-ජ්‍යෙෂ්ඨ ගවේෂනශීලී මාධ්‍යවේදී නන්දන වීරරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.06, පෙ.ව.6.00) ‘මෙම නඩුවේ [කමල් අද්දරආරරච්චිට එදිරිව ඉනෝකා ගාල්ලගේ] තිරය පිටුපස සිදු වූ දේවල් පිළිබඳව සොයා බැලීමක් කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේ ඉනෝකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාය. ඒ වර්තමානයේ ඉතාලි තානාපති හේමන්ත වර්ණකුලසූරියයි. ඔහු මාගේ නීතිඥයා ලෙස ක්‍රියා කළ සුරංජිත් හේවාමාන්න ගේ මිත්‍රයෙක් විය.
ඔහු මෙම ඉල්ලීම කරන විට ඔහු දන්නා කරුණු සමහරක් මට විස්තර කළේය. කමල් අද්දරආරච්චිගේ නඩුව ගැන ගවේෂණයක යෙදෙන්නට කැමති දැ’යි ඒ වන විට රාවයේ වැඩ කළ නන්දන වීරරත්න ගෙන් විමසූ විට ඔහු ඊට එකඟ වීම නිසා නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය හමුවීම තොරතුරු ලබා ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.
මේ කතාවේදී උගුරු බැරැන්ඩියාගේ භූමිකාව [වෝටර්ගේට් හෙලිදරව්ව] රඟපෑවේ හේමන්තයි. එහෙත් ඒ පිළිබඳව කරන ලද වාර්තාකරණය හොඳ ගවේෂණාත්මක වාර්තාකරණයක් ලෙස සැලකිය හැකිය. මහේස්ත්‍රාත්වරයාට නළු නිළියන් සමග තිබුණු කිට්ටු සම්බන්ධයත්, මෙම නඩුවේ දී කමල් අද්දරාරච්චි නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා දක්වා තිබෙන උනන්දුවත් කරුණු සහිතව තර්කානුකූලව වාර්තා කිරීමට ඔහු සමත් විය.’
[කමල් අද්දරආරච්චි ස්ත්‍රී දූෂණ නඩුව - පෑන අහිංසකද?, වික්ටර් අයිවන්, රාවය ප්‍රකාශන- 2009]
මගේ මතකයේ හැටියට වික්ටර් [ අයිවන් - එවකට ‘රාවය’ කතුවරයා] මට මේ තොරතුරු දුන්නේ 1994 දෙසැම්බර් තෙවන සතියේ ය. වික්ටර් මට දුන් නඩු තීන්දුවට පසුබිම් වූ තොරතුරු මා අතට පත් වී සති දෙකකටත් අධික කාලයක් ගෙවී තිබුණේය. මා ඒ වන විට සම්පූර්ණ කරමින් සිටියේ ‘බටලන්ද වධකාරයට’ අදාල ‘පිරිසිදු මහත්වරුන්ගේ සපුගස්කන්ද වධකාගාරය’ [‘බටලන්දට ගිනි තැබුවෙමු’ - නන්දන වීරරත්න, Lanka Books 2023] යන ප්‍රකට ගවේෂණයයි.
1995 ජනවාරියේ ද දිනක උදේ ජැක්සන් ඇන්තනී, ජාතික රූපවාහිනියේ එකල අතිශයින්ම ජනප්‍රිය වූ ‘සුභ උදෑසනක’ ට කමල් අද්දරආරච්චි කැඳවා තිබුණේය. එහිදී ජැක්සන් තම මිතුරාට ‘ලේ වැකි රෙදි’ සොදා ගන්නට ඇති තරම් ඉඩ හසර සලසා දුන්නේය. මේ ‘ලොන්ඩරිකරණය’ කළ දාට පසු දා උදෑසනම මම පත්තර කන්තෝරුවට ගොස් ප්‍රධාන කතුවරයා [වික්ටර් අයිවන්] මුණ ගැසුනෙමි.
“ මට අද්දරආරච්චි නඩු තීන්දුවට සම්බන්ධ නීති අධාර සේවයේ නිලධාරීගේ නම් හා දුරකථන අංක දෙන්න. මම අදම වැඩේට බහිනව”
මා, මේ ඉල්ලිම කළ සුනංගුවෙන්ම ප්‍රධාන කතුවරයා මට හමුවිය යුතු නීතීඥයන්ගේ හා නිලධාරීන්ගේ නම් හා දුරකථන අංක දුන්නේය. මේ නීතීඥ කණ්ඩායමේ සිටි එකම නීතීඥවරිය ස්විනීතා ගුණරත්නය. මම ස්විනීතා ස්ත්‍රියක් වීම නිසාම පලමුව ඇයට කතා කරන්නට තීරණය කළෙමි. ඇය සිටියේ බරපතල කම්පාවකිනි. නඩු තීන්දුව වෙනුවෙන් රටේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත කළ බලපෑම ගැන ඇය විස්තර කළාය. ඇය ඒ බවට සාක්ෂි සොයා ගැනීමට අලුත් කඩේ අංක 4 දරණ උසාවියේ නිලධාරීන් හමුවන්නට සම්බන්ධතා තනා දුන්නාය. මීට අමතරව මේ නඩුවට අදාල වැලිකඩ පොලිසියේ නිලධාරීන් හමුවීමට හා නඩුවේ නෛතික පසුබිම සොයා ගැනීමට නීතීඥ හේමන්ත වර්ණ්කුලසූරිය හමුවෙන්නැ’යි මට උපදෙස් දුන්නාය.
නීති ආධාර සේවය හා පැමිණිලිකාරියගේ නීතීඥයන් නඩු තීන්දුව ගැන ‘රාවය’ දැනුවත් කරද්දී ජන සමාජය තුල යුක්තිය හා අයුක්තිය අතර පැහැදිලි බෙදීමක් පෙනෙන්නට තිබුණේය. ස්ත්‍රී දුෂණ නඩුවෙන් නිදහස් කෙරුණු විත්තිකරු හා පැමිණිලිකාරිය සපුරාම ප්‍රතිවිරුද්ධ සමාජ කණ්ඩායම් දෙකකට අයත් විය. මේ නිසා මට සිදුවීම පෙණුනේ දේශපාලන පංති කෝණයකිනි.
විතිකරු සෑහෙන ධනවතෙකි. ජනප්‍රිය නළුවෙකි. විශාල සමාජ හා දේශපාලන බලයක් දරා සිටින්නෙකි. මීට පෙර පෙම්වතියක් ඝාතනය වූ නඩුවක සැකකරුව සිටියේය. එම නඩුවේ මුළික නඩු විභාගයෙන්ම ඔහු නිදහස් කෙරුණේය. ස්ත්‍රී දුෂණය සිදු වෙද්දී කමල් අද්දරආරච්චි මුළින්ම රඟපෑ චිත්‍රපටයේ [සාගරයක් මැද -1981]අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවා වූ ‘සිනමා සක්විති’ නමින් ප්‍රකට වූ ගාමිණි ෆෝන්සේකා, ඒ වන විට පාලක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු මෙන්ම එහිම නියෝජ්‍ය කතානායකයා විය. කමල් වැලිකඩ පොලීසියට නීතීඥයන් සමඟ බාර වූ දිනයේම ඔහු බලන්නට එහි පැමිණි මුල්ම නළුනිළි කණ්ඩායමේ ගාමිණී ද විය. ප්‍රකට නළු සනත් ගුණතික ද විය. සනත්, ස්ත්‍රී දුෂණය සිදුවීමට පෙර සිටම පාලක එජාපයේ බරපතල දේශපාලන පත්වීම් දැරුවේය. එය සිදු වෙද්දී බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු විය. මුළින්ම පැමිණිළිකාරියගේ ඥාතීන්ට නඩුව ඉවත් කර ගැනීමට බල කෙරුවේ හිටපු ඇමැති මර්වින් සිල්වා ය. එසේ නොකළහොත් එවකට ඇමැති සිරිසේන කුරේගේ මැරයන් වූ ‘සොත්ති උපාලි’ හරහා දඬුවම් කරන බවට මර්වින් සිල්වා තර්ජනය කළේය. [ඉන්ද්‍රාණි තිරිමාන්න වැලිකඩ පොලිසිය කළ පැමිණිල්ල බලන්න] ඒවන විට සනත් ගුණතිලක සිටියේ එජාපයේ කුරේ කල්ලියේ නියෝජිතයෙකු ලෙසය.
නඩුව විභාගයට ගනිද්දී සනත් නව අගමැතිවරිය හා පසුව ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා කුමාරතුංග ගේ නිල මාධ්‍ය උපදේශකයා ද විය. එමෙන්ම ඔහු ඇගේ පෙම්වතා බවද ප්‍රකට විය. ගාමිණි ෆොන්සේකා උතුරු- නැගෙනහිර ආණ්ඩුකාරවරයා විය. එහෙත් පැමිණිලිකාරියගේ සමාජ හා දේශපාලන පසුබිම සපුරාම වෙනස් විය. පැමිණිලිකාරිය බිඳී ගිය පවුලක උපන් අනාථ දැරියකි. ඊළාම් යුද්ධයේ දරුවෙකි.
ඉනෝකා ගාල්ලගේ ඉපදුනේ ත්‍රීකුණමළයේ ය. ඇගේ පියා ආරියපාල ගාල්ලගේ ය. මව, ඉන්ද්‍රාණි තිරිමාන්න ය. ඇයට බාල සහෝදරයෙකි. ඊළාම් යුද්ධයෙන් අනාථ වූ ඔවුහු කොළඹට සංක්‍රමණය වූහ. උන්හිටිතැන් අහිමිවීමෙන් හා දරිද්‍රතාවයෙන් ඉනෝකාගේ පවුලේ උදවිය බරපතල ලෙස බැට කමින් සිටියහ. ඇගේ පියා, ආරියපාල සුරා ලෝලියෙකු වූ නිසා නිවසේ අඬදබර බහුල වූ බවත් මේ නිසා ඉනෝකා රැක බලා ගැනීම පුංචි අම්මා හෙවත් මවගේ නැගනියක වූ ධම්මිකා තිරිමාන්නට පැවරුණු බව ඇය පොලිසියට කියා තිබුණාය. ඇය පුංචි අම්මාගේ නිවසින් පළා යන්නට තීරණය කරන්නේ ළමා මෙහෙකාරියක වීමට තිබූ අකමැත්ත නිසාය.
ඉනෝකා ගාල්ලගේ ඈට සිදු වූ ලිංගික අතවරය ගැන පොලීසියට දුන් මුල් කට උත්තරයේ දී නොකීවාය. එහෙත් පසුව පොලීසියේ දි ඇයට කාරුණික වූ වැලිකඩ පොලිසීයේ මේට්‍රන්වරිය වූ මිරිස්සගේ කරුණාවතී ට කීවාය. ඇය ‘පිරිමි පොලීසියට’ තමාට වූ අතවරය නොකියා සිටීමේ හේතු මා ඔබට අවධාරණය කළ යුතු නැත. මේ තොරතුරු මා ඉදිරිපත් කරන්නේ ඒ වන විට සිටි දැරිය මුහුණ දී සිටි ඉරණම ගැන ඔබට යම් අදසක් ඇති කර ගන්නට ය. කවර තරමක අවදානමක් ගැනීමට වුවත් ජනමාධ්‍යකරුවෙකුට එයට කැපවීමට අත්‍යාවශ්‍ය ධෛර්ය හා අධිෂ්ඨානය සැපැයෙන හේතු තිබිය යුතුය.
ඉනෝකාගේ අවනඩුව ඇසූ සැනෙන් ඇයට යුක්තිය ඉටුකරවා දීමට අවශ්‍ය හේතු සහේතුකව ඒ තුල කදිමට මතු වී පෙනුනේය. අනෙක් අතට මහජන සේවාවක් හැටියට නීති ආධාර සේවය සමඟ එක් වූ නීතීඥවරුන්ගේ කැපවීමට ගෞරවයක් ලැබිය යුතු විය.
විනිසුරු චම්පා බුද්ධිපාලගේ ‘කැකිල්ලේ තීන්දුව’ අභියෝගයට ලක් කරන්නට තොරතුරු සපයන්නන් හැටියට ඉදිරිපත් වීමට අලුත්කඩේ උසාවියේ මෙන්ම වැලිකඩ පොලීසියේ ද අය සිටින බවට ගවේෂකයාට තොරතුරු ලැබුණේය. එහෙත් ඔවුහු සියළුදනාම ස්වකීය අනන්‍යතාව හෙළි නොකරන ලෙසට ඉල්ලා ඇති බවට අනතුරු හැඟවීමක් ද තිබුණේය. නෛතික කටයුත්තක දී තොරතුරු සපයන්නන්ගේ රහසිගතභාවය ආරක්ෂා කළ හැකි වුවත් ලැබෙන තොරතුරු අධිකරණ ක්‍රියාවළියක දී සැකයකින් තොරව ඔප්පු කිරීමට හැකි විය යුතුය.
ඒ අනුව ලැබෙන ලිඛිත සාක්ෂි ගවේෂකයා ස්වකීය දෑසින් දැක ගත යුතුය. ඒවායේ සහතික පිටපත් ද ලබා ගත යුතුය. සහතික පිටපත් නැතිනම් මුල් පිටපත්වල ඡායා පිටපත් තිබිය යුතුය. මේ සියල්ලම රාජ්‍ය ලේඛනයන් ය. සාක්ෂිකරුවෝ ද වැඩි දෙනෙක් රජයේ සේවකයෝ වුහ. නඩුව පෙරලා විභාග වූවත් නැතත් මේ විෂමාචාරය හෙළි වූ වහාම අදාල රජයේ සේවකයන් වැඩ තහනමට ලක් වන්නේය. ඔවුහු අභ්‍යන්තර විනය පරීක්ෂන වලට මුහුණ දෙති. ඇතැම් විට ඔවුන්ට රැකියා පමණක් නොව විශ්‍රාම වැටුපද අහිමි විය හැකිය. මේ අනතුරේ වගකීම පුද්ගලිකව මට පමණක් නොව මුළු පුවත්පතටම පැවරේ.
මම එබඳු බරපතල සිදුවීමක් දෙසට හැරෙන්නට සුදුසු උත්තේජනයක් නැතිව ලැබුණු තොරතුරු නොතකා කර ගෙන යමින් සිටි කටයුත්තේ නිරත වීමි.
1994 දෙසැම්බර් 14 වෙනිදා අලුත්කඩේ අංක 4 දරණ උසාවියේ විනිසුරු චම්පා බුද්ධිපාල දැරියක් පැහැරගෙන යාම හා එම දැරිය දූෂණය කිරීමේ චෝදනා ලැබ සිටි කමල් අද්දරආරච්චි නිදහස් කළේය. එතැන් පටන් “බිඳුණු වීදුරුවේ” න්‍යාය ඉදිරිපත් කරමින් රටේ ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය කමල්ගේ බිඳී ගිය විදුරුවක් බඳු ප්‍රතිරූපය අලුත්වැඩියා කිරීමේ මහාපරිමාණ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කළාය. එහෙත් මේ බිඳුණු විදුරුව අලුත්වැඩියා කෙරෙද්දී දුකට පත් පිරිසක් ද සිටියහ. ඔවුහු නම් මේ නඩුවේ පැමිණිළිකාරිය වූ ඉනෝකා ගාල්ලගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සමූහයා ය. මේ නීතිවේදීන් මෙහෙය වූයේ නීති ආධාර සේවයයි.
මේ නීතිවේදිහූ ස්වකීය සේවාදායිකාවට අධිකරණයෙන් යුක්තිය ඉටු නොවූ විට මේ අවනඩුව මහජන අධිකරණයට ගෙන යාමට ජනමාධ්‍යයේ උපකාරය පැතූහ. ඔවුන් අවසානයේ නැවතුනේ සති අන්ත, විකල්ප ටැබ්ලොයිඩ් පුවත්පතක් වූ ‘රාවය’ පුවත්පතේ දොරකඩ ලඟය. ‘රාවය’ කර්තෘ මණ්ඩලය මේ අවනඩුව ජනතා අධිකරණයට ඉදිරිපත් කිරීමට පැවරුවේ මේ ග්‍රන්ථයේ රචකයා ට ය. ඔහු එකල එම පුවත්පතට ගවේෂණනාත්මක වාර්තා හා විශේෂාංග රචනා කරමින් සිටියේය. ඔහුට නීති ඉතිහාසයෙන් මෙබඳු වාර්තා ලිවීමට ප්‍රතිපාදන සැපයෙන බව මේ නීතිවේදීහු පෙන්වා දුන්හ.
‘අධිකරණය යුක්තිය ඉටු කරනවා පමණක් නොව යුක්තිය ඉටු කරන බව ඒත්තු යන ආකාරයටත් කටයුතු කළ යුතු ය.’
‘Justice must not only be done but must also be seem to be done’.
Lord Hewart- Rex v. Sussex Justices, [1924] 1KB 256
මේ උතුම් කියමන අධිකරණ ලෝකයේ ඉහලින්ම සවි කෙරුණු බැනරයක තඩි අකුරෙන් ලියැවී තිබෙන්නේය. එහෙත් ‘යුක්තිය ඉටු කරන බව ඒත්තු නොයන විටෙක’ එයට අභියෝග කළ හැකි ද? විශේෂයෙනම ජනමාධ්‍යයට අධිකරණ තීන්දුවකට අභියෝග කළ හැකිද? අධිකරණ තීන්දුක් අභියෝග කළ හැක්කේ තවත් අධිකරණයක දී මිස පත්තර පිටු අතර නොවේ. වාසනාවකට හෙවාර්ට් සාමිවරයාගේ ඉහත ප්‍රකාශය අපේ උපකාරයට සිටියේය. අප ධෛර්යමත් කළේය. අධිකරණය යුක්තිය ඉටු නොකරයි නම්, ඉටු කරනා වගක් පෙනෙන්නට නැති නම් අපි කුමක් කරමුද? අධිකරණයේ තීන්දුවකට අභියෝග කිරීම අධිකරණයට අපහාස කිරීමේ සාපරාධි චෝදනා යටතේ බරපතල දඬුවම් ලැබීමේ අනතුර තිබේ. ලංකා අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින් අපි 1995 ජනවාරියේ අග මේ අවනඩුව වාර්තා කිරීම ආරම්භ කළෙමු.
කතු මඬුල්ල එම වගකීම පැවරූ මේ ගවේෂකයාට සමකාලීන සිනමා කර්මාන්තය සමඟ සමීප සබඳතා තිබුණේය. ඔහුට ඊට පෙර කමල් අද්දරආරච්චි පුද්ගලිකව මුණගැසී තිබුණේය. එහෙත් ජනමාධ්‍ය ගවේෂකයන්ට යුක්තිය ඉටු කිරීමට යාමේ දී පුද්ගලික සබඳතා අදාල නොවේ. එහෙත් ඔහුට හෝ ඇයට ගවේෂණයට අදාල පාර්ශවයන්ගේ අතීත කතා ඉතාම වැදගත් වේ. ඒ අනුව ගවේෂකයා දුෂණ නඩුවේ සැකකරු හා බැඳුණු අතීත සිදුවීම් සෙවීමට පටන් ගත්තේය.
රමණි බර්තොලමියුස් ජනප්‍රිය නිළියකි. රූ රැජිනකි. 1987 ජුනි 30 වෙනිදා රාත්‍රියේ රාජගිරියේ සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබුවාය. දින දෙකකට පසු එනම් ජුලි 01 වෙනිදා රමණි කොළඹ මහ රෝහලේ දි මිය ගියාය. මාරක රිය අනතුර සිදුවෙද්දී ඇය සිටියේ කමල් අද්දරආරච්චිගේ ජීප් රථයේ ය. ඔහු සමඟ බහින්බස් වෙමිණි. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව අනුව රමණීගේ හිස් කබළ බිඳී මොළයට මාරාන්තික තුවාල සිතු වී තිබුණි. කමල්ගේ ශරීයේ නියපහර වැදීමෙන් සීරීම් තුවාල 19 කි. මේ පුවත් කියවද්දී ගවේෂකයාට වසන්ත ඔබේසේකර හා ඔහුගේ ‘දඩයම’චිත්‍රපටය සිහිපත් විය. වසන්තගේ ‘දඩයම’ චිත්‍රපටයේ වින්දිතියගේ දෙබසක් ඔහුට කට පාඩම් වී තිබුණි.
“බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කෝ උන් බැඳල දාන්න ඕන. නැතිනම් වෙඩිතියල මරල දාන්න ඕන. ඒ හින්දයි මම තමුසෙව බැඳ ගන්නේ”
‘දඩයමේ’ ප්‍රධාන චරිතය වූ ‘රත්මලී’ ය. ඈ මේ බව කියන්නේ ඇගේ වංචාකාරී සල්ලාල පෙම්වතා වූ ‘ජයනාත්’ට ය. තමන්ව කසාද බැඳගන්නට බල කරමිණි. ඒ වන විටත් රත්මලීට ජයනාත්ට දාව බිළිඳියක් සිටියාය. වසන්තගේ ‘දඩයම’ සිනමා කෘතියට පසුබිම් වූයේ ‘විල්පත්තු මිනීමැරුම’ ය. ‘විල්පත්තු මිනීමැරුම’ වූ කලී 1950 දශකයේ අගභාගයේ සිදු වූ අභිරහස් මිනිස් ඝාතනයකි. ‘දඩයමේ’ ප්‍රධාන චරිත දෙක වූයේ ජයනාත් [රවීන්ද්‍ර රන්දෙනිය] හා රත්මලී [ස්වර්ණා මල්ලවාරච්චි]
ධනවතෙකු වූ ජයනාත්ට රූමත් එහෙත් දිළිඳු රත්මලී අහම්බෙන් මුණ ගැසෙන්නේය. ඇගේ රුවට වසඟවන ඔහු ඇය විවාහ කර ගැනීමේ පොරොන්දුව ඇතිව අනියම් බිරිඳක් හැටියට තබා ගන්නේය. රත්මලීගේ ආදර සිහිනය නඩත්තු කීරීමට ඔහු ගෙන යන කූට උපායන් අතර එකක් වන්නේ ව්‍යාජ විවාහයකි.ෙ අවසානයේ ඇගෙන් ගෑලවීමක් නැති තැන ඔහු ඇය රවටා ගෙන ගොස් රියකට යට කර මරා දමන්නට උත්සාහ කරන්නේය. පලමු යට කිරීමෙන් නැඟී සිටින රත්මලී අතට අසුවූ දණ්ඩකින් පහර දී ජයනාත්ගේ රියේ වින්ඩ්ස්ක්‍රීනය බිඳ දමන්නීය. නියමිත මරණය අභිමුවේත් රැවටිලිකාර සල්ලාලයාට එරෙහිව නැගී සිට බිහිසුණු මරණයක් කරා යන්නීය.
1983 තිරගත වූ වසන්තගේ ‘දඩයම’ ලංකාවේ නිපදවුණු 558 වන සිනමා නිර්මානයයි. 80 දශකයේ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘දඩයම’ යුක්තිය සෙවීමට සිනමා රසිකයන් පෙළඹවූවකි.
ඉනෝකා ගාල්ලගේ දැරියට නීතියෙන් ඉටු නොවූ යුක්තිය සොයන්නට සුදානම් වන කෙනෙකු කෙසේ නම් 20 හැවිරිදි වියේ දී මරා දැමුණු, යුක්තිය ඉටු නොවූණු රමණි බර්තොලමියුස් කතාව අමතක කරන්නද? අධිකරණයෙන්ද සිනමාවෙන්ද යුක්තිය ඉටු වූ ඇඩ්ලින් විතාරණ ගැන කෙසේ නම් නොසිතා ඉන්න ද?
(කමල් සහ රමණි සේයාරුවේ දැක්වේ)
බලාපොරොත්තුවන්න... දෙවන පරිච්ඡේදය - "රත්මලී හා රමණී"
නන්දන වීරරත්නගේ ලිපි එකතුවක්
https://www.lankaenews.com/category/98
---------------------------
by (2025-07-06 00:34:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි