~

කුහක ගොබ්බ කතා පසෙක ලා ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හරි හැටි හඳුනා ගනිමු..!

-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.11, ප.ව‍.8.50) ශ්‍රී ලංකාව, පිලිපීනය ඇතුළු අනෙකුත් නැගී එන ආර්ථිකයක් සහිත රටවල් 7 ක් සඳහා අගෝස්තු 1 වන දින සිට බලාත්මක වීමට නියමිත නව තීරුබදු අනුපාත මොනවාද යන්න සඳහන් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පසුගිය බදාදා අදාල රට වලට ලිපි බෙදා හැරියේය.

බදාදා ලිපි යවන ලද රටවල් හතෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ විශාලතම වෙළඳ සම්බන්ධතාවය ඇත්තේ පිලිපීනයට ය. පිලිපීනය පසුගිය වසරේ එක්සත් ජනපදයට යවා ඇති භාණඩ වල වටිනාකම ඩොලර් බිලියන 14.1 කි. 

ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 2.9 ක භාණ්ඩ අපනයනය කරද්දි ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත්තෙ ඩොලර් මිලියන 370 ක වැනි ප්‍රමාණයකි.

ලංකාවට අඩු කරද්දී පිලිපීනයට වැඩි කරයි..

පසුගිය අප්‍රේල් මස මුලදී ධවල මන්දිරය විසින්  "විමුක්ති දිනය" ලෙස නම් කොට, ට්‍රම්ප්  නිවේදනය කළ තීරුබදු අනුපාතයට අනුව පිලිපීනයේ තීරුබදු අනුපාතය වූයේ සියයට 17 කි. නමුත් පසුගිය බදාදා යැවූ ලිපියට අනුව එය සියයට 20 දක්වා වැඩි කිරීමට ට්‍රම්ප් ක්‍රියාකර තිබේ.

ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තීරුබදු සියයට 44, පසුගිය බදාදා සියයට 30 දක්වා අඩු කර තිබේ. 

මේ අනුව බැලූ විට ලංකාව ඉන්නේ සාපේක්ෂව යහපත් මට්ටමක බව අවිවාදයෙන් පිලිගත යතුව තිබේ.

වෙනස..

ඇමරිකාවේ සංගණන කාර්යාංශයේ වාර්තාවට අනුව, පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදය ඇල්ජීරියාව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 1.4  ක, ඉරාකය සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.9 ක, ලිබියාව සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 900 ක, පිලිපීනය සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 4.9 ක, ශ්‍රී ලංකාව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක, බෲනායි සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 111 ක සහ මෝල්ඩෝවා සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 85 ක භාණ්ඩ සඳහා වෙළඳ අසමතුලිතතාවයක් පවත්වා තිබේ. භාණ්ඩ  අසමතුලිතතාවය යනු එක්සත් ජනපදය එම රටවලට අපනයනය කළ දේ සහ එක්සත් ජනපදය විසින් එම රට වලින් ආනයනය කළ භාණ්ඩ අතර වෙනසයි.

ට්‍රම්ප් මෙම බදු ප්‍රතිපත්තිය භාවිතා කර ඇත්තේ එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රික හා මූල්‍ය බලය, ප්‍රතිවාදීන් සහ මිත්‍ර පාක්ෂිකයන් යන දෙපිරිසටම තමන්ගේ හැටි තහවුරු කිරීමේ මාර්ගයක් ලෙස ය.

ආනයන සඳහා වන බදු වෙළඳ අසමතුලිතතාවයන් අඩු කරන බවත්, බදු කප්පාදුවල පිරිවැයෙන් යම් ප්‍රමාණයක් මෙමගින් පියවා ගන්නා බවත්, කර්මාන්තශාලා රැකියා නැවත එක්සත් ජනපදයට ගෙන ඒමට මෙම බදු ප්‍රතිපත්තිය හේතු වන බවත් ට්‍රම්ප් පරිපාලනය එරට ජනතාවට පොරොන්දු වෙයි.

වෙළඳාම රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක්..

ට්‍රම්ප්, අප්‍රිකානු නායකයන් සමඟ ධවල මන්දිරයේ පැවති හමුවකදී කතා කළේ වෙළඳාම රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් බව ප්‍රකාශ කරමින් ය. ඉන්දියාව සහ පකිස්ථානය මෙන්ම කොසෝවෝ සහ සර්බියාව අතර ආරවුල් සමථයකට පත් කිරීම සඳහා වෙළඳාම "අත්තිවාරමක් ලෙස පෙනේ" යැයි ඔහු පවසයි.

වෙළඳාම පෝෂණය කිරීමෙන් සාමයට මඟ පෑදිය හැකි ආකාරය පිළිබඳ උදාහරණයක් ලෙස ට්‍රම්ප්  භාවිතා කළ රටක් වන සර්බියාවට පසුගිය සඳුදා ට්‍රම්ප් සියයට 35 ක තීරු බද්දක් පැනවීය.

තම ලිපි මගින් නියම කරන තීරුබදු අනුපාත "සාමාන්‍ය බුද්ධිය" සහ වෙළඳ අසමතුලිතතාවයන් මත පදනම් වූ බව ට්‍රම්ප් කියයි. ලයිබීරියාව, සෙනගල්, ගැබොන්, මොරිටේනියාව සහ ගිනියා-බිසාවු යන රට වලට දඬුවම් කිරීමට තමා සිතුවේ නැති බවත්, එසේ කළේ ඒවා දැන් තමන්ගේ මිතුරන් නිසා බවත් ට්‍රම්ප් පවසයි.

සරල ආර්ථිකයට වඩා පුද්ගලික අමනාපකම්

එක්සත් ජනපද නායකයාගේ තීරුබදු භාවිතා කිරීමේ ගාමක බලවේගය වන්නේ සරල ආර්ථිකයට වඩා පුද්ගලික අමනාපකම් බව පෙනේ. ට්‍රම්ප් බ්‍රසීලයට දැඩි තීරුබදු තර්ජනයක් එල්ල කොට තිබෙන්නේ එවැනි අමනාපයක් නිසා වෙනි .

කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට ලක්ව සිටින ට්‍රම්ප්ගේ මිත්‍රයෙකු වන හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහි නඩු විභාගය අවසන් කරන ලෙස පැහැදිලි ඉල්ලීමක් කරමින්, ට්‍රම්ප් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත ලිපියක් යොමු කළේය. නමුත් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා එය ඉටු නො කළ විට, ඊට පළිගැනීමක් ලෙස ට්‍රම්ප් කළේ බ්‍රසීලයට 50% ක ආනයන බද්දක් පැනවීමය.

"මෙම නඩු විභාගය සිදු නොවිය යුතුයි. එය වහාම අවසන් කළ යුතුය." යනුවෙන් ට්‍රම්ප් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යැවූ ලිපියේ සඳහන් කොට ඇත.

එතැන දී ට්‍රම්ප් උත්සාහ කරන්නේ තමන්ගේ පුද්ගලික සගයෙකුගේ ප්‍රයෝජනය සඳහා වෙනත් රටක දේශීය ප්‍රතිපත්තියට බලපෑම් කිරීමට එක්සත් ජනපදයේ ආර්ථික බලය භාවිතා කිරීමය.

"BRICS" විරෝධය..

මේ අතර පසුගිය ඉරිදා රාත්‍රියේ ට්‍රම්ප් පැවසුවේ,  "BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන" ඕනෑම රටකට අතිරේක 10% ක තීරුබද්දක් අය කරන බවය. මෙම ප්‍රතිපත්තියට කිසිදු ව්‍යතිරේකයක් නොමැති බවත් ජනාධිපති වැඩිදුරටත් පැවසීය.

ඇතැම් රටවල් තම ලිපිවල දක්වා ඇති අනුපාත පිළිබඳව පැමිණිලි නො කරන බව පවසන ට්‍රම්ප් , "අපිට ඇත්තටම ගොඩක් පැමිණිලි ලැබිලා නැහැ, මොකද මම ඒවා ඉතා අඩු සංඛ්‍යාවක තබාගෙන ඉන්නවා." යැයි ද කියා සිටී.

ජනාධිපති ට්‍රම්ප් පසුගිය සඳුදා තීරුබදු අනුපාත ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ, එක්සත් ජනපදයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් දෙදෙනෙකු වන ජපානය සහ දකුණු කොරියාවට සියයට 25 ක ආනයන බදු පැනවීමෙනි.

යුරෝපීය සංගමය..

එක්සත් ජනපදයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු සහ ට්‍රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ කෝපයේ මූලාශ්‍රයක් වන යුරෝපීය සංගමයේ නිලධාරීන් පසුගිය  අඟහරුවාදා පැවසුවේ ට්‍රම්ප්ගෙන් තීරුබදු අනුපාත ලැයිස්තුගත කරමින් ලිපියක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවයි.

ට්‍රම්ප්ගේ අවසාන දිනය වන අගෝස්තු 1 වන දින දක්වා  සාකච්ඡා කිරීමට රටවලට වැඩි කාලයක් ලබා දෙන නමුත් ලිපි ලැබෙන රටවල් සඳහා කිසිදු දීර්ඝ කිරීමක් සිදු නොවන බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

යුරෝපා සංගමයේ ප්‍රධාන වෙළඳ සාකච්ඡාකරු මාරෝස් සෙෆ්කොවික් පසුගිය  බදාදා ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් හි යුරෝපා සංගම් නීති සම්පාදකයින්ට පැවසුවේ, ට්‍රම්ප් විසින් යවන ලද ලිපිවල අඩංගු වැඩි කළ තීරුබදු වලින් යුරෝපා සංගමය බේරී ඇති බවයි. අගෝස්තු 1 වන දින දක්වා සාකච්ඡා දීර්ඝ කිරීම සතුටුදායක නිගමනයකට එළඹීමට අමතර ඉඩක් ලබා දී ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වන දින යුරෝපා සංගම් භාණ්ඩ සඳහා සියයට 20 ක තීරුබද්දක් යෝජනා කළ අතර, පසුව ඔහු කැමති තරම් වේගයෙන් සාකච්ඡා ඉදිරියට නොගිය නිසා බද්ද තවත් සියයට 10 කින් ඉහළ නංවන බවට තර්ජනය කළේය.  සාකච්ඡා ආරම්භ වූ පසුව නැවත බදු ප්‍රතිශතය සියයට 10 ක මූලික මට්ටමට පැමිණියේය. යුරෝපා සංගමය ගොඩනැගී ඇත්තේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු සාමාජික රටවල් 27 ක එකතුවකිනි.

ට්‍රම්ප්ගේ තර්ජන..

වෙළඳ අසමතුලිතතාවය ඇමරිකානු ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් බව ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප්ගේ  තීරුබදු ලිපි ආක්‍රමණශීලී විලාසයක් ගන්නා නමුත්, එම තීරුබදු ප්‍රතිපත්තිය එක්සත් ජනපදය, අසාමාන්‍ය ආර්ථිකයට සහභාගී කර වීමට කරන ආරාධනයක් ලෙස සකස් කර ඇති බවත් ට්‍රම්ප් පරිපාලනය කියා සිටී.

ඇමරිකාවෙන් පළිගැනීමට උත්සාහ කරන ඕනෑම රටකට අමතර තීරුබදු පනවන බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා තර්ජනය කරයි .

ට්‍රම්ප් විසින් මැලේසියාවේ භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පැනවීමෙන් පසු මැලේසියාවේ වෙළඳ අමාත්‍ය සෆ්රුල් අසීස් පසුගිය බදාදා පැවසුවේ, තම රට එක්සත් ජනපදයේ ඉල්ලීම් සියල්ල ඉටු නො කරන බවයි.

සාකච්ඡා සඳහා අගෝස්තු 1 වන දින දක්වා කාලය ලබා දීම ප්‍රමාදයක් ලෙස අර්ථකථනය කළ ජපාන අගමැති ෂිගේරු ඉෂිබා කියා සිටියේ, ට්‍රම්ප්ගේ තීරුබදු තම ජාතියේ දේශීය කර්මාන්ත හා රැකියාවලට හානි කරන බවයි. 

ආර්ථික උවමනාවකට වඩා එහා ගිය භූ දේශපාලනික උවමනාවක්..

මෙම සියලු කරුණු පරීක්ෂාකාරීව විමසා බැලීමේදී ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ස්ථාවර ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ උවමනාවකට එහා ගිය භූ දේශපාලන ඉලක්ක සපුරා ගැනීමේ උවමනාවන් ද සහිත වූ ක්‍රියාවක් බව ඉතාමත් පැහැදිලිය.

මේ අනුව ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හැසිරවීම සිදුවන්නේ කෙසේ දැයි ඉතා පැහැදිලිය.

ඓතිහාසික ඇමරිකානු ජාතික ප්‍රතිපත්ති සහ ඩොනලඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අතර හිතාගත නො හැකි තරම් පරස්පරතා පවතී. එය ආර්ථිකය සම්බන්ධයෙන් පමණක් නොව සමාජීය සහ සංස්කෘතික අංශයන්හි සිදු කරන ක්‍රියා වලින් ද මනා ලෙස දෘෂ්‍යමාන වෙමින් තිබේ. රට තුළ සිටින විදේශිකයන් සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ඔහු අනුගමනය  කරන ප්‍රතිපත්ති පිළිබඳව ඇමැරිකානු සමාජය තුළම පවතින්නේ වියවුලකි.

ලංකාවේ කුහක කතා ගොබ්බකමකි..

මෙවැනි වටා පිටාවක් තුළ ට්‍රම්ප් සමඟ මීට වඩා ඉංග්‍රීසි දන්නා හෝ රාජ්‍ය පාලනයේ පළපුරුද්දක් ඇති අය පාලන බලයේ හිටියා නම් ලංකාවට මීට වඩා  වැඩි වාසියක් ලබාගත හැකිව තිබුණා යැයි යමෙක් පවසන්නේ නම් එය සැබෑ යථාර්ථය නොවේ. එවැනි ප්‍රකාශ පිටුපස ඇත්තේ හුදු බලලෝභය හෝ කුහකකම පමණි. 

ලෝකයේ කාර්මික අතින් ඉහළ මට්ටමේ සිටින යුරෝපයේ බලවත් රටවල් වලටවත් පාලනය කර ගත නො හැකි ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, ඉංග්‍රීසි සහ රාජ්‍ය පාලනයේ පලපුරුද්ද ඇතැයි කියන ලංකාවේ හාමුලාට ට්‍රම්ප් සමඟ කෝපි කෝප්පයක් බොන ගමන් වෙනස් කර ගන්න තිබුණා යැයි හිතීම ම ගොබ්බකමකි.

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියේ ලංකාවට අවාසියක්, අමාරුකමක්, අවැඩක් වෙනවා නම්, ඒක හුදු අනුර කුමාරට හෝ පවතින ආණ්ඩුවට හෝ කෙළවෙන "හොඳ වැඩක්" නොවේ. කෙළ වෙන්නේ රටටම ය. කෙළවෙන්නේ NPP කාරයන්ට සහ JVP කාරයන්ට විතරක් නොවේ.  ස. ජ. බ., පොහොට්ටුව , UNP,  පෙරටුගාමී ආදී කී නොකී හැමෝටම කෙළ වෙති.

බාල විපක්ෂයක් රටකට තිබීම

ලෝකයටම බලපාන මෙම ගැටළුවෙන් ලංකාවට බේරී මිදී සිටිය නො හැකිය. කළ යුත්තේ ඉන් මිදෙන මාර්ග සෙවීමය. එය ආණුඩුව කරන අයට විතරක් අදාල කටයුත්තක් නොවේ. ආණුඩු බලය හොබවන්නේ නැති පොදු විපක්ෂයට ද ඒ වගකීම ඒ බරින්ම පවතී. 

අදහාගත නොහැකි ආශ්චර්යයක් සිදු වී හෙට විපක්ෂයට රාජ්‍ය බලය ලැබුණා යැයි නිකමට හෝ මොහොතකට කල්පනා කළහොත්, ඒ අයටත් මේ ගැටළුට මුහුණ දෙන්නට මාර්ග සෙවීමට සිදු වේ. " එ⁣දාට අපි කරන්නම්, එතකන් අපි ක්‍රමේ  කියන්නේ නෑ." කියන මට්ටමේ බාල විපක්ෂයක් රටකට තිබීම රටේ ජනතා⁣වගේ අවාසනාවකි. තමන්ගේ ක්‍රියා මාර්ගය පැහැදිලි ලෙස ඉදිරිපත් නොකර ව්වේචනය පමණක් කිරීම බෙලහීනකමකි.

ඇමරිකානු බදු පැනවීමේදී ඊට මුහුණදීමට ආණුඩුව ගත් උත්සාහය යහපත් බව, ස. ජ. බ. යේ මන්ත්‍රීවරයකු  වූ හර්ෂ  සහ UNP යේ මන්ත්‍රීවරයෙකු වූ රවී කරුණානායක මහතා ප්‍රකාශ කරන අයුරු දුටුවෙමි. එය අගය කළ යුත්තකි. එහෙත් ස. ජ. බ. යේ නායකයා, තවමත් ප්‍රකාශ කරමින් සිටින්නේ මීට වඩා වැඩි දෙයක් කරන්න තිබුණා හෝ කලාපයේ අයට වඩා අපි ලබාගත් ප්‍රමාණය අඩු බව පමණි. 

ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති හුදෙක් ආර්ථිකමය කෝණයෙන් සලකා බලනවා වෙනුවට එහි ඇති භූ දේශපාලනය තෝරා බේරා ගෙන ඩොනලඩ් ට්‍රම්ප්ව දේශපාලනිකව කියවා ගෙන ගණු දෙනු කිරීමට ප්‍රවේශම් වීමට වත්මන් ආණුඩුව ගන්නා උත්සාහය අගය කළ යුතුවේ. 

-සුනිල් ගාමිණී ජයලත්ගේ

ලියුම්කරුගේ ලිිපි එකතුව
https://www.lankaenews.com/category/106

---------------------------
by     (2025-07-11 15:30:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links