~

රුපියල් කෝටි දෙක හමාරක් රජයට පාඩු කළ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන රිමාන්ඩ්..! සොයුරාගේ සහ බිරිඳගේ තනියට හොඳයි..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.05, පෙ.ව‍.2.50) හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන ලබන 18 දක්වා රිමාන්ඩු බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ(04) නියෝග කළා ය. ඒ අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. 

අල්ලස් කොමිසම අධිකරණයට කියා සිටියේ,  2014 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිලිඳු ගොවීන්ට සහනදායී මිලට ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 25 ක මුදලින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් තම දේශපාලන  හිතවතුන් මගින් බෙදා දීම තුලින් රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත චන්ද්‍රසේන අත් අඩංගුවට ගත් බවයි

එහිදී වැඩි දුරටත් අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙසේ කීය.

"ස්වාමීනී නිමල් විජේතුංග නමැති අයෙක් 2015 වර්ශයේ ජනවාරි 03 දා දූෂන මර්දන කාර්යාලයට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. සිදුකළ විමර්ශනය අනුව සැකකරු දූෂනය නම් වරද කර ඇති බවට කරුණු තහවුරු වීම නිසා සැකකරු අත් අඩංගුවට ගත්තා. සැකකරු විසින් 2015 ජනාධිපතිවරණ සමයේ දී සාමාන්‍ය නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව දේශපාලන වාසියක් ලබාගැනීමේ අරමුණින් දිලිඳු ජනතාවට බෙදා දීම සඳහා ගෙන ආ ඉඩ ඉරිඟු බීජ ප්‍රාදේශීය දේශපාලන සංවිධානයක් සමග එකතු වී තම හිතවතුන්ට බෙදා දී තිබෙනවා. ඒ වගේම ස්වාමීනී සැකකරු විසින්ම බීජ බෙදා දිය යුතු අයගේ ලැයිස්තුවත් හදා තිබෙනවා. නමුත් සාමාන්‍ය නීත්‍යානුකූල ක්‍රියා පටිපාටිය වන්නේ ලැයිස්තු සෑදිය යුතු වන්නේ සංවර්ධන නිලධාරීන් විසින්. සැකකරු විසින් මේ බීජ බෙදා දීම මැතිවරණ දිනය ආසන්නයටම පැමිණි පසු සිදුකර තිබෙනවා. මැතිවරණයේ වාසියක් ලබා ගැනීමේ අරමුණින්ම මේ සැකකරු කටයුතු කරලා. මේ ක්‍රියාවෙන් සැකකරු හිතාමතාම රජයට රුපියල් මිලියන 25 ක් පාඩු කරලා. විමර්ශන තවදුරටත් සිදුකරන බැවින් සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න කියා ඉල්ලනවා."

එහිදී සැකකාර චන්ද්‍රසේනගේ නීතිඥයා ඕනෑම ඇප කොන්දේසි මත සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. එහිදී ඇප මත නිදහස් කිරීමට විරුද්ධ වූ අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට මෙසේ පැවසීය. 

"ස්වාමිනී, මේ සැකකරුගේ බිරිඳට සහ සහෝදරයාට මහාධිකරණය විසින් දඬුවම් නියම කෙළේ මේ නඩුවේ පැමිණිලිකරු විසින්ම කරන ලද පැමිණිල්ලකට අනුවයි. ඒ තීන්දුවෙන් පස්සේ මේ පැමිණිලිකරුට සැකකාර එස්.එම්. චන්ද්‍රසේනගේ ආධාරකරුවන් විසින් පහර දීලා තියෙනවා. පහර කෑමෙන් පසුව ඔහු පොලිස් ආරක්ෂාව යටතේ දින 18 ක් රෝහල්ගතව සිටියා. ඒ වගේම ස්වාමීනී අපි මේ සැකකරු ඊයේ අත් අඩංගුවට ගන්න ගියා. මොහු ඊයේ අනුරාධපුරයේ සිටියේ නෑ. ඒ නිසයි අපිට මොහුව අල්ලස් කොමිසමට ගෙන්වන්න සිදුවුනේ. මොහුගෙන් සාක්කි කරුවන්ට බලපෑමක් තියෙනවා ස්වාමීනී. ඒ නිසා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා." 

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකාර එස්.එම්. චන්ද්‍රසේන ලබන 18 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ය.

එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ සහ සොහොයුරා රජයේ මුදල් රුපියල් ලක්ෂ 16 ක් අපහරණය කිරීමේ චෝදනාවට වරදකරුවන් වී මේ වන විට වසර 20 ක සිර දඬුවම් විඳිමිනි සිටිති. මහජන මුදල් පවුල් පිටින් හොරා කෑ විට හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ ද පවුල් පිටින්ම ය. 

මහජන මුදල් හොරා කෑ වුන්ට දඬුවම් ලබා දීමේ පරම පවිත්‍ර අරමුණින් යුතු ජනතාව විසින් මාලිමා ජනාධිපතිවරයෙක්, මාලිමා ආණ්ඩුවක් බලයට පත් නොකෙළේ නම් මේ හොර තක්කඩියන් අදත් යහතින් වැජඹෙනු නිසැක ය. 

මර්වින්ට ඇප..

මේ අතර මේ දක්වා මාස ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ බරපතල ඇප කොන්දේසි මත නිදහස් කෙරිණ. ඇප ලබා ගෙදර යන අතරේ මර්වින් කියා සිටියේ කිසිදා හිරේ විලංගුවේ වැටීමට සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරන බවයි. තම බිරිඳගේ උපදෙස් පිළිපැද්දා නම් තමන්ට මෙවන් අතවරයක් නොවන බවද ඔහු කියා සිටියේ ය. 

(සේයාරුව ලංකාදීපයෙනි)

---------------------------
by     (2025-07-04 21:32:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links