-Captain-Ten ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.06, පෙ.ව.7.45)
තංගල්ල ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ දැඩි ආරක්ෂාවක් යටතේ රඳවා සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වන, නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' හදිසියේ රෝගාතුරවී තංගල්ලේ සිට කොළඹ මහ රෝහලට ඇතුලත් කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උදුල් ප්‍රේමරත්න සිය Face book ගිණුමේ සටහනක් තබා ඇත.
එමෙන්ම පොලිසිය හා රෝහල් අධිකාරිය විසින් ඔහු බැලීමට කිසිවෙකුට හෝ ඉඩ ලබා නොදෙන බවද උදුල් වැඩිදුරටත් එම පුවතේ සඳහන් කර තිබේ.
මේ පිළිබඳ කොළඹ මහ රෝහල් අධිකාරිය හෝ ශ්‍රී ලංකා පොලිසිය හෝ කිසිදු බලධාරියෙකු මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.
මීට සති කීපයකට පෙර උදුල් ප්‍රේමරත්න සිය සේවාදායකයා වන නදුන් චින්තක තංගල්ල බන්ධනාගාරය තුලදී රෝගාබාධයකින් මිය යාමට සැලැස්වීමේ කුමන්ත්‍රණයක් ඇතැයි හෙලි කරන ලද අතර ඒ සඳහා තංගල්ල ත්‍රස්ත විමර්ශණ ඒකකයේ ස්ථානාධිපතිවරයා හා ඔහුගේ ආරක්ෂාවට සිටින විශේෂ කාර්ය බලකාය වෙත චෝදනා කරමින්, නදුන් චින්තකගේ ජීවිතාරක්ෂාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත 2025 මැයි මස 25 දින පැමිණිල්ලක්ද සිදු කරන ලදී.
නීතීඥ උදුල් ප්‍රේමරත්න විසින් එහි පිටපත් වැඩ බලන පොලිස්පති, මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල, නියෝජ්‍ය ඇමති සුනිල් වටගල වෙතද යොමුකර තිබිනි.
එහෙත් ඔහුගේ පැමිණිල්ල ගැන වර්තමාන NPP රජය යටතේ ක්‍රියාත්මක වන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහලම නිලධාරීන් තිදෙනා වන පොලිස්පතිවරයා , ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා අදාල අංශ ලවා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ දැයි දන්නේ නැත. ඒ වෙනුවට සුපුරුදු පරිදි හරක් කටා තංගල්ල පැරණි බන්ධනාගාරය තුල තනිවම, ඉතා අපිරිසිදු මදුරුවන් බෝවී ඇති අනාරක්ෂිත පරිසරයේම රඳවා තබන ලදී.
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘’හරක් කටා’’ නඩු කටයුත්තක් සඳහා පසුගිය මැයි 14 වැනිදා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර ආපසු රැගෙන යමින් සිටියදී මාධ්‍ය වෙත පැවසුවේ, තමන් තංගල්ල බන්ධනාගාරය තුළ මාසයකට රුපියල් කෝටියක් පමණ වියදම් කර රඳවා තබා ඇත්තේ හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අල්ලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට රුපියල් කෝටි 30ක අල්ලසක් ලබා නොදීම නිසා බවයි.
මෙම ප්‍රකාශයට අමතරව නඳුන් චින්තක අධිකරණය ඉදිරියේදී එදින ප්‍රකාශ කළේ ඔහු විවිධ රෝගාබාධ වලින් පෙළෙන බවත්, වෛද්‍ය නිර්දේශ වලට අනුව ප්‍රතිකාර ලබා ගැනීමට තංගල්ල ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඉඩ නොදෙන බවත්ය.
පසුගිය මැයි 14 වැනිදා කොළඹදී දේශබන්දු තෙන්නකෝන් හා ටිරාන් අලස්ට විරුද්ධව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල නියෝග කළ බව පොලිසිය පසුදින නිවේදනයක් නිකුත් කළේය.
ඇමතිවරයාගේ නියෝගය අනුව එම විශේෂ විමර්ශනය ''හරක් කටා'' භාරව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයටම භාර දුන් බව ශ්‍රී ලංකා පොලිසිය එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දුන්නේය.
පොලිසිය විසින් එම නිවේදනය නිකුත්කර මේ වනවිට මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, හරක් කටාගේ ප්‍රකාශය පිළිබඳව ප්‍රධාන චුදිතයින් වන ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන් ගෙන් හරක් කටාගේ කප්පම් චෝදනාව පිලිබඳව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය අවම තරමේ ප්‍රකාශයක් හෝ ලබා ගත් බවක් වාර්තා නොවේ.
එමෙන්ම හරක් කටා ටිරාන් අලස් හා දේශබන්දු පිළිබඳව කළ චෝදනා හා, හරක් කටා තංගල්ල ත්‍රස්ත විමර්ශන ඒකකයට විරුද්ධව කළ චෝදනා පිළිබඳව, කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෝ විමර්ශනයක ප්‍රතිඵලයක් ගැන ඇමතිවරයා තවමත් ප්‍රසිද්ධියේ සඳහන් කර නැත.
නදුන් චින්තකගේ මෙම චෝදනාව පිළිබඳව චෝදනාවට ලක්වූ හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හෝ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රසිද්ධියේ කිසිවක් නොපැවසූ නමුත් ටිරාන් අලස් සිය මිතුරෙකුට පවසා තිබුනේ ''බලන් ඉන්නකෝ වෙන්නේ මොකක්ද කියල'' යැයි සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
ටිරාන්ගේ අලස් ගේ එම තර්ජනයට අනුව හරක් කටාට වෙන්නේ කුමක්දැයි ටිරාන් හොඳින් දැන සිටින බව අදහස් වන්නේ නීතීඥ උදුල් ප්‍රේමරත්නගේ ඉල්ලීම පරිදි නදුන් චින්තකගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාව, පොලිසිය හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය කිසිදු සාධනීය පියවරක් නොගැනීම නිසාවෙනි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ විෂමාචාර ක්‍රියා පිලිබඳ විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පිහිටුවා ඇති කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දුන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය W15 හෝටලයට වෙඩි තැබීමට අදාලව ටිරාන් අලස් හා දේශබන්දු සම්බන්ධයෙන් මෙතෙක් පැතිරී තිබු කටකතා සත්‍ය බවට සිය විමර්ශණ වලදී හෙලිවූ බව පැවසුවේය. ඔහු කමිටුව ඉදිරියේ පැවසුවේ W15 සිදුවීම ටිරාන්-දේශබන්දු දෙදෙනාගේම වුවමනාවට සිදුවී ඇති බවයි.
එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු යැයි දේශබන්දු විසින් සමාජගත කල වර්තමාන වැඩබලන පොලිස්පතිවරයාද ඇදගෙන යන හරක් කටාගේ ආන්දෝලනාත්මක කෝටි 30 අල්ලස ගැන කිසිදු චෝදනාවක් පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට ගෙන එන්නට නීතිපතිවරයා කටයුතු නොකළේ හරක් කටාගේ චෝදනාව පිලිබඳ වගකිව යුත්තන්හට කට උත්තර නැති නිසා බව මේ පිලිබඳ දන්නා ඕනෑම අයෙකුට වැටහේ.
අවසන් වරට නදුන් චින්තක අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ අල්ලස් හා දුෂණ කොමිසම නඩුවට මැදිහත් වෙමින් කොටි 30 අල්ලස ගැන හරක් කටාගෙන් කට උත්තරයක් ලබා ගැනීමට පහසුකම් සලස්වන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් මේ වනතෙක් ඊට පහසුකම් සැලසුවේද නැත්ද යන්න කිසිවෙකු හෙළිකර නොමැත.
අල්ලස් හා දුෂණ මර්ධන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක යනු ජනාධිපති අනුර දිසානායක ඉදිරියේදී හෝ තම පෞරුෂය පාවා නොදෙන පුද්ගලයෙකු බව දැනටමත් පෙන්වා ඇත.
යුක්තිය නමින් මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමක් සිදුකරන මුවාවෙන් ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන් තම පාතාල පොලිස් සගයන් මෙහෙයවමින් තමන්ට විරුද්ධ කුඩු ජාවරමුන් මරා දමා ඔවුන්ගේ කෝටි ගණනින් මුදල් හා දේපොළ අත්කර ගැනීමටත්, ඔවුන්ට මිතුරු කුඩු ජාවාරමුන්ට රිසිසේ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කරගෙන යෑමටත් ඉඩදීම ටිරාන් හා දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුමේ යථාර්ථයයි.
මේ පිලිබඳ ජීවමාන සාක්කියක් වන හරක්කටා නැතිකර දැමීමට අවශ්‍යව ඇත්තේ වෙන කාටවත් නොව දේශබන්දු හා ටිරාන් අලස්ටය. පවතින NPP ආණ්ඩුව යටතේ කෙලින්ම ආයුධ පෙන්වීමට හෝ වෙනත් උපක්‍රමයකින් සාක්කි විනාශ කර දැමීමට අසීරු වන නිසා හරක්කටා හෝ ඔවුන්ගේ වෙනත් සතුරන්ට ස්වභාවික මරණ අත්කර දීමේ ක්‍රමය මොවුන් ක්‍රියාත්මක කර තිබේ.
හිටපු පොලිස්පති දේශබන්දු හා හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් තවමත් පොලිසිය පාලනය කරන බවට මෙය ඉතා කදිම සාක්කියකි. ඇමති ආනන්ද විජේපාලට, පොලිස්පති ප්‍රියන්ත වීරසුරියට හා NPP ආණ්ඩුවේ ලොකුම බලාපොරොත්තුවක් වූ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්නටද වර්තමාන පොලිසිය පාලනය කරගන්නට බැරිවී ඇති බව මෙවැනි අති භයානක කුමන්ත්‍රණ සිදුවීමෙන් පැහැදිලි වේ.
ඩෙංගු රෝගයට ගොදුරුවී හරක් කටා මියගිය බව හෙට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවොත් එයට අභියෝග නො කරන්නට අකර්මන්‍ය වී සිටින මාධ්‍ය ඇතුළු ජනතාව කටයුතු කළහොත්, එය මේ රට හා NPP ආණ්ඩුව පැරණි වලටම ඇද වැටීමේ පියවරක ආරම්භයක් වනු ඇත.
---------------------------
by (2025-07-06 02:21:21)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි