~

සළෙළු වරම්; නළුවන්ට දැරියන් දූෂණයට නීතියෙන් ලයිෂ​න්..! (02 පරිච්චේදය) රත්මලී හා රමණි..!

-ජ්‍යෙෂ්ඨ ගවේෂනශීලී මාධ්‍යවේදී නන්දන වීරරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.09, ප.ව‍.2.35) "පසුගිය මාස කීපය ඇතුළත කොළඹ සිට පුත්තලම හරහා අනුරාධපුරයට වැටුණු මාර්ගයේ දහ දොළොස් වරක්ම ගමන් කිරීමට මට සිදු විය. මෙම පාරේ විල්පත්තු අභය භූමියට හැරෙන හන්දිය අසල පිහිටි එක්තරා දෙයක් දැකීමෙන් මගේ සිත අලුතින් සසල වීමට පටන් ගැනිණි. අලුතින් සසල වුණු බවක් මා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරනුයේ එය මා මීට කලින් ද නොයෙක් වර දැක ඇති නිසාය. ගත වුණු අවුරුදු තිහක පමණ කාලයක් පුත්තලම් පාරේ අනුරාධපුරයට යන හැම ගමනකදීම විල්පත්තු හන්දියට ළඟා වන කල මේ දෙය වෙත අපේ නෙත් උනන්දුවකින් යුක්තව යොමු වෙයි.

මෑතකදී කීප අවස්ථාවකදීම මෙය දුටු මා තුළ ඇත්ත වශයෙන්ම සිදුවුයේ අලුතින් සසල වීමකට වඩා අලුතින් සිතන්නට මා පෙළඹවීමයි.

විල්පත්තු හන්දියේදී මට දක්නට ලැබෙන්නේ සොහොන් කොතෙකි. සොහොන් කොතක් වුවද එය කෙනෙකුගේ මළ සිරුර භූමදාන කරන ලද හෝ භෂ්මාවශේෂ තැන්පත් කරන ලද හෝ තැනක ඉදිකරන ලද්දක් නොවේ. අඩි හත අටක් උස දුප්පත් සහ චාම් පෙනීමකින් යුත් මේ කුළුණ සිහිවටනයකි. තිඹිරිගස්වැව නැමැති ගමේ වාසය කළ ගුණකරුක, යුක්තිගරුක, අහිංසක ගොවියන් විසින් මීට අවුරුදු තිස් ගණනකට උඩදී මෙම කුළුණ ඉදිකරන ලද්දේ ඊට නොදුරින් මහා මාර්ගයේ මෝටර් රථයකට යට කරනු ලැබ සාහසික ලෙස මරා දැමූනු ලැබ සිටි ඇඩ්ලින් විතාරණ නමැති විසි දෙහැවිරි දී තරුණ ගැබිණිය සිහිවීම සඳහාය.

ඇඞ්ලින් විතාරණ තිඹිරිගස්වැව ගම්වාසීන්ගේ නෑයෙක්, අසල්වැසියෙක් හෝ හිතවතෙක් හෝ නොවේ. ඔවුන්ගෙන් කිසිවෙකු ඇය පණ පිටින් දකින්නට වත් නැත. බියෙන්, ශෝකයෙන්, කම්පාවෙන් යුතුව රජරට ඒ අහිංසක ගැමි ස්ත්‍රී පුරුෂයින් 1959 මාර්තු 15 වැනිදා උදේ දක්නට ඇත්තේ කලින් දා රාත්‍රියේ සාහසික ලෙස ඝාතනය කරනු ලැබූ ඇයගේ මළ සිරුර පමණකි. ඉදින් සිහිවටනයක් ඉදිකිරීමට තරම් මේ ප්‍රතහස්ත ජනයා තුළ ඇය කෙරෙහි පැවැති බැඳීම කුමක් ද?"

රටක් කම්පාවට පත් කළ විල්පත්තු මිනී මැරීම..

විල්පත්තු මිනී මැරීම රටක් කම්පාවට පත් කළේය. ඊටත් වඩා එම අපරාධය පිළිබඳව අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේදිත් එහිම ශ්‍රේෂ්ඨාධිකරණයේදීත් පැවති නඩු විභාගය ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති කළේය. මෙබඳු ලිපියක සවිස්තර වාර්තාවක් සැපයීමට උගහට නිසා සියල්ල එක වැකියකින් සාරාංශ කර දක්වතොත් කීමට ඇත්තේ සල්ලාලයකුට රැවටී දෙවරක්ම ගැබ් ගත් නමුත් ඇඩ්ලීන් විතාරණ ඉතා හොඳ ළමයකු බව නඩු විභාගයේදී හෙළි වුණු බවයි.

මෑතකදී විල්පත්තු සිහිවටනය දකින කළ මා තුළ අලුතින් පහළ වුණු අදහස මෙයයි. තිඹිරිගස්වැව ගම්වාසින් විසින් මෙම ස්මාරකය ඉදි කරන්නට ඇත්තේ හොඳගැහැණු ළමයෙකුට අනුකම්පාව මෙන්ම ගෞරවය දැක්වීමත් ඇයට එල්ල වුණු සමාජ අසාධාරණයට විරෝධය පෑමත් සඳහාය. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ අරමුණත්, පරමාර්ථයත් වන්නට ඇත්තේ එය නොවේද? 

[1994 මාර්තු 8 දා ‘ලංකාදීප’, කරුණාසේන ජයලත්, ලෝක කාන්තා දිනය අදයි, රාවණ නැගණියගේ සිට ඇඩ්ලින් විතාරණ හරහා වෙළඳ කලාප දක්වා.]

තිඹිරිගස්වැවේ ගැමියන් ඇඩ්ලින් විතාරණ වෙනුවෙන් ඉදි කළ සිහිවටනය ගවේෂකයා දැක තිබුණි. එහෙත් ප්‍රකට නවකතාකරු කරුණාසේන ජයලත්ගේ ඉහත සටහන සාවද්‍ය මනුශ්‍ය ඝාතනයකට මහජන විරෝධය මතුවන ආකාරය ගැන නව මානයක් එකතු කර තිබුණේය. ගවේෂකයාට ඇඩ්ලින්ගේ හා රමණිගේ  බර්තෝලමියුස්ගේ මරණ අතර යම් සමානතා මෙන්ම මානව වගකීම් ද දැනෙන්නට ගත්තේ මින් අනතුරුවය. ඒ අතරවාරයේ  ඔහු ස්වකීය මිත්‍රයෙකු වූ වසන්ත ඔබේසේකරගේ ඉතාමත්ම ප්‍රකට වූ හා ජනප්‍රිය වූ ‘දඩයම’ චිත්‍රපටයේ තිරනාටකය ඉල්ලාගෙන බැලුවේය.

‘රත්මලී; බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කෝ උන් බැඳල දාන්න ඕන. නැතිනම් වෙඩිතියල මරල දාන්න ඕන. ඒහින්දයි මම තමුසේ බැඳගන්නේ...!

ජයනාත්; උඹ කාටද බල්ල කීවේ..?

රත්මලී; බල්ල කීවේ තමුසෙට...!’

[1983 ,‘දඩයම’ අමුද්‍රිත තිරනාටකය, වසන්ත ඔබේසේකර හා ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු.]

ඒ තීරණාත්මක රාත්‍රියේ පෙම්වතා පැදවූ  ජීප් රියට යට වී මිය යාමට පෙර මේ දෙබස් ඔහු හා රමණි බර්තොලමියුස් අතර ඇතිවී ද? අපි නොදනිමු. එහෙත් රමණි හා පෙම්වතා අතරේ සිදු වූ ශාරීරික දබරයක තුවාල පිළිබඳ වාර්තාවක් ඇගේ මරණ පරීක්ෂණයේ දී අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපත් කළේය. ඇඩ්ලින් විතාරණ ‘රත්මලී’ වී ‘දඩයමේ’ ප්‍රධාන චරිතය වී  තමා මරා දමන්නට යට කළ ජයනාත්ගේ රියට පහර දී වින්ස්ක්‍රීනයක් කැඩු ආකාරයට රමණි  සැබෑ ජීවිතයේ දී ස්වකීය චපල පෙම්වතාට  අවසාන සටනක් දුන්නා ද?  අපි පසුව ඒ ගැන කතා කරමු. දැන් මොහොතකට ඇඩ්ලින් හා ආනන්දගේ සෑබෑ ප්‍රේම කතාවට කියවමු.

ඇඩ්ලින් හා ආනන්දගේ සෑබෑ ප්‍රේම කතාව

1959 මාර්තු 14 දා හැන්දෑවේ පුත්තලම - අනුරාධපුර පාරේ තිඹිරිවැව 27 වෙනි සැතපුම් කණුව අසල දී තරුණ ස්ත්‍රියක් මෝටර් රථයකට යට කර මරා දමා තිබෙනු තිඹිරිගස්වැව ගම් වැසියෝ දුටුවෝය. ඔවුහු මේ අභිරහස් මරණය පොලීසියට දැනුම් දුන්හ. එකල සිටි අපක්ෂපාතී, නීතිය අකුරටම ඉටු කරන පොලිස් නිලධාරීහු ඒ ගැන අපරාධ පරීක්ෂනයක් ආරම්භ කළහ.

පොලිස් පරීක්ෂකයෝ අපරාධකරුවන්  ලුහුබදින්නට වූහ. ඔවුන් සොයා ගත් ආකාරයට මරා දමා තිබූ  තරුණ ස්ත්‍රිය, ඉඳුරුවේ, ගෝනගල ඇඩ්ලින් විතාරණ ය. ඇඩ්ලින්ගේ අභිරහස් ඝාතනයේ සැකයට ලක් වූයේ ඇගේ පෙම්වතාය.  ඔහු කළුතර ප්‍රදේයේ පදිංචිකරුවෙකු වූ ජේ. ආනන්ද ගොඩගේ නම් ව්‍යාපාරිකයෙකු හා ගුරුවරයෙකි. කළුතර ඥාණෝදය විදුහලේ ගුරුවරයෙකු වූ ආනන්ද ගොඩගේ ට එම නගරයේම ආපන ශාලවක හිමිකරුවාද විය. ආනන්ද ගොඩගේට එදිරිව ඇඩ්ලින් විතාරණ නඩු තීන්දුවට අනුව ඇඩ්ලින් වසර 3 කට ආසන්න කාලයක් ආනන්දගේ අනියම් බිරිඳව සිටියාය. ඇයට ඔහුට දාව කුඩා දියණියක් ද විය. ඇඩ්ලින්ට ආනන්ද විවාහ කර ගැනීමේ බලවත් වුවමනාවක් තිබුණත් ඔහු එය මඟහරිමින් සිටියේ ය. ධනවත් ස්ත්‍රී ලෝලියෙකු මෙන්ම සෙල්ලක්කාරයෙකු වූ ආනන්ද ඇඩ්ලින්ගෙන් විවාහ යෝජනාවෙන් ගැලවෙන්නට ඇති විසඳුම හැටියට දුටුවේ ඇය මරා දැමීමය.

ඒ අනුව ආනන්ද හා දෙවැනි සැකකරු ඇය මුලා කර පුත්තලමට ගෙන ගියෝය. පසුව ඔවුන් ගමන් ගත් මෝටර් රියට යටකර ඇඩ්ලින් මරා දමුවෝය. ඇසින් දුටු සාක්ෂිකරුවන් නොසිටි මේ මිනීමැරුමේ සැකකරුවන් රහස් පොලිසීයේ පරීක්ෂකයන් සොයා ලංකාවේ අපරාධ පරීක්ෂණ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එකතු කරමිනි. මේ සූර පරීක්ෂකයෝ ඇඩ්ලින් යට කර මරා දමූ මෝටර් රියේ රෝදවල තිබූ ඇගේ හිසකෙස් කීපයක් සොයා ගැනීමට සමත් වූහ. ඇඩ්ලින් ඝාතනයේ සැකකරුවන් පෝරකයට ගියේ මෙසේ සොයා ගත් සාක්ෂි ඔප්පු වීමෙනි.

1950 හා 60 දශකවල රටේ සිටි රහස් පොලිස් නිලධාරීහු අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියේ දී දේශපාලන ඇඟිළි ගැසීම්වලට ඉඩක් නොතැබූහ. අධිකරණය මුළුමනින්ම ස්වාධීන ආයතනයක් විය. මේ නිසා ඇඩ්ලින් විතාරණට යුක්තිය ඉටු විය. අපරාධකරුවෝ, අධිකරණ ක්‍රියාවලියේ දී යුක්තිය හරියාකරවම ඉටු කෙරෙණ  නිසා අපරාධයට බිය වුහ. එහෙත් එම සියවසේ තෙවන කාර්තුව වෙද්දී මේ සියල්ලම උඩියටිකුරු වෙමින් තිබුණේය. 

(සේයාරූ වල - ඇඩ්ලින් විතාරණ, ආනන්ද ගොඩගේ, විල්පත්තු සිහිවටනය හා මරා දමා තිබු ඇඩ්ලින්ගේ සිරුර, රත්මලී ලෙස රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චි සහ රමණී බර්තොලමියුස් දැක්වේ)

බලාපොරොත්තු වන්න - 'රූ රැජිණ හා නිළිය: රමණි බර්තෝලමියුස්'

සබැඳි පුවත
(01 පරිච්චේදය) ‘යුක්තියේ කන්‍යාව’ දැරියකට පිටුපායි..!

නන්දන වීරරත්නගේ ලිපි එකතුවක්
https://www.lankaenews.com/category/98

 

---------------------------
by     (2025-07-09 09:32:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links