~

මස්ක්-ට්‍රම්ප් බාන මිලියන දාහතරක දිළිඳු ජනයාට මරණ වරන්තු ලියති..! ඒ අතර දරුවන් මිලියන පහක්..! වසරකට ළමා මරණ ලක්ෂ හතක්..!!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.07, ප.ව‍.6.20) අපේ ළමා කාලය සහ “ඇදිහැස” විස්කෝතු අතර ඇත්තේ නොමැකෙන අමරණීය මතකයකි. අප වැනි අවවරප්‍රසාදිත පවුල්වල දරුවන්ට උදෑසන පාසැල් යෑම සඳහා විශාල ආශාවක් උනන්දුවක් ඇති කරනු ලැබූවේ පාසැලේ දී නොමිලේ ලැබුණු විස්කෝතු තුන හතරයි. ඒ කාලයේ එය මහමෙරකි. බොහෝ දෙනෙක් පාසැල් නොයන තම නංගිලා, මල්ලිලා වෙනුවෙන් විස්කෝතුවක් දෙකක් ඉතිරි කරගත්හ. මාසයකට වතාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ වාහනයකින් මේ විස්කෝතු පාසැලට ගෙන එන අතර එය ගබඩා කාමරයේ තැන්පත් කර තබයි.  “ඇදිහැස” විස්කෝතු අඩංගු පෙට්ටිවල අත්දෙකක් සහිත ලාංචනයක් සහ “ඇමරිකා එක්සත් ජනපදවාසීන්ගෙන් පරිත්‍යාගයකි” වාක්‍යය මුද්‍රණය කර තිබූ බව මතකය. අපට “ඇදිහැස” විස්කෝතු ලැබුණේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය හෙවත් US Agency for International Development (USAID) හරහා ය. USAID ආරම්භ කිරීමට මැදිහත් වූයේ ජනාධිපති  ජෝන් එෆ් කෙනඩි ය. ඒ වසර 1961 දී ය. 

ඇමරිකානු “රාක්ෂ ප්‍රතිරූපය” බිඳ දැමීම…

ජනාධිපති කෙනඩි USAID නිර්මාණය කළේ මන්ද? මූලික වශයෙන් ඒ වන විට ලොව පුරා ඇමරිකාව පිළිබඳ නිර්මාණයවී තිබූ “රාක්ෂ ප්‍රතිරූපය” බිඳ දැමීම සඳහා ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව කොරියානු සහ වියට්නාම් යුද්ධ, CIA මැදිහත්වීමෙන් ඇමරිකානු හිතවාදී පාලන නිර්මාණය කිරීමේ හමුදා කුමන්ත්‍රණ, ඇමරිකානු ගැති ඒකාධිපතීන්ට සහයෝගය දැක්වීම් හරහා ඇමරිකාව ලෝකයේ දුගී ජනතාවගේ සතුරෙකු යන මතය ගොඩනැගී තිබිණි. ඇමරිකාවට ප්‍රතිවිරුද්ධ සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවාදී  කඳවුරද එයට සමාන ක්‍රියාවලියට සම්බන්ධවී සිටිය ද ඔවුන් ඇමරිකාව මෙන් ඇඟේ ගා ගත්තේ නැත. එයට හේතුව ඔවුන් ශක්තිමත් මහජන සම්බන්ධතා වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීම ය. ඔවුහු යටත්විජිත පාලනයන්ගෙන් මිදීමේ නිදහස් සටන්වලට ප්‍රසිද්ධියේ  සහයෝගය ලබා දුන්හ. සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර තුන්වන ලෝකයේ දුගී රටවලට සෘජුවම ආධාර උපකාර කළේ ය. ඒ රටවල ආහාර සුරක්ෂිතතාව,  කෘෂිකර්මය, කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර  ගණනාවක් ඉලක්ක කර ගනිමින් මේ ආධාර ක්‍රියාත්මක වුණි (අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයට ලබා දුන් කම්හල් පද්ධතිය මෙයට එක් නිදසුනකි). එම ආධාර තුන්වන ලෝකයේ රටවල පොදු ජනතාවගේ එදිනෙදා ජීවිත සමඟ බැඳුණු බැවින් සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර පිළිබඳ සුභවාදී චිත්‍රයක් ඔවුන් අතර විය. මේ මානවවාදී ප්‍රවේශය තුන්වන ලෝකයේ රටවල් අතරේ සමාජවාදී අදහස් සීඝ්‍රයෙන් පැතිරයෑමට හේතු වූ බව රහසක් නොවෙයි. 

ලෝක සාමය සහ සහයෝගීතාව සඳහා Peace Corp..

ඇමරිකාව එදා මුහුණ දුන් ප්‍රධාන ජාත්‍යන්තර  අභියෝගයක් වූයේ තුන්වන ලෝකයේ රටවල් අතරේ සෝවියට් කඳවුර කෙරෙහි පැවති ජනප්‍රියතාව සහ සමාජවාදී අදහස් පැතිර යෑම ය. එයට මුහුණ දීම සඳහා ජනාධිපති කෙනඩිගේ ප්‍රවේශය වූයේ US Agency for International Development (USAID) නිර්මාණය කිරීම ය. එය ඇමෙරිකානු රාජ්‍ය ආධාර ලොව පුරා බෙදා හරින යාන්ත්‍රණයයි. USAID අමතරව ඔහු වසර 1961 දී Peace Corps නමින් තවත් ආයතනයක් ස්ථාපිත කළේ ය. එහි අරමුණ වූයේ ස්වේච්ඡා සේවා හරහා ලෝක සාමය සහ සහයෝගීතාව නිර්මාණය කිරීම ය. තුන්වන ලෝකයේ රටවල සංවර්ධන ව්‍යාපෘතිවලට සහයවීම එහි ඉලක්කය වූ අතර  ඒ හරහා අධ්‍යාපන, සෞඛ්‍ය, සහ කෘෂිකර්ම ඇතුළු ක්ෂේත්‍රයන්හි අදාළ රටවල දේශීය ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට ඇමරිකානු තරුණයන්ට අවස්ථාවක් හිමි විය. ඒ හරහා ඇමරිකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම එම වැඩසටහනේ ඉලක්කයයි. වයස අවුරුදු දහඅටට වැඩි ඇමරිකානු තරුණයන්ට මෙය ස්වේච්ඡා සේවයක් වූ අතර ඇතැම් සේවා සඳහා එක්වීමට විශ්ව විද්‍යාල උපාධි සුදුසුකම් සපුරා තිබිය යුතු විය. අපේ රටේ දුෂ්කර පලාත් හි ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ඇමරිකානු තරුණ, තරුණියන් පැමිණියේ මේ වැඩ සටහන යටතේ ය. 

ලෝකයේ දැවැන්තම මානුෂීය ආධාර ආයතනය…

USAID සහ Peace Corps යන ආයතන දෙකේම අරමුණ වූයේ ඒ වන විට ඇමරිකාව සම්බන්ධයෙන් නිර්මාණ වී තිබූ “රාක්ෂ ප්‍රතිරූපය” සහ ඒ සමඟ බැඳුන ආයුධ, හමුදා බලය වෙනුවට මෘදු බලයක් (Soft power) නිර්මාණය කිරීම ය. USAID ඒ අතරින් වඩාත් සාර්ථක වූ අතර පසුගිය දශක හයකට අධික කාලයක් පුරා සෞඛ්‍ය, අධ්‍යාපනය සහ මානුෂීය ආධාර ඇතුළු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් රටවල් 133කට පමණ සිය සේවාවන් සැපයීය. විශේෂයෙන් ලොව පුරා මානුෂීය ආධාර ලබාදීමේ වැඩපිළිවෙළහි ප්‍රමුඛයා වූයේ  USAID ය. වසර 2023 දී ලෝකයේ සමස්ත මානුෂීය ආධාර ප්‍රමාණයෙන් සියයට හතළිස්තුනක් ලබා දුන්නේ USAID ය. හයිටි රාජ්‍යයේ දරුවන්ට පාසල් දිවා ආහාර ලබා දීමේ සිට උප සහරා අප්‍රිකාව පුරා HIV ඖෂධ බෙදා හැරීම දක්වා පුළුල් පරාසයක වැඩසටහන් සඳහා USAID අරමුදල් සපයා තිබේ. ඉබෝලා රෝගය පැතිර යෑම වැළැක්වීම, පෝලියෝ මුලිනුපුටා දැමීම, ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවලට කොවිඩ් එන්නත් ලබාදීම, බංග්ලාදේශය ඇතුළු රටවල් ඉලක්ක කරගනිමින් ආහාර සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඕනෑම රටක ස්වාභාවික අනතුරකදී මානුෂීය ආධාර ලබාදීම USAID හි කැපීපෙනෙන මැදිහත්වීම් ය.  

“ඇමරිකානු වටිනාකම්” ප්‍රවර්ධනය….

සෝවියට් රුසියානු කඳවුර මාක්ස් ලෙනින්වාදය, සමාජවාදය, කොමියුනිස්ට්වාදය පිළිබඳ අදහස් සමාජගත කරන විට ඇමරිකාව තම “ඇමරිකානු වටිනාකම්” පිළිබඳ තුන්වන ලෝකයේ ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කළේ ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පොදුවේ පිලිගත් “ඇමරිකානු වටිනාකම්” නම්: ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය; නිදහස් මැතිවරණ; මාධ්‍ය නිදහස; මානව හිමිකම්;  භාෂනයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්; පුද්ගල නිදහස සහ ලිංගික අයිතිවාසිකම්; කාන්තා නිදහස; සහ නිදහස් වෙළෙඳ පොළ ආර්ථිකයයි. මේ සඳහා වන දැනුවත් කිරීම් විනිවදභාවයෙන්, ප්‍රසිද්ධියේ සිදු කළ දෑ මිස රහස් කුමන්ත්‍රණ නොවෙයි. එම ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු වෙනුවෙන් කැපවෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි වැඩ සටහන් සඳහා USAID සිය අරමුදල් සහ සම්පත් දායකත්වය ලබාදෙයි. නිදසුනක් වශයෙන් කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීමට USAID සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සහය මෙයට එක් නිදසුනකි.  අසූව දශකයේ අපේ රටේ මැතිවරණ යනු ලෝකයේ දූෂිතම මැතිවරණ ක්‍රියාවලියකි. ඒ තත්ත්වය වෙනස් කිරීමට මැදිහත් වූ රාජ්‍ය නොවන සංවිධාන සඳහා  USAID ආධාර ලැබිණි. අපේ රටේ අද ක්‍රියාත්මක වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධාන ගණනාවක ප්‍රධාන අරමුදල් දායකයා USAID ය. අපේ මැතිවරණ වඩා ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී ස්වරූපයකට එම සංවිධාන සැළකිය යුතු දායකත්වයක් ලබාදුන් බව රහසක් නොවෙයි. මෙය එක් නිදසුනක් පමණි. 

USAID සඳහා වියදම් වන්නේ ඇමරිකානු අයවැයෙන් සියයට 0.3

එහෙත් මේ වසරේ බලයට පැමිණි ඇමරිකාවේ මස්ක්-ට්‍රම්ප් පාලනය, දශක හයකට අධික කාලයක් ක්‍රියාත්මක වූ USAID වසා දැමීමට තීරණය කළේ ය. එම ආන්දෝලනාත්මක තීරණය සාධාරණීකරණය කිරීම සඳහා මස්ක්-ට්‍රම්ප් කියා සිටියේ මෙය ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් විනාශ කිරීමක් බව සහ USAID වාමාංශික අදහස් ප්‍රවර්ධනය කරන බවයි. මේ හේතු දෙකම පට්ටපල් බොරුය. මේවා ට්‍රම්ප්ගේ නූගත් MAGA බයියන් “චූන්” කිරීමට කියන සුපුරුදු ජනප්‍රිය කථාය. දැවැන්ත ඇමරිකානු රජයේ වාර්ෂික අයවැය සළකන විට USAID සඳහා යොදවන මුදල ඉතා  කුඩාය. එය නොතකාහැරිය තරම් කුඩාය. වසර 2023 USAID අයවැය ඇමරිකානු ඩොලර් බිලියන 40කි. එය එම වසරේ ඇමරිකානු සමස්ත අයවැයෙන් සියයට එකටත් වඩා අඩු ප්‍රමාණයකි.එනම් එය සියයට 0.3 කි. දශක හයකට අධික කාලය පුරා රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පාලන යටතේ USAID ප්‍රවර්ධනය කරනුයේ “ඇමරිකානු වටිනාකම්”ය. එනම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සහ සමාජ සාධාරණත්වයයි. එහෙත් වර්තමාන  ඇමරිකාවේ මස්ක්-ට්‍රම්ප් පාලනයට එම ඇමරිකානු වටිනාකම් වහකඳුරුය. මස්ක්-ට්‍රම්ප් ක්‍රියාත්මක  කරන්නේ  ෆැසිස්ට් ඒකාධිපති, සුදු වර්ගවාදී, නව නාසි පාලනයකි. එවැනි පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සහ සමාජ සාධාරණත්වය “වාමාංශික” සතුරෙකු වශයෙන් අර්ථ දැක්වීම පුදුමයක් නොවෙයි. ඔවුන් ප්‍රසිද්ධියේ සහයෝගය දක්වන්නේ ජර්මනියේ AfD වැනි නව නාසිවාදී ෆැසිස්ට් බලවේගයන්ට ය. 

වසර 2030 වන විට මිලියන 14ක දිළිඳු ජනතාවක් මරණයට..

USAID වසා දැමීමට ගත් තීරණය හේතුවෙන් තුන්වන ලෝකයේ දිළිඳු ජනතාවගේ ජීවිත දැවැන්ත අවදානමකට යොමු කර තිබේ. කීර්තිමත් Lancet සෞඛ්‍ය සඟරාව පසුගිය අඟහරුවාදා (1) දා නිකුත් කළ “Evaluating the impact of two decades of USAID interventions and projecting the effects of defunding on mortality up to 2030: A retrospective impact evaluation and forecasting analysis” නම් පර්යේෂණ පත්‍රිකාවට අනුව මස්ක්-ට්‍රම්ප් පරිපාලනය USAID වසාදැමීම හේතුවෙන් වසර 2030 වන විට මිලියන 14 ක දිළිඳු ජනතාවක් මරණයට ගොදුරුවන බවට ප්‍රක්ෂේපණය කර තිබේ. වඩාත්ම අවදානමකට ලක්විය හැකි මේ මිලියන 14 ක ජනගහනය අතරින් තුනෙන් එකක් කුඩා දරුවන්ය. එම අධ්‍යයනයට අනුව මස්ක්-ට්‍රම්ප් පරිපාලනයේ තීරණය හේතුවෙන්, අවදානමට ලක්විය හැකි ජනගහනයන් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දශක දෙකක ප්‍රගතිය නතර කිරීමට සහ එය ආපසු හැරවීමට පවා ඉඩ ඇත. එම වාර්තාවට මෙතැනින් පිවිසිය හැක https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(25)01186-9/fulltext

පසුගිය දශක දෙක තුළ USAID මරණ මිලියන 91 වළක්වයි..

ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායම රටවල් 133ක දත්ත අධ්‍යයන කරමින් ඇස්තමේන්තු කරනුයේ වසර 2001 සහ 2021 අතර දශක දෙකක කාලය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ මිලියන 91 ක් වැළැක්වීමට USAID අරමුදල් මගින් ක්‍රියාත්මක කළ වැඩසටහන් සමත්ව ඇති බවයි. බාර්සිලෝනා ගෝලීය සෞඛ්‍ය ආයතනයේ (ISGlobal) පර්යේෂකයෙකු සහ මේ අධ්‍යයනයේ සම කර්තෘ ඩේවිඩ් රසෙල්ලා "අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට, USAID අරමුදල් නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන කම්පනය පරිමාණයෙන් ගෝලීය වසංගතයකට හෝ ප්‍රධාන සන්නද්ධ ගැටුමකට සමාන වනු ඇත" යැයි ප්‍රකාශ කරයි. USAID වසා දැමීම හේතුවෙන් පළමු ලෝක යුද්ධයෙන් විනාශ වූ ජීවිත සංඛ්‍යාවට වඩා දැඩි විනාශයක් සිදුවනු ඇත. පළමු ලෝක යුද්ධයේදී මිය ගිය සොල්දාදුවන් ගණන මිලියන 10 කි. වසර 2030 වන විට වයස අවුරුදු පහට අඩු ළමුන් මිලියන 4.5 කට වඩා මිය යන බවට මේ වාර්තාවේ ප්‍රක්ෂේපණය කර ඇති අතර ඒ අනුව  වසරකට ළමා මරණ ලක්ෂ හතක් සිදු වනු ඇත. USAID විසින් සහාය දක්වන ලද වැඩසටහන් මගින් සියලු හේතූන් නිසා සිදුවන මරණ සියයට 15 කින් අවම වී ඇති බව පර්යේෂකයෝ අනාවරණය කර ගත්හ. අවුරුදු පහට අඩු ළමුන් සඳහා, මරණ පහත වැටීම සියයට 32 කි. USAID අරමුදල් ඉතා අඩුවෙන් හෝ නොමැති රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමේ සහයෝගයක් ලබන රටවල HIV/AIDS මරණ සියයට 65 කින් අඩු බව මේ අධ්‍යයනයෙන් හෙළි විය. මැලේරියාව සහ නොසලකා හරින ලද නිවර්තන රෝග වලින් සිදුවන මරණ ද  අඩකින් අඩු කිරීමට USAID අරමුදල් වැඩසටහන් සමත්ව ඇත. ක්ෂය රෝගය, පෝෂණ ඌනතා, පාචන රෝග, මාතෘ සහ ප්‍රසව රෝග සහ ශ්වසන ආසාදන මරණ ද සැළකිය යුතු මට්ටමකින් අවම කිරීමට මේ වැඩසටහන් දායකවී ඇති බව මේ වාර්තාවේ දැක්වෙයි.

“USAID අහෝසි කිරීම විහිළුවක්, ඛේදවාචකයක්” - ජනාධිපති ඔබාමා

පසුගිය දශක දෙකක කාලයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ මිලියන 91 ක් වැළැක්වීමට දායක වූ සහ දශක හයකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ USAID පසුගිය සඳුදා (30 ජූනි) නිළ වශයෙන් වසා දැමුනි. එදින වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් USAID සේවකයන් ඇමතූ හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන බැරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, USAID වසා දැමීම දැඩිව විවේචනය කළහ. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකු මෙසේ එක්ව, පවතින පාලනයක තීරණයක්  විවේචනය කිරීම ඉතා දුර්ලභ අවස්ථාවක් බව ජාත්‍යන්තර පුවත් ආයතන පෙන්වා දෙයි.  හිටපු ජනාධිපති ඔබාමා පැවසුවේ USAID  විසුරුවා හැරීම දැවැන්ත වැරැද්දක් බවයි. “USAID අහෝසි කිරීම විහිළුවක්, එය ඛේදවාචකයක්. මොකද එය ලෝකයේ ඕනෑම තැනක සිදුවන වැදගත්ම සේවයක් ඉටු කරනවා” යැයි පැවසූ ජනාධිපති ඔබාමා, USAID කාර්යය මණ්ඩලය ලොව පුරා සිදු කළ සේවයට සිය ගෞරවය පුද කළේ ය. “ ඉතා ඉක්මනින්ම පක්ෂ දෙකේම නායකයන් ඔබේ වටිනාකම කොපමණ දැයි වටහා ගනු ඇත” යනුවෙන් අනාවැකි පළ ඔහු “ඔබ ඉටු කළ කාර්යය වැදගත්. එය ඉදිරි පරම්පරාවන්ට වැදගත් වනු ඇත” යැයි පැවසීය. ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, USAID කාර්යය මණ්ඩලය අගයමින් කියා සිටියේ “ඔබ ඔබේ සේවය තුළින් ඇමරිකාවේ දැවැන්ත ශක්තිය පෙන්වා ඇත.  ඒ ශක්තිය වන්නේ ඔබේ හොඳ  හදවතයි”. 

එලෝන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ලාට දිළිඳු අසරණ ජනතාව පිළිබඳ කිසිදු සහකම්පනයක් නැත්තේ ඇයි?

කීර්තිමත් Lancet සෞඛ්‍ය සඟරාව මේ විනාශය හෙළි කිරීමට පෙර මානුෂීය සංවිධාන සහ ලොව පුරා මානුෂීය මෙහෙයුම්වලට සම්බන්ධ පුද්ගලයෝ  ඒ පිළිබඳ අනතුරු ඇඟවූහ. එහෙත් මස්ක්-ට්‍රම්ප් බාන ඒ අනතුරු ඇඟවීම්වලට  වියරු ප්‍රතිචාර දැක්වූහ. ඔවුහු අදාළ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් අපහාස, උපහාස, සහ තර්ජන  කළහ. කාලයක්  ලොව ධනවත්ම මිනිසා වූ බිල් ගේට්ස්, අප්‍රිකාවේ දරුවන් ඉලක්ක කර ගනිමින් පසුගිය දශක දෙකකට අධික කාලයක් පුරා ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් සිය ධනය වැය කරමින් මානුෂීය සේවාවන් පවත්වාගෙන යයි. USAID වසා දැමීම හේතුවෙන් අප්‍රිකානු දරුවන් අනතුරට පත් වන ආකාරය එම රටවල සංචාරය කර අවබෝධයක් ලබාගන්නා ලෙස ඔහු වරෙක ඉලන් මස්ක්ගෙන් ඉල්ලා සිටියේ ය. මස්ක් එම ඉල්ලීම උපහාසයට ලක්කරමින් කියා සිටියේ USAID වසාදැමීමෙන් අප්‍රිකාවේ කිසිම දරුවෙකුට හානියක් සිදුනොවන බවයි. එලෝන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ලාට තුන්වන ලෝකයේ දිළිඳු අසරණ ජනතාව පිළිබඳ කිසිදු සහකම්පනයක් නැත. එයට ප්‍රධාන හේතුව එම අසරණ ජනතාවගේ සමේ පැහැය සුදු නොවීමය. දකුණු අප්‍රිකාවේ වර්තමාන ඉඩම් ප්‍රතිසංස්කරණ හරහා අසාධාරණයට ලක්වන්නේ යැයි දැවැන්ත ප්‍රබන්ධයක් සමාජ ගත කරමින් මස්ක්-ට්‍රම්ප් බාන දකුණු අප්‍රිකාවේ සුදු අන්තවාදී නව නාසි Afrikaner ට ඇමරිකාවේ සරණාගත තත්ත්වය ලබාදීමේ වැඩසටහනක් පසුගිය මැයි මාසයේ ආරම්භ කළේ ය. සුදු අන්තවාදී නව නාසි Afrikaner ට ඇමරිකාවේ සරණාගත තත්ත්වය ලබාදෙන්නේ ලෝකයේ අනෙකුත් කිසිදු රටක පුරවැසියෙකුට ඇමරිකාවේ සරණාගත තත්ත්වය සඳහා නීත්‍යානුකූලව අයදුම් කිරීම පවා තහනම් තිබියදී ය. මස්ක්-ට්‍රම්ප් බාන වැනි අන්ත දක්ෂිණාංශික, සුදු වර්ගවාදී ජාතිවාදී, නව නාසීන්ට අප්‍රිකාවේ කළු ජාතික දරුවන් මිලියන ගණනින් ඖෂධ සහ මූලික සෞඛ්‍ය පහසුකම් නොමැතිව මිය යෑම පිළිබඳ සහකම්පනයක් නොමැතිවීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. 

බිල් ගේට්ස් සිය ඇ. ඩො බිලියන 200 ක තම වත්කම දිළිඳු ජනතාවට පරිත්‍යාග කරයි…

එලෝන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප් යනු බිල් ගේට්ස්ලා වැනි සංස්කෘතික කෝටිපතියන් නොවෙයි. බිල් ගේට්ස් ඉදිරි වසර විස්ස තුළ තම සමස්ත වත්කම වන ඇමරිකානු ඩොලර් බිලියන 200 ක් තම පුණ්‍යායතනය වන ගේට්ස් පදනමට පරිත්‍යාග කරන බව පසුගිය මැයි මාසයේ නිවේදනය කළේය. 

"මම මියගිය විට මිනිස්සු මා ගැන බොහෝ දේ කියනු ඇත. එහෙත් 'ඔහු පොහොසත් ලෙස මිය ගියේය' යන්න නොකියවෙන තැනට වැඩ කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිමි" 

බිල් ගේට්ස් සිය සැලසුම් නිවේදනය කරමින් බ්ලොග් සටහනක් ලිවීය. එලෝන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ලා දිළිඳු ජනතාවගේ බෙල්ල මිරිකා සූරාගත් දෙයක් මිස ඔවුන් වෙනුවෙන් සිදු කළ කැපකිරීමක්, පරිත්‍යාගයක්   නැත. මස්ක්, ට්‍රම්ප් වැනි  ස්වාර්ථවාදී (narcissistic) චරිතයන් තුළින් දැකිය හැක්කේ ආත්මාර්ථකාමීත්වය, සහකම්පනයක් නොමැතිකම සහ “මං පොර ජාතකය” පමණි.

බිල් ගේට්ස්ලාගේ සහ ඔවුන්ගේ අතර වෙනස එයයි.

-ආනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-07-07 12:52:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links