-අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.08, ප.ව.10.00) "භාෂාව තාක්ෂණික කාරණයක් නොවන බව මම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම සන්නිවේදන මාධ්‍යයකට වඩා වැඩි තේරුමක් භාෂාව මගින් නිරූපනය වෙනවා. භාෂාව කියන්නේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ හදවතයි. ඒ වගේම මතකයේ හඩයි. ගෞරවයේ රිද්මයයි. චින්තනයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්."
අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මේ බව සඳහන් කළේ රාජ්‍ය භාෂා සතිය අවසානයේ පැවති සමාප්ති උළෙලට ඊයේ (07) දිනයේ සහභාගී වෙමිනි.
අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යාංයේ උපදෙස් පරිදි රාජ්‍ය භාෂා සතිය 2025.07.01 දිනෙන් ආරම්භ වූ අතර ඒ යටතේ සංවිධානය කර තිබූ වැඩසටහන් රැසක් අවසන් කරමින් එහි සමාප්ති උත්සවය ඊයේ (2024.07.07) දින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අධීකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර් යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.
"රාජ්‍ය භාෂා සතියේ සමාප්තිය සමරන අද දිනයේදී, අපි රැස්වන්නේ දින දර්ශනයේ දිනයක් සලකුණු කිරීමට පමණක් නොවේ. ජාතියේ සියලුම ජන කොටස් සඳහා සමානාත්මතාවය, ගෞරවය සහ යුක්තිය සඳහා අපගේ නොසැලෙන කැපවීම තහවුරු කිරීමටයි.
භාෂාව තාක්ෂණික කාරණයක් නොවන බව මම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම සන්නිවේදන මාධ්‍යයකට වඩා වැඩි තේරුමක් භාෂාව මගින් නිරූපනය වෙනවා. භාෂාව කියන්නේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ හදවතයි. ඒ වගේම මතකයේ හඩයි. ගෞරවයේ රිද්මයයි. චින්තනයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්.
භාෂාව ගැඹුරු චිත්තවේගීය කාරණාවක්. කෙනෙකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ ඇසීමට ඇති අවස්ථා නැති නම් එයින් හැඟවෙන්නේ එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක්. යටිතල පහසුකම් ලබාදීමෙන් හෝ සටන් පාඨ හරහා පමණක් ජාතික ඒකාබද්ධතාවය සාක්ෂාත් කරගත නොහැකි වන්නේ මේ නිසයි. ජාතීන් අතර සංහිඳියාව ඇති වන්නේ භාෂා ප්‍රතිපත්ති, භාවිතයන් බවට පත්කිරීමෙනුයි.
අපගේ ඉතිහාසය දිහා හැරිලා බැලුවම, භාෂා අයිතිවාසිකම්වලට ගරු කිරීමට අපොහොසත් වීම කුඩා වැරැද්දක් නොවන බව අප කිසි විටෙකත් අමතක නොකළ යුතුයි. එය විශාල අසාධාරණයක් ඇති කළා පමණක් නොවෙයි ජාතීන් අතර අවිශ්වාසය, අසමගිය සහ අවසානයේ ආයුධ සන්නද්ධ ගැටුමකට පවා දායක වූ සංසිද්ධියක් වුණා. මේ පාඩම හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඉතිහාසය පුනරාවර්තනය වීම අනිවාර්යයයි. ඒ නිසා එය අප නැවත නොකළ යුතු උගත් පාඩමක් විදිහට සැබෑ ගැඹුරකින් වටහාගෙන කටයුතු කළ යුතුයි. මේ අර්ථයෙන් භාෂාව සාමය සඳහා වූ සිතුවිල්ලක් පමණක් නෙවෙයි සාමයේ පදනම භාෂාව යි.
සමානාත්මතාවය නොමැතිව කල් පවතින සාමයක් තිබිය නොහැකියි. රාජ්‍යය තම ජනතාවගේ භාෂාවට ගරු කිරීමට අපොහොසත් වුවහොත් සමානාත්මතාවයක් ඇති වන්නේ නැහැ. අපි ඒක තේරුම් අරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එළැඹෙන ඔක්තෝබර් මස සිට සියළු ග්‍රාම සේවා කොට්ඨාශ මඟින් අයදුම්පත් භාෂා දෙකෙන්ම නිකුත් කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා ලෙසත් ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාවක් ලෙස පිළිගෙන තිබෙනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මගින් ශක්තිමත් නීතිමය පදනමක් සකස්කර තිබෙනවා. කෙසේ වෙතත්, භාෂා අයිතීන් සම්බන්ධව නීතිමය පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. කඩදාසි මත ඇති අයිතිවාසිකම් ජනතාවගේ ජීවිත වල යථාර්ථයන් බවට පත්විය යුතුයි" අමාත්‍යවරයා සඳහන් කලේය.
විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් විචිත්‍රවත්වූ සමාප්ති උළෙල පාසැල් මට්ටමින් සංවිධානය කර තිබූ ආදර්ශ පාඨ නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවූ අතර අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මෙනවිය, ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර් මහතා, , අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය මෙම අවස්ථාවේදී අදහස් පල කළේය.
කැනේඩියානු මහකොමසාරිස් Eric Walsh මහතා, බංග්‍දේශ මහකොමසාරිස් Andalib Elias අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී , ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ්. ධර්මකීර්ති, මහාචාර්ය S.J. යෝගරාජා යන මහත්ම මහත්මීන් විශ්ව විද්‍යාල සිසුන්, පාසැල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
---------------------------
by (2025-07-08 16:31:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි