-ජ්‍යෙෂ්ඨ ගවේෂනශීලී මාධ්‍යවේදී නන්දන වීරරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.12, ප.ව.11.00) “පළායාම” ඒකාංගික ටෙලි නාට්‍යය සුවිශේෂ වන්නේ කමල් අද්දරආරච්චි මහතා සහ රමණි බර්තෝලමියුස් මෙනෙවිය සුප්‍රකට පෙම්වතුන් ව සිටි අවධියේ එහි එකට රඟපැම යි. ඔවුන් දෙදෙනා එකට එක්ව රඟපෑ එකම දෘශ්‍ය නිර්මාණය ද “පළායාම” ටෙලි නාට්‍ය යි.’
[‘දවා හළු කළ නොහැක මතක’ලූෂන් බුලත්සිංහල, සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශන 2013]
1985 දී ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පළැන්දේ 19 හැවිරිදි රමණී බර්තෝලමියුස් ය. ඇය එම වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ලෝක රූ රැජින කිරුළ දිනාගන්නට තරග වැදුණාය. රූ රැජිණක් දක්ෂ නිළියක් වන්නේ කලාතුරකිනි. රමණි ඒ දුර්ලභ කුසලතාවය උපතින්ම ගෙනැවිත් තිබුණාය.
1966 සැප්තැම්බර් 1 දා ගම්පහ දී, රමණි උපත ලැබුවාය. ඇය කමලා හා මාර්ක් බර්තෝලමියුස්ගේ වැඩිමහල් දියණියයි. ඇය, මුලික අධ්‍යාපනය ගම්පහ හෝලික්‍රොස් විදුහලෙන් ලැබුවාය. ඕ ස්වකීය පාසල් අධ්‍යාපනය හමාර කළේ සැම්බියාවේදී ය. ඒ ඇගේ පියා, මාර්ක් සැමිබියාවේ රැකියාවක් කරන්නට සිය පවුල සමඟ එරට ට සංක්‍රමණය වූ නිසාය.
රමණීගේ පියා මාර්ක් බර්තෝලමියුස් ලංකාවේ සිනමා කර්මාන්තයට අමුත්තෙකු නොවේ. ඔහු ලෝක ප්‍රකට ලාංකික සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙන්ම සුමිත්‍රා පීරිස් සමඟද චිත්‍රපට නිර්මානයන්ට ද හවුල් වී තිබේ. මාර්ක් වඩාත් ප්‍රසිද්ධ වූයේ වාර්තා චිත්‍රපටකරුවෙකු ලෙස ය.
රමණි රූ රැජිනක් වෙන්නටත් පෙර ලෙස්ටර්ගේ ‘යුගාන්තය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පෙව්වාය. රිදී තිරයෙන් මතු වීමත් සමඟ ඇය රටේ ප්‍රකට නිර්මානකරුවන්ගේ කලා නිර්මානවලට වහවහා තොරා ගැණුනේය. ඇය පුංචි තිරයට පැමිණියේ ලෙස්ටර්ගේ ‘සැලලිහිණි ගම්මානය’ රඟපෑමත් සමඟය. අනතුරුව හර්බර්ට් රංජිත් පීරිස්ගේ ‘හිමකුමාරි’ චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘ඉරට හඬන මල්’ ටෙලිවීව් නිෂ්පාදනයක් වූ ‘මුතු පංතිය’, රමණි ප්‍රධාන චරිත රඟපෑ ටෙලි වෘතාන්තයන් ය. ඇය වඩාත් ජනප්‍රිය වූයේ භාග්‍යා ටෙලි නාට්‍යයේ භාග්‍යා චරිතයට පණ පෙවීමෙනි. පුරෝගාමී ටෙලි නාට්‍යකරුවෙකු වන, ලූෂන් බුලත්සිංහලගේ ස්වං චරිතාපදානයෙන් ඉහත උපුටා ගත් ආකාරයට රමණි හා කමල් අද්දරආරච්චි එකට රඟපෑ එකම දෘශ්‍ය නිර්මානය ලූෂන්ගේ ‘පළායාම’ නම් ඒකාංගික ටෙලි නාට්‍යයයි.
රමණි වේදිකාවේ දී ද දස්කම් දක්වමින් සිටියාය. ධර්මසිරි බණ්ඩාරනායකගේ වඩා ජනප්‍රිය නාට්‍යයක් වූ ‘මකරාක්ෂයා’, රමණිගේ රංගනයෙන් අලංකාර වී තිබූණේය. ඇය කමල් අද්දරආරච්චිගේ වඩා ජනප්‍රිය නොවූ ‘ව්‍යංගා’නාට්‍යයේද රඟපෑවාය.
රමණි බොර්තෝලමියුස්ගේ ගැන එකල ප්‍රකට ජනමාධ්‍යකරුවෙකු වූ චන්ද්‍රසිරි දොඩන්ගොඩ අපුරු සටහන් මෙසේ ලියා තිබුණේය.
‘අරුණෝදය උදාවෙමින් තිබුණි. පෙරදා රාත්‍රියේ පර වී ගිය මිලින මල් වෙනුවට අලුත් මල් පිබිදෙන්නට වන. දවස ඉතාමත් වාසනාවන්ත බව කියාපාමින් අරුණත් සමගම ඉර පායා සිනාසෙන්නට විය.
ඒ දවස 1966 සැප්තැම්බර් පළමුවැනිදාය.
ගම්පහ රෝහලේ තිඹිරි ගෙය නින්නාද කරවමින් දරුවකු හඬන හඬ ඇසිණි. වේදනාවෙන් මිරිකී ගිය අම්මාගේ මුහුණ එවේලේ උපන් ඒ බිළඳාගේ මිහිරි හැඬුමෙන් ප්‍රබෝධවත් විණි.
“දුවෙක්“
හෙදිය අම්මා ළඟට ගෙනවුත් බිළිඳිය පෑවාය.
“දුවෙක්. ලස්සන දුවෙක්" හෙදිය නැවතත් කීවාය. අම්මාගේ හදවත පුරා පැතිර ගිය සතුට, හසරැල්ලක් වී මුහුණ මත ළෙලදෙන්නට විය.
දැරියගේ ඇස් දිගැටිය. නිල්වන්ය. මුහුණ ඉතාම පැහැපත්ය.
“රමණී“
ඒ ලස්සන දියණියට අම්මා නමක් තැබුවාය. තාත්තාගේ වාසගම අගට එකතු වූ විට ඒ නම රමණී බර්තොලමියුස් ලෙස බරසාර විය.
අම්මාටත් තාත්තාටත් මේ දරුවා මරකත මැණිකකට වඩා අගනේ විය. මක්නිසාද ඈ ඔවුන්ගේ කුළුඳුල් දරුවා වූ නිසාය.
රමණී ගියේ ගම්පහ හෝලික්‍රෝස් විදුහලටය. එහෙත් එහි ශිල්ප ලබන්නට ඇයට ඉඩ ලැබුණේ වයස අවුරුදු නවය වන තෙක් පමණි. තාත්තාට සැම්බියාවේ රැකියාවක් ලැබුණු බැවින් ගම්පහ ගෙදර හැර දමා මුළු පවුලටම එතර යන්නට සිදු විය.
අතිශයින් ම සෝභා සම්පන්න වූ මේ දැරිය දුටු සැම්බියානු රූපවාහිනී ශිල්පීන් පිරිසක් එක් දෙසම්බරයක රෑ ගත කළ නත්තල් නාට්‍යයකට ඇය ඇතුළු කර ගත්හ.
නත්තල් නාට්‍යයේ ඈ රඟපෑවේ නත්තල් කුමරියගේ චරිතයයි. අනාගතයේ ප්‍රතිභාන්විත නිළියක වීමේ පූර්ව කුසලතා සැම්බියානු රූපවාහිනී තිරය මත පළ කළ ඒ වකවානුව වන විට ඇගේ වයස අවුරුදු 16 ඉක්මවා නොතිබිණි.
මුළු පවුලම නැවත ගම්පහට පැමිණියහ. විද්‍යා විෂයයන් හැදෑරූ රමණී, අ.පො.ස. සාමාන්‍ය පෙළට ලියා විෂයයන් හයකුත් සම්මාන හතරක් ලබා ගනිමින් ඉගෙනුමට පුංචි තිතක් තැබුවාය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් මේ පවුලේ කිට්ටුවන්ත මිතුරෝ වූහ. යෞවනයේ එළිපත්ත මත පය තබා ගෙන සිටි රමණී දැරිය දකින හැම වාරයක් පාසාම සුමිත්‍රා පීරිස් අනාවැකියක් කීවාය.
“රූප රැජින තරඟයකට ඉදිරිපත් වුණොත් මේ කෙල්ල පළමුවැනිය වෙන එක සිකුරුයි"
සුමිත්‍රාගේ අනාවැකිය සිකුරටම ඉටු කරමින් 1985 ශ්‍රී ලංකා රූ රැජින තරඟයේදී රූබරම යුවතිය ලෙස කිරුළ හිමි කරගත් රමණි බර්තොලමියුස් ලෝක රූ රැජින තරඟයට ඉදිරිපත් වීම සඳහා අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දක්වා දිගු ගමනක් ගියාය. සිය ජීවිතයේ එම විශිෂ්ටතම ජයග්‍රහණය ලබන විට ඇගේ වයස අවුරුදු 19 ක් වූවා පමණි.
මේ රුසිරු දියණිය ලොව සරසන මලක් පමණක් විය යුතු නැතැයි සිතූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ ‘යුගාන්තය‘ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකට රමණී තෝරා ගත්තේය.
යුගාන්තයේ සවිමන් කබලානගේ දියණිය නැතහොත් මාලන්ගේ නැගණිය ලෙස පළමු වරට සිනමා කැමරාවකට මුහුණදීම රමණීගේ නිළි ජීවිතයේ මල්වර මොහොත විය. එහෙත් ඇගේ මුහුණ මුළු රටම මතක තබා ගත්තේ ‘භාග්‍යා‘ ටෙලි නාට්‍යය තුළිනි.
ඉතා ශීඝ්‍රයෙන් රූපවාහිනී නිළියක ලෙස ප්‍රසිද්ධියට පත්වූ රමණී, ඉරට හඬන මල්, සැළලිහිණිගම සහ හිම කුමාරි යන ටෙලි නාට්‍යවල රඟපෑවාය.
රාජ්‍ය නාට්‍ය උළෙල අත ළඟ තිබිය දී ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා‘ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය නාට්‍යය හැරදා ගියාය. එම අසීරු අවස්ථාවේදී ‘මකරාක්ෂයා‘ නාට්‍යයේ ඉරණම විසඳාදෙන්නට ඉදිරිපත් වූයේ රමණීය. දවස් කිහිපයක් ඇතුළත දී එලීසාගේ චරිතය සිය ආත්මයට ඇතුළු කර ගනිමින් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී "මකරාෂක්ෂයා“ හොඳම නිෂ්පාදනය ලෙස ජයග්‍රහණය කරවීම දක්වා රමණී කළ කැපවීම නාට්‍ය ලෝකයේ මිනිසුන් අතර නොනැසෙන ප්‍රබල මතක සටහනක් විය.
යෞවනය සදාකාලික වෙරළක් නම් ප්‍රේමය ඒ වෙරළ මත හැපී දඟ දෙන රළ පතරක් වැන්න.
ජීවිතයට වසන්තය අත වනන වයස ද නොමඳ රූසිරිය ද එක්තැන්ව තිබියදී ඇයට ප්‍රේමය අකැප යැයි කිව හැක්කේ කාටද?
රමණීට කමල් අද්දරආරච්චි මුණ ගැසුණේ මේ වසන්ත කාලයේදීය. ඇගේ නළල‘ත ප්‍රේමයේ ප්‍රථම තිලකය තැබුවේ ඔහු විසිනි. එක්තරා සිනමා පුවත්පතකට ඈ කමල් ගැන මෙසේ පැවසුවාය.
" මං හරිම අකැමැතිව සිටි නළුවෙක්, කමල්. එයා හරි දරදඬු චරිත නේ රඟපෑවේ. ඒ එක්කම මං හිතා හිටියෙ තිරයේ වගේම ඇත්තටත් කමල් නපුරු ඇති කියල. ඒ හින්ද මං වැඩිය කතා කරන්නවත් කැමැති වුණේ නෑ එයා එක්ක. නමුත් දවසක් දෙකක් ආශ්‍රය කරන කොට මට තේරුනා තිරයේ දකින කමල් නෙමෙයි ඇත්තටම ඉන්නෙ කියල. හරිම කරුණාවන්ත චරිතයක් මම ඔහු තුළින් දැක්කා..."
කාලයේ රිදී පැහැ වැලි තලා අතරින් මේ යොවුන් ප්‍රේමය නිදහසේ ගලා ගියේය.
නාවල නවාතැන් ගෙන සිටි රමණී පසුගිය ජූනි 27 වැනි සෙනසුරාදා ගම්පහ ගෙදරට ගියාය. ඒ ශල්‍ය කර්මයකට භාජනය වී සිටි සිය එකම පිරිමි සහෝදරයා බලනු පිණිසය. ඒ දවස රමණී සිය උපන් නිවසේ ගත කළ ඉතාම ප්‍රීතිමත් දවස විය.
එදා ගෙදර කෑම ඉව්වේ රමණී ය. වැඩිපුරම කතා කළේ රමණී ය. වීඩියෝ පටිගත කර තිබූ “භාග්‍යා“ ටෙලිනාට්‍යය යළිත රූපවාහිනී යන්ත්‍රයට දැමූ රමණී තමන් එහි රඟපාන අයුරු බලා සිටියාය.
"මම ආසම කරන චරිතෙ භාග්‍යා" රමණී මල්ලීට කීවාය.
හදිසියේ යමක් සිහි නැඟුණු රමණී දිව ගොස් අල්මාරිය හැරියාය. ලක් රූ රැජින වූ දවසේ ඇඟ ලා ගෙන සිටි ගවුම යළිත් ඕ කණ්නාඩිය ඉදිරිපිටට ගියාය.
"අම්මේ මේ ගවුම තාම ලස්සනයි නේද?"
අම්මා සිනාසුනාය. රෝහලේ තිඹිරි ගෙය දෙදරවන්නට එදා හැඬූ කුඩා බිළිඳිය අම්මාට මතක් වූවා ය.
රමණී ආපසු නවාතැනට යන්නට ගෙයි දොරකඩට ආවාය. නංගිලා දෙන්නාගේත් මල්ලීගේත් දෙතොල් ගොළු විය. නිවසේ ළා කොළ පැහැති බිත්ති පවා වෙව්ලා යන තරමට මුළු ගෙයම නිශ්ශබ්ද විය.
"මම ආයෙත් ලබන සතියේ එනවා"
රමණී ගෙදරින් එළියට අඩිය තැබුවාය. ඈ යළිත් ප්‍රීතිමත් කටහඬින් කතා කරමින් ගෙදර නොඑන බව දැන සිටි සිමෙන්ති පඩිය සීතල වී ගියේය.
[‘නිළඹරේ දිලී සැණෙකින් නිවී ගිය රමණීය තාරකාව’ -චන්ද්‍රසිරි දොඩන්ගොඩ, 1982 ජුලී 02 දා ‘දිවයින’]
ජනමාධ්‍යකරුවෙකුගේ මේ නිර්මාණාත්මක රචනාව මුළු රටේම තරුණ හැඟීම් නියෝජනය කළේය. රමණි, තරුණ පරපුරේ සිහින කුමාරිය වීමට පමණක් සීමා නොවුණාය. ඇය, වේදිකාවේ, සිනමාවේ හා ටෙලිනාට්‍යයේ මහා අනාගත බලපොරොත්තුව වූවාය.
සබැඳි පරිච්ඡේද
(01 පරිච්චේදය) ‘යුක්තියේ කන්‍යාව’ දැරියකට පිටුපායි..!
(02 පරිච්චේදය) රත්මලී හා රමණි..!
නන්දන වීරරත්නගේ ලිපි එකතුවක්
https://www.lankaenews.com/category/98
---------------------------
by (2025-07-12 17:43:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි