-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.09, ප.ව.4.15) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි මස 18 වැනි දින බහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම හේතුවෙන්, නීති විරෝධී, හානිකර හෝ වැරදි ලෙස ප්‍රකාශයට පත්කරන ලද බහාලුම් නිශ්කාෂණය වී ඇති බවට රේගු වෘත්තීය සමිති, සිවිල් කණ්ඩායම් සහ සාමාන්‍ය මහජනතාව අතර විශාල සැකයක් උද්ගත විය.
මේ තත්ත්වය යටතේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා ලෙස අනුර දිසානායක ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් එකී ප්‍රස්තුත බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයකුගේ ප්‍රධානත්වය යටතේ සාමාජිකයන් හතර (04) දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලදී.
භාණ්ඩාගාර ලේකම්ගේ අංක MF/ST/01/02 හා 2025/01/30 දිනැති ලිපිය මගින් පත්කරන ලද මෙම කමිටුවේ සභාපති ලෙස ප්‍රධානත්වය උසලනු ලැබුවේ, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න මහතා ය.
කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ, කළමනාකරණ විගනණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. කුරුම්බලපිටය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලක) ඊ. එම්. එස්. බී. ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. කේ. ප්‍රදීප් කුමාර සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ එම්. කේ. එස්. පී. ජයවර්ධන යන අය ය. කමිටු කැඳවුම්කරු / ලේකම්, ලෙස කටයුතු කරනු ලැබුවේ, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය විශාඛා විජේරත්න ඇලපාත ය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කළ මෙම පරීක්ෂණ කමිටුව පිහිටුවීමේ අරමුණ වූයේ, මෙම සිදුවීම පිළිබඳව අධ්‍යයනය කර, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඉහළ කළමනාකරණය විසින් රේගු බහාලුම් තදබදය සමනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පරීක්ෂා කිරීම ය.
මෙහිදී මෙම ප්‍රස්තුත බහාලුම් නිශ්කාෂණය සිදු වී ඇත්තේ රේගු අවදානම් කළමනාකරණ පද්ධතිය යටතේ වන ප්‍රතිපාදන හා රේගු ආඥා පනතින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතල වලට අනුකූලව ද? එසේම එම තීරණ අවශ්‍යයෙන්ම ගත යුතු සහ යුක්ති සහගත තීරණ ද? ජාතික ආරක්ෂාව, වෙළඳ මෙහෙයුම්, රේගු ආදායම කෙරෙහි මෙයින් සිදු වී ඇති බලපෑමේ තක්සේරුව කුමක් ද? සහ රේගු අවදානම් කළමනා කරණ හා පාලන පද්ධති වැඩිදියුණු කිරීම සඳහා වන නිර්දේශ සහ නිගමන මොනවා ද? යන්න ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම මෙම පරීක්ෂණ කමිටුව පිහිටුවීමේ මුඛ්‍ය අරමුණ විය.
ඒ අනුව, මෙම කමිටුවේ නිරීක්ෂණ, නිර්දේශ සහ නිගමන ඇතුළත් කමිටු වාර්තාව 2025 පසුගිය ජුනි මස 12 දින මෙම කමිටුවේ සභාපති සහ ප්‍රධානියා ලෙස කටයුතු කළ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න මහතා විසින් භාණඩාගාර ලේකම් වෙත භාර දී ඇති බවට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විපක්ෂයේ පිරිස් විසින් මේ වන විට අනාවරණය කර ඇත.
විපක්ෂය විසින් අනාවරණය කරන ලද මෙම පරීක්ෂණ කමිටු වාර්තාව අසත්‍ය හෝ ව්‍යාජ හෝ වාර්තාවක් බව ආණ්ඩු පක්ෂයේ කිසිවකු විසින් අද (ජූලි 09) වන තුරු ප්‍රකාශ කොට නැත. එසේම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පත් කරන ලද මෙම පරීක්ෂණ කමිටුවේ වාර්තාව ආණ්ඩුව විසින් ද මේ වන තෙක් පාර්ලිමේන්තුවට හෝ මහජනතාවට හෝ ඉදිරිපත් කිරීමට ද කටයුතු කොට නැත.
කෙසේ වෙතත් විපක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළදී ත්, ඉන් පිටත දී ත් අනාවරණය කරනු ලබන මෙම පරීක්ෂණ කමිටු වාර්තාව ව්‍යාජ හෝ අසත්‍ය වාර්තාවක් නොවේ නම්, එම වාර්තාවේ තොරතුරු දැන ගැනීමට රටේ ජනතාවට අයිතියක් තිබේ.
අඩුම තරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කළ එම පරීක්ෂණ කමිටු වාර්තාවේ නිර්දේශ මොනවාද යන්න පිළිබඳව වත් රටේ ජනතාව දැන සිටිය යුතු වේ.
මුද්‍රිත පිටු 43 කින් සමන්විත එම පරීක්ෂණ කමිටු වාර්තාවේ සම්පුර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම අපහසුය. එබැවින්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි මස 18 වැනි දින රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 309 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් එම කමිටුවේ නිගමනයන් මොනවා ද යන්න පමණක් පහත සඳහන් කරමු.
" රේගු පරිශ්‍රය තුළ උද්ගත වූ බහාලුම් තද බදය නිරාකරණය කිරීම සඳහා තාවකාලික පියවරක් ලෙස, රේගු අවදානම් කළමනාකරණ පද්ධතිය මඟින් " රතු " ලෙස හඳුනාගත්, ඉහළ අවදානමක් ඇති බහාලුම අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් හා රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ එකඟතාවයෙන් පත් කළ කමිටුවක් මඟින් නිදහස් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් වන විමර්ශන කමිටුවේ නිගමනයන් වනුයේ,
(i) අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයකට අනුව අවදානම් කළමනාකරණ ක්‍රම වේදයක් අනුගමනය කිරීම සඳහා රේගු දෙපාර්තමේන්තුව විසින් 2021 ඔක්තෝම්බර් 26 දිනැතිව, දෙපාර්තමේන්තු නියෝග අංක 1531 යටතේ, වෙනම අවදානම් කළමනාකරණ අංශයක් ස්ථාපිත කරන ලදී. එහි මූලික අරමුණ වූයේ, බහාලුම් නිදහස් කිරීමේ දී එකී බහාලුම් ආනයනකරුවන් සම්බන්ධයෙන් පද්ධතිය තුළ ඇති දත්ත පදනම් කරගෙන පුද්ගල මැදිහත් වීමකින් තොරව, අවදානම අනුව, " රතු ", "කහ " සහ " කොළ " ලෙස වර්ගී කරණය කර, ඒ අනුව, එකී අවදානමට සරිලන පරිදි ස්ථාපිත කර ඇති ක්‍රියාපටිපාටි අනුව බහාලුම් නිදහස් කිරීමය.
නමුත්, මෙම ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් හා ඉහළ කළමනාකරණය විසින් ගත් තීරණයක් පරිදි අවදානම් කළමනාකරණ ක්‍රම වේදය මඟින් " රතු " ලෙස වර්ගී කරණය කරන ලද බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම, දෙපාර්තමේන්තු නියෝග මත ස්ථාපිත කර ඇති පිළිගත් ක්‍රියාපටිපාටි වලට පටහැනි වේ.
(ii) රේගු ආඥා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට රේගු දෙපාර්තමේන්තුවේ කර්තව්‍යයන් ඉටුකරගෙන යාම සඳහා " සාමාන්‍ය අධිකාරිත්වයක් " ලබා දී ඇති නමුත්, පිළිගත් ක්‍රියාපටිපාටි වලින් බැහැර වීම සඳහා ඔහුට ප්‍රකාශිත හෝ ව්‍යංග බලයක් පනත මඟින් ලබා දී නොමැත. එබැවින්, බහාලුම් නිදහස් කිරීම සඳහා රේගු දෙපාර්තමේන්තුව තුළ විධිමත් පරිදි ස්ථාපිත කර ඇති අවදානම් කළමනා කරණ ක්‍රම වේදයට පරිබාහිරව කමිටුවක් මඟින්, අවදානම් කළමනාකරණ පද්ධතිය යටතේ " රතු " ලෙස වර්ගී කරණය කරන ලද ඉහළ අවදානමක් සහිත බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා ගනු ලැබූ තීරණය පනත මඟින් ඔහු වෙත ලබා දී ඇති බලතල අතික්‍රමණය කිරීමක් වේ.
(iii) 2025 ජනවාරි 18 දින නිදහස් කළ බහාලුම් 309 තුළ තිබූ " රතු " ලෙස අවදානම් කළමනාකරණ පද්ධතිය මඟින් වර්ගී කරණය කළ බහාලුම් 151 සහ 2024 ජූලි මාසයේ සිට අවස්ථා 13 ක දී නිදහස් කළ " රතු " ලෙස වර්ගී කරණය කළ බහාලුම් 999 භෞතික පරීක්ෂාවකට ලක් කර නොමැති බැවින්, හා එකී බහාලුම් සම්බන්ධයෙන් පසු විගණනයක් හෝ රේගු දෙපාර්තමේන්තුව තුළ ඇති අනිකුත් රේගු නිවාරණ අංශ මඟින් එම බහාලුම් පිළිබඳව විමර්ශනයක් සිදු කර, එකී බහාලුම් තුළ අවි ආයුධ, රත්‍රං, දියමන්ති, මත්ද්‍රව්‍ය, සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය, රේගු සටහන්කරයේ සඳහන් භාණ්ඩ වලට පටහැනි භාණ්ඩ හෝ ප්‍රමාණයන් ඇතුළත් වී තිබුනේ ද යන්න හෙළිදරව් කර නොමැති බැවින්, මෙම " රතු " ලෙස වර්ගී කරණය කරන ලද බහාලුම් වල සත්‍ය වශයෙන් අඩංගු ද්‍රව්‍ය පිළිබඳව හා එමඟින්, රටේ ආරක්ෂාව, සෞඛ්‍ය හෝ රාජ්‍ය ආදායමට සත්‍ය වශයෙන් සිදු වූ බලපෑම් පිළිබඳව නිශ්චිත මතයක් පල කළ නො හැක. ඒ අනුව, රේගු දෙපාර්තමේන්තුව විසින් අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය විචක්ෂණශීලී පසුවිපරම් ක්‍රියාමාර්ග අවශ්‍ය අවස්ථාවලදී නො ගැනීම තුළින් රේගු දෙපාර්තමේන්තුවේ මූලික වගකීම් අවදානමට ලක් කර ඇත.
(iv) 2024 ජූලි මාසයේ සිට 2025 ජනවාරි 18 දක්වා කාල පරිච්ඡේදය තුළ රේගු පරිශ්‍රය තුළ වරින් වර ඇති වූ බහාලුම් තදබදය සමනය කිරීමේ අරමුණ ඇතිව, සද්භාවයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකරණය ගත් තීන්දුවක් මත දෙපාර්තමේන්තුව තුළ නීත්‍යානුකූල ලෙස ස්ථාපිත කර ඇති බහාලුම් නිදහස් කිරීම සඳහා වන ක්‍රම වේදයෙන් බැහැරව කමිටුවක් මඟින් " රතු " ලේබල් යටතේ වර්ගී කරණය කරන ලද ඉහළ අවදානමත් සහිත අනිවාර්ය භෞතික පරීක්ෂාවකට ලක් කළ යුතු බහාලුම් එසේ නොකර නිදහස් කිරීම සත්‍ය වශයෙන් බහාලුම් තදබදය නිරාකරණය කිරීම සඳහා ගත් පියවරක් බවට පරීක්ෂණ කමිටුවට නිරීක්ෂණය නො වීය.
එනම්, අවස්ථා 14 කදී කමිටුව විසින් නිදහස් කල බහාලුම් ප්‍රමාණයන් පරීක්ෂා කිරීමේදී ඇතැම් දිනවල බහාලුම් 13 ක් සහ 63ක් වශයෙන් අවම බහාලුම් ප්‍රමාණයක් නිදහස් කළ අවස්ථා ද තිබු අතර, මුළු කාල පරිච්ඡේදයම සැලකිල්ලට ගත් විට, එක් අවස්ථාවක දි නිදහස් කර ඇති උපරීම බහාලුම් ප්‍රමාණය 383 කි. එමෙන්ම, 2024 ජූලි මාසයේ සිට 2025 ජනවාරි 18 දින දක්වා කමිටුව රැස් වී බහාලුම් නිදහස් කළ දින වල රේගු පරිශ්‍රය තුළ තිබූ බහාලුම් ප්‍රමාණය පිළිබඳ විස්තර ඉල්ලුම් කළද, ඒ පිළිබඳ තොරතුරු නො ලැබුණ බැවින්, එම එක් එක් දිනයන් හි, නිදහස් කළ බහාලුම් ප්‍රමාණය, එදිනට රේගුව තුළ ගොඩ ගැසී තිබූ සත්‍ය බහාලුම් ප්‍රමාණය හා සැලකීමේදී භෞතික පරීක්ෂාවකින් තොරව " රතු" ලේබල් සහිත බහාලුම් නිදහස් කිරීමෙන් ඇති විය හැකි ඉහළ අවදානමද නොසලකා බහාලුම් තද බදය නිරාකරණය කිරීමේ අරමුණින්ම ගත් ක්‍රියා මාර්ගයක් ලෙස තහවුරු කරගත නො හැකි විය.
එසේ සද්භාවයෙන් බහාලුම් තදබදය සමනය කිරීමේ අරමුණින් මෙම ක්‍රියාදාමය සිදු කළේ නම්, මෙම ක්‍රමවේදය පිළිබඳව විධිමත් පරිදි රේගු දෙපාර්තමේන්තුවේ සියලු අංශ දැනුවත් කර, රේගු පරිශ්‍රයෙන් පිටවු පසු ඒ පිළිබඳව අනෙකුත් රේගු විමර්ශන අංශ මඟින් පරීක්ෂාවකට ලක් කර '' රතු " ලෙස වර්ගීකරණය කරන ලද බහාලුම් භෞතික පරීක්ෂා නොකිරීමෙන් ඇතිවිය හැකිව තිබු අවදානම අවම කරගැනීමට හැකිව තිබුණි.
(v) බහාලුම් නිදහස් කිරීම සඳහා පත් කළ කමිටුව විසින් 2025 ජනවාරි 18 දින නිදහස් කළ ඉහළ අවදානමක් ඇති '' රතු " වර්ගීකරණය යටතේ වන බහාලුම් 151 අතුරින් බහාලුම් 114 ක් ස්කෑන් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එම ස්කෑන් පරීක්ෂාවේදී ඇතැම් බහාලුම්වල අඩංගු ද්‍රව්‍ය හා ප්‍රමාණයන් පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබෙන බවත් ඒවා වැඩිදුර විමර්ශනය කරන ලෙස අදාළ බහාලුම් ස්කෑන් කරන ලද නිලධාරින් ලිඛිතව දන්වා තිබියදීත්, ඒ පිළිබඳව අවධානය යොමු නො කර අදාළ බහාලුම් නිදහස් කිරීම මගින් ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් තම රාජකාරි වගකීම පැහැර ඇති අතර, එකී නිලධාරින්ට විරුද්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය. "
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
---------------------------
by (2025-07-09 10:54:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි