(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.11, ප.ව.10.15) කතරගම පෙරහැර මංගල්‍යයේ අවසන් දිනය වූ ඊයේ (10) ඊට සහභාගී වූ ජනාධිපති අනුර අද පෙරවරුවේ හම්බන්තොට සහ සවස මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වලට සහභාගී වෙමින් එවායේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් සපයන අපූරුව පෙන්වා දුන්නේ ය.
දකුණු පළාත් සංවර්ධන වැඩසටහන යටතේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙම වසරට අයවැයෙන් මිලියන 574ක් වෙන් කර තිබුණද, එයින් දැනට වැය කර ඇත්තේ රුපියල් මිලියන 23ක් පමණක් වන බවද, එය ආසන්න වශයෙන් 4% ක් බවත් මෙහිදී අනාවරණය විය. ඒ පිළිබඳව නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා, මෙම වසර අවසන් වීමට පෙර අදාළ ප්‍රතිපාදන ජනතා අවශ්‍යතා වෙනුවෙන් නිසි පරිදි වැය කළ යුතු බවට අවධාරණය කෙළේ ය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුරු හිඟයක් ගැන කියද්දී ජනාධිපතිවරයා ඒ පිළිබඳ දත්ත විමසා සිටියේ ය. හැඟීම්වලින් හෝ ඉවෙන් ගැටලුවලට විසදුම් සෙවිය නොහැකි බවත්, ඒ සඳහා විධිමත් දත්ත පද්ධතියක් අවශ්‍ය බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම දත්ත විශ්ලේෂණය කරමින් ඒ මත පදනම්ව ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බවද සඳහන් කළේය. එහිදී අනාවරණය වූයේ දිස්ත්‍රික්කයේ ළමුන් 50 ට අඩු පාසැල් 27 ක් පවතින බවයි. එක් පාසැලක ළමුන් 30 ක් සිටින අතර ගුරුවරුන් 9 දෙනෙකි. ළමුන් තිදෙනෙකුට එක් ගුරුවරයෙකු බැගිනි. තැනෙක ගුරු හිඟයක් තියෙද්දී තවත් තැනෙක ගුරු අතිරික්තයකි. ඒ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා නිසි පිළියම් යෝජනා කෙළේය.
මාතර දිස්ත්‍රික් කමිටු රැස්වීමේ දී නිල්වලා ලවණ බාධකය පිළිබඳ ගැටලුව කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වූ අතර, දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින එම ගැටලුව විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ඒ පිළිබඳව සිදුකළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මාසයක් ඇතුළත පත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දුන්නේය.
මාතර දිස්ත්‍රික්කය තුළ පවතින දැනට පරිහරණයට නොගන්නා රජයේ විශාල ගොඩනැගිලි ඵලදායී සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා මාතර සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කළද, එය ඵලදායී කාර්යයක් සඳහා මෙතෙක් යොදවා ගෙන නොමැති බවත්, දිරාපත් වෙමින් පවතින එම ගොඩනැගිල්ල පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා හම්බන්තොට දී ප්‍රශ්න වලට විසඳුම් සොයන අපූරුව පෙන්වන වීඩියෝවක් පහතින්
---------------------------
by (2025-07-11 16:59:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි