~

හදිසි අනතුරු හේතුවෙන් රටේ මිය යන පිරිස ගැන කෙස් කෙළින් කරවන හෙළිදරව්වක්..!

-ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙනි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.07, ප.ව‍.4.35) ශ්‍රී ලංකාව තුළ සිදුවන වාර්ෂික මරණ 145,000 ක් වන සමස්ත සංඛ්‍යාවෙන් 10,000 - 12,000 ක් හදිසි අනතුරු හේතුවෙන් සිදුවන මරණ වේ. එය සෑම මසකම දළ වශයෙන් 1,000 ක් වන අතරම සෑම පැයක 3 කට අවම වශයෙන් 4 දෙනෙකු වන බව ද අනාවරණය වේ.

හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර සඳහා මෙරට රෝහල් පද්ධතිය වෙත යොමු කරන රෝගීන්ගෙන් වාර්ෂිකව 2500-3000ක් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වන  බවත් හදිසි අනතුරු මරණ 7,500 -8,000 කට අධික ප්‍රමාණයක් සිදුවන්නේ රෝහල් වෙත යොමු කිරීමටත් පෙර බව ද වැඩිදුරටත් අනාවරණය වේ.

ජාතික අනතුරු නිවාරණ සතිය ආරම්භක සැසියේ දී ඉහත කරුණු අනාවරණය විය. 

දහවන ජාතික අනතුරු නිවාරණ සතිය.. 

ශ්‍රී ලංකාව තුළ සිදුවන රෝහල් ගතවීම් අතුරින් හදිසි අනතුරු ප්‍රධාන සාධකයක් බවට හඳුනාගත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලදී.

ඒ අනූව අද (07) දිනයෙන් ආරම්භ වන මෙම සතිය එළැඹෙන 11 වැනි දිනය දක්වා ක්‍රියාත්ම වේ.  එය මෙරට ක්‍රියාත්මක වන දහවන ජාතික අනතුරු නිවාරණ සතියයි.

දහවන ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් අද (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

සෑම විනාඩියකටම පුද්ගලයින් 6-8 දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවන ආකාරයේ අනතුරක් සිදුවෙනවා..

මෙරට සෑම වසරකම සමස්ත ජනහනයෙන් පුද්ගලයින් 07 දෙනෙකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ආකාරයේ අනතුරකට පත්විය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුව ආරම්භ කරමින් පැවසී ය.

සෑම විනාඩියකටම අවම වශයෙන් මෙරට පුද්ගලයින් 6-8 දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවන ආකාරයේ අනතුරක් සිදුවිය හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා  එදිනෙදා ජීවිතයේ දී සිදුවන අනතුරු සලකන විට සෑම ශ්‍රී ලාංකිකයෙකුම සෑම වසරකම අවම වශයෙන් එක් අනතුරකට හෝ ලක් විය හැකි බව ද පෙන්වා දුන්නේ ය.

හොඳම වයස්වල අය මැරෙනවා..

හදිසි අනතුරුවලට ගොදුරුවන්නන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 15-44 අතර ඵලදායී වයස් සීමාවන්ට අයත් වන පුද්ගලයන් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා එම වයස් කාණ්ඩයේ සිදුවන මරණ සඳහා ද ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ද අනතුරු බව ද  පැවසී ය.

සමස්ථ අයවැයෙන් සෞඛ්‍ය සේවාව සදහා වාර්ෂිකව වෙන් කරන මුදලින් සැළකිය යුතු ප්‍රතිශතයක් අනතුරු වලට ලක් වූවන්ට ප්‍රතිකාර කිරීම සදහා වැයකෙරෙන බව මෙහි දී අනාවරණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අනතුරු රටේ සමස්ත සංවර්ධනයට, ආර්ථික වර්ධනයට සහ ඵලදායීතාවයට ඉතා බලපෑමක් ඇති කරන බව ද පෙන්වා දුන්නේ ය.

ජාතික අනතුරු නිවාරණ සතියට සමගාමීව මෙම සතියේ එක් එක් දිනයන් විවිධ කාර්යන් සදහා අවධානය පිණිස වෙන්කර ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඒ අනුව ජූලි 7 වැනි දින මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08 වැනි දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09 නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම, ජූලි 10 දියේ ගිලීම් වලින් වන අනතුරු වැළැක්වීම, සහ ජූලි 11 වැනි දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙස වෙන් කර ඇති බව ද තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසී ය.

මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමටත්, ඉදිරීයේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරනු ලබන බව ද පැවසී ය.

මෙරට ජනතාවට ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීම සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශිෂ්ට සේවාවක් සිදුකරන බව අවධාරණය කළ  අමාත්‍යවරයා ඒ සදහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවන බවත්,  මෙම වැඩසටහනත් එවැනි සුභවාදී වැඩසටහනක් බව මෙහි දී පෙන්වා දෙන ලදී. මෙම ජනතාවාදී වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසට ද අමාත්‍යවරයා ඉල්ලීමක් කර සිටියේ ය.

මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

---------------------------
by     (2025-07-07 11:08:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links