ්‍යාව ගත් විට රාජ්‍ය සේවකයන් යනු එයින් හතෙන් එක කොටසක් පමණි. රටේ සමස්ථ ජනගහනය ගත් විට රාජ්‍ය සේවකයන් ඉන්නේ ඉන් විස්සෙන් එකක ප්‍රමාණය කි. මේ අනුව සැලකූ විට රටේ සමස්ථ ආදායමෙන් 31% ක් වැය කරන්නේ රටේ සමස්ථ ජනගහනයෙන් විස්සෙන් එක කොටසකට ය.
ඉහත තොරතුරු අනුව ගත් විට මෙම මිනිස් බලයත්, ඒ සඳහා වැය කරන මුදලත් විශාලය. ඒ අනුව රජ්‍ය සේවය, රාජ්‍ය යාන්ත්‍රණය, රට ඉහළට ඔසවන ගාමක බලය බවට අනිවාර්‍යයෙන්ම පත් කර ගත යුතු බව පැහැදිලිය.
අපේ රටේ දැනට පවතින රාජ්‍ය ආදායම හා දළ ජාතික නිෂ්පාදිතය සැසඳීමේ දී, රාජ්‍ය සේවය පමණට වඩා විශාල බව අවිවාදිතය. නමුත් ආර්ථික සංවර්ධනයේ අපේක්ෂා සහිතව සිටින අප වැනි රටක් මෙම වියදම ගැන පමණක් කල්පනා කොට තීන්දු ගැනීම අනුවණ කමකි. කළ යුත්තේ, වියදමට සරිලන ප්‍රතිලාභ ගැනීමට රටක් වශයෙන් අප අසමත් වූයේ ඇයි ද යන්න ගැන ගැඹුරින් සොයා බලා ඒ අනුව රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කිරීමට ක්‍රියා කිරීමය.
රාජ්‍ය සේවාවේ මුළු වියදම, ජාතික නිෂ්පාදිතය වර්ධනය කිරීමට දායක වෙනවාද? නැද්ද? යන්න සොයා බැලීමත්, දායක නොවෙනවා නම්, දායක කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා හඳුනා ගෙන, ඒ සඳහා ඉලක්ක ලබා දී ඒවා සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවය කාර්‍යක්ෂමව මෙහෙය වීමත්, රාජ්‍ය පාලකයන්ගේ වගකීම සහ කාර්‍ය භාරය විය යුතුය.
එවැනි පෙරළියකට ලක් කරනු ලබන රාජ්‍ය සේවාවකට, සමස්ථ ආර්ථිකය ඉහළ නැංවීමටත්, දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර ගැනීමටත් ස්ථීර වශයෙන්ම දායක විය හැකිය.
රටත් නංවා ජනතාවටත් සෙත සලසාදීමට හැකි විශාල විභවයක් රාජ්‍ය සේවය තුළ පවතී. එය සිදු කිරීමට නම් රාජ්‍ය සේවය තුළ බරපතළ පරිවර්තනයක් සිදු කළ යුතු ය. එකී පරිවර්තනය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, අධිකාරී, කොමිෂන් සභා, සංස්ථා සහ මණ්ඩල ආදී සියළුම රාජ්‍ය ආයතන තුළ සිදු කළ යුතුය.
රාජ්‍ය සේවය තුළ බරපතළ පරිවර්තනයක් කිරීමට ආරම්භ කිරීමත් සමගම විරෝධතා මතුවීම නොවැළැක්විය හැකිය. එවැනි විරෝධතා සහ අභියෝග ජය ගත හැක්කේ සියළු දේශපාලන පක්ෂ වලට සහ සංවිධාන වලට මෙම පරිවර්තනයේ ඇති වැදගත් කම හා රට ඉහළ තලයකට එසැවීමට එමගින් ඇති කරන සාධනීය කරුණු පිළිබඳව විවෘතව කරුණු හෙළි කිරීමෙනි.
රාජ්‍ය යාන්ත්‍රණය පිරිසිදු නම්, කාර්‍යක්ෂම නම්, ඵලදායී නම්, රටක කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය , පොදු ප්‍රවාහන සේවය ඇතුළු බොහෝ සේවාවන් වල ක්‍රියාකාරකම් මාර්ගයෙන් රටේ ආර්ථිකයේ විශාල ප්‍රාතිහාර්යයක් නිසැකවම සිදු කළ හැකිය.
ජාතික ආර්ථිකයේ ඵලදායීතාව හා කාර්‍යක්ෂමතාව කෙරෙහි රාජ්‍ය අංශයේ වගකීමත්, බලපෑමත් අතිවිශාල ය. රාජ්‍ය අංශයෙන් කළ හැකි සහ කළ යුතු වැඩ අපමණය. අවශ්‍ය වන්නේ වැඩ පවරා වැඩ කරවා ගැනීමය. එය රාජ්‍ය පාලකයන්ගේ කටයුත්ත ය. රාජ්‍ය සේවයේ සිටින පිරිස පමණට වඩා වැඩිද? නැද්ද? යන්න පාලකයන්ට තීරණය කිරීමට අවශ්‍ය තාර්කික පදනම මෙම වැඩ පැවරීම හා ඒවායේ ප්‍රගතිය අනුව සොයා ගත හැක.
රටක ආර්ථිකය යනු ක්ෂේත්‍ර ගණනාවක් පුරා පැතිර පවතින ක්‍රියාකාරකම් සමූහයකි. පෞද්ගලික අංශය ආර්ථිකයේ විශාල පංගුකාරීත්වයක් උසුලයි. රජය සතු ව්‍යාපාර සමූහයක් ද තිබේ. ගොවියෝ යනු මේ දෙකටම අයත් නොවන නමුත් ආර්ථිකයේ සක්‍රීය කොටසක් නියෝජනය කරන පරිසකි.
රාජ්‍ය තන්ත්‍රයේ සිදු කරන පෙරළියකින්, රටේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ආර්ථික සංවර්ධනයේ ඉහළ තලයන් වෙත ලඟා විය හැකිය. ඒ සඳහා උදාහරණයකට කෘෂිකර්ම ක්ෂේත්‍රය ගැන පමණක් අද විමසා බලමු.
මෙම ක්ෂේත්‍රයට අදාලව ඇති සෘජු අමාත්‍යංශය වන්නේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩමි හා වාරිමාර්ග අමාත්‍යංශය ය. ඊට අමතරව ධීවර, ජලජ හා සාගරසම්පත් අමාත්‍යංශය, වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍යංශය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය යන අමාත්‍යංශය ද මේ ක්ෂේත්‍රයට යම් අදාලත්වයක් සහිත අමාත්‍යංශය බව පැහැදිලි ය.
කෘෂිකර්ම ක්ෂේත්‍රයට සෘජු ලෙස අදාල වන අමාත්‍යංශය තුළ සහ එම අමාත්‍යංශයට අයත් රාජ්‍ය ආයතන තුළ පමණක් කොපමණ රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් සිටී ද? ඊටත් අමතරව දිවයින පුරා පිහිටා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල වලට අනුයුක්තව කෘෂිකර්ම ක්ෂේ්‍ත්‍ර නිළධාරීන් කොපමණ සිටී ද?
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් එම රාජ්‍ය සේවකයන්ගෙන් නිසි උපදේශන, පර්යේෂණ , ප්‍රවර්ධනය හා නියාමනයන් සිදු වෙනවාද? එය එසේ සිදු නොවන බව ඉතාමත් පැහැදිලිය. එය එසේ වෙනවා නම්, කෘෂිකර්ම ක්ෂේත්‍රය මේ වන විට රටේ ආර්ථික සංවර්ධනයේ ඉහළ තලයක තිබිය යුතුය.
අපි දන්නා කාලයේ සිට තවමත් විවිධ හේතූන් නිසා ගොවියෝ ඉන්නේ උද්ඝෝෂණ වලය. ඔවුන්ගේ ඵලදාවට නිසි මිලක් නැත. ප්‍රමිතියක් සහිත බීජ නැත. පොහොර නැත. රජයෙන් වගා සහනාධාර සහ විවිධ කෘෂි යෙදවුම් ලබා දුන්න ද, ගොවියෝ සෑම විටම බැංකු වලට ණය වී සිටිති. මෙම සංසිද්ධිය වරක් දෙකක් සිදුවන්නක් නොවේ. චිරාත් කාලයක් පුරාම සිදුවන්නේ මේ දෙයමය. එසේ නම් මෙතැන විසඳා ගත යුතු බරපතළ ගැටලුවක් පවතින බව පැහැදිලිය.
ප්‍රශස්ත ලෙස ඉඩම් යොදා ගන්නේ කෙසේද? පිරිවැය අඩු ගූණාත්මක බීජ මොනවාද? ඒවා ලබා දෙන්නේ කෙසේ ද? පොහොර මොනවාද? රෝග - පළිබෝධ හා ඒවාට ප්‍රතිකාර මොනවාද? ඉල්ලුම ඉහළ පහළ යන කාල වකවානු මොනවාද? දේශගුණය සැලකිල්ලට ගෙන වගා කළ යුත්තේ මොනවාද? දේශීය හා පාරම්පරික ඥාණයත්, නවීන තාක්ෂණික දැණුමත් සමායෝජනය කරන්නේ කෙසේද? වෙනත් රටවල කෘෂිකාර්මික භාවිතාවන් මොනවාද? මේ සියල්ලම රාජ්‍ය යාන්ත්‍රණයේ උපදේශනයට හා නියාමනයට අයත් කාරණාය. රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස මෙහෙයවිය යුත්තේ මේ කටයුතු වෙනුවෙන්ය. නමුත් මේවා ඒ අයුරින් සිදු නොවී ඇති බව පැහැදිලි ය.
කෘෂිකර්මයට වෙන්වූ රාජ්‍ය ආයතන වල සිටින ඉහළ නිළධාරීන්ගේ සිට පහළම සිටින ක්ෂේත්‍ර නිළධාරීන් දක්වා විශාල ප්‍රමාණයක් වැඩ මුළු, පර්යේෂණ කටයුතු , දෙස් විදෙස් පාඨමාලා වැනි එකී නොකී බොහෝ කටයුතු වලට සහභාගි වෙති. ඒ සඳහා ජනතා මුදල් ද ඇති පදම් වියදම් කරති. අනෙක් අතට එම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විවිධ දීමනාද, ගොවියන්ට ලබා දෙන සහනාධාර ද ගත් විට මහජනතාවගේ බදු මුදලින් කොපමණ ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රය සඳහා පමණක් වැය වෙනවාද යන්න මේ අනුව පැහැදිලි ය.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනයක් හෝ ගොවියාගේ ජිවන තත්ත්වයේ උසස් වීමක් හෝ නැතුවා මෙන්ම පොදුවේ රටේ සමස්ථ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට ප්‍රමාණවත් දායකත්වයක් ද මේ ක්ෂේත්‍රයෙන් ලැබෙන්නේ නැත. එසේ නම් මේ සෙල්ලම දැන්වත් නතර කළ යුතු නොවේ ද?
ඉහතින් දැක්වූයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උදාහරණය පමණි. අධ්‍යාපනය , සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය ආදී සෑම ක්ෂේත්‍රයක් තුළම පවතින්නේ මීට සමාන හෝ මීටත් වඩා දරුණු ඛේදවාචකයන් ය. මේ තත්ත්වයන් දශක ගණනාවක සිට සිදු වෙමින් පැවැතෙන්නෙකි. එනිසාම මේවා වෙනස් කළ හැක්කේ බරපතළ පෙරළියකින් පමණි. මෙම විප්ලවීය වෙනස සිදු නොකොට මේ ආණුඩුවට තියා කිසි ආණුඩුවකට මේ රට ඉදිරියට ගෙන යා නොහැක. එමෙන්ම මේ විප්ලවීය වෙනස සිදු නොකොට කිසිම ආණ්ඩුවක් අපේක්ෂා කරන සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නොහැක.
ආණ්ඩුවේ ඉහළ සිට පහල දක්වා වූ දේශපාලකයන් වංචා , දූෂණ හෝ අල්ලස් වලට සම්බන්ධ නොවී සිටීම යහපත් ය. එය රාජ්‍ය යාන්ත්‍රණය තුළ පෙරළියක් සිදු කිරීමට මහත් පිටිවහලක් සපයනු ඇත. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. දශක ගණනාවක් පුරා දූෂිත ක්‍රියාවල නිරත වූ රාජ්‍ය සේවකයන්, අදූෂිත දේශපාලකයන් දෙස බලා තමන්ගේ දුස් චරිතය කඩිනමින් සුචරිත තත්ත්වයට පත් කර ගනී යැයි සිතීම මුලාවකි.
ඇමතිවරු සාක්කුවට දමා ගැනීමට නොහැකි වූ විට මෙම දූෂිත නිළධාරීන්ගේ ඊළඟ ඉලක්කය වෙන්නේ, ඇමැතිවරු විසින් අදාල ආයතන වලට පත් කරන ප්‍රධානීන්ව තමන්ගේ සාක්කුවට දමා ගැනීමය. දශක ගණනාවක් පුරා හොරකමටම කප් ගසා සිටින මේ දූෂිත රාජ්‍ය නිළධාරීන්ගේ සූක්ෂ්ම සහ තාක්ෂණික හොරකම් හඳුනා ගැනීමට හෝ අල්ලා ගැනීමට ඇමතිවරුන් පත් කරන ආයතන ප්‍රධානීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට හැකියාවක් හෝ දැණුමක් නැත.
ඇතැම් රාජ්‍ය ආයතන වල සිටින අදූෂිත රාජ්‍ය සේවකයින් විසින්, තම ආයතනයේ සිදු කරන දූෂිත ගණු දෙණු පිළිබඳව සාක්ෂි සාධක සහිතව තොරතුරු ලබා දුන්නත් සමහර ඇමැතිවරු විසින් පත් කළ ඇතැම් ආයතන ප්‍රධානීන් ඒවාට විරුද්ධව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ නොගෙන දූෂිතයන්ව තව දුරටත් රකිමින් සිටිති.
මෙවැනි සිද්ධීන් පිළිබඳව ලිඛිත සහ ශ්‍රව්‍ය-දෘශ්‍ය සාක්ෂි මේ ලියුම්කරු සතුව පවතින බවත්, ඒවා පිළිබඳව අදාල ඇමැතිවරුන් වෙත තොරතුරු සම්පෙුක්ෂණය කළ ද ඒවාට එරෙහිව කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවත් කණගාටුවෙන් යුතුව මෙහිලා සඳහන් කළ යුතුය.
මේ දූෂිත රාජ්‍ය නිළධාරීන්ගේ මාෆියාව සුනුවිසුණු නොකොට රාජ්‍ය සේවය රටේ සංවර්ධනයේ ගාමක බලය බවට පත් කළ නොහැක.
ජාතික ආර්ථිකයේ ඵලදායීතාව හා කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා, පවතින රාජ්‍ය අංශය නිසි ලෙස යොදා ගැනීමට අවශ්‍ය විප්ලවීය පරිවර්තනය කඩිනමින් සහ නොබියව සිදු කරනු ඇතැයි අප අපේක්ෂා කරමු.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
---------------------------
by (2025-07-03 22:04:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි