-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.12, ප.ව.11.30) ඒ වකවානුවේ දුලිප් මෙන්ඩිස් පදිංචිව සිටියේ ඕමානයේ මස්කට් නගරයේ ය. ඔහු ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරුය. දිනෙක උදෑසන ඔහු සිය මහල් නිවාසයේ සිටින විට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු අතර අදාළ පුද්ගලයා “පෑඩ්, හෙල්මට් දා ගෙන නෙට්ස් වලට වරෙන්. මට උඹගේ ඔළුව ගලවලා දාන්න ඕනෑ” යැයි “තර්ජනයක්” කළේ ය. දුලිප් මේ නාඳුනන ඇමතුමෙන් අන්ඳුන්කුන්දුන් විය. “යකෝ මම ජෙෆ් තොම්සන්. උඹේ ඔළුව කුඩු කරපු එකා. උඹ මොකද ඕමාන්වල කරන්නේ?” යැයි ඇමතුම්කරු සිය අනන්‍යතාව හෙළි කළේ ය. ජෙෆ් තොම්සන් ඕමානයට පැමිණි අවස්ථාවක ඔහුගේ මිතුරෙක්, දුලිප් ද දැන් මස්කට්හි සිටින බව හෙළි කළේ ය. දුලිප් මුණගැසී පැරණි මතකයන් අලුත් කර ගැනීමට අවශ්‍ය වූ තොම්සන්, සිය මිතුරාගෙන් දුලිප්ගේ දුරකතන අංකය සොයා ගත්තේ ය. පසුව දෙදෙනා මුණගැසී, මධුවිතක් තොලගාමින් ක්‍රීඩා පිටියේ අතීත සිද්ධීන් යළි ආවර්ජනය කළ බව දුලිප් මෙන්ඩිස් මෑතක දී හෙළි කර තිබිණි.
ජෙෆ් තොම්සන් තම වේග පන්දුවෙන් දුලිප් මෙන්ඩිස්ගේ ඔළුව පලා, රෝහල් ගත කර, මේ ජූනි මාසයට වසර පනහකි. දශක පහකට පෙර මෙය සිදුවන්නේ වසර 1975 පැවැති පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දීය. එය නිළ වශයෙන් හැඳින්වූයේ Prudential Cup '75 වශයෙනි. එංගලන්තයේ පැවැති මේ තරඟාවලියට අනුග්‍රහය දැක්වූයේ Prudential රක්ෂණ සමාගමයි. පළමු ක්‍රිකට් ලෝක කුසලානය වසර 1975 ජූනි 7 වන දා සිට 21 වන දා දක්වා පැවැති අතර එයට ටෙස්ට් වරම් ලැබ සිටි එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය , බටහිර ඉන්දීය කොදෙව් දූපත්, ඉන්දියාව සහ පකිස්ථානය තරඟ කළේ ය. ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාව ආරාධිත කණ්ඩායම් වශයෙන් පළමු ක්‍රිකට් ලෝක කුසලානය තරඟාවලියට එක් විය. නැගෙනහිර අප්‍රිකාව යනු උගන්ඩාව, කෙන්යාව, ටැන්සානියාව සහ සැම්බියා යන රටවල් නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අනුර තෙන්නකෝන් දැරූ අතර මයිකල් තිසේරා, රංජිත් ප්‍රනාන්දු, බන්දුල වර්ණපුර, සුනිල් වෙත්තමුණි, ඩේවිඩ් හයින්, මෙවන් පීරිස්, ටෝනි ඕපාත, ඩෙනිස් චම්මුගම්, ඩී. එස් ද සිල්වා, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, දුලිප් මෙන්ඩිස්, ඩී. එල්. එස් ද සිල්වා සහ අනුර රණසිංහ සෙසු ක්‍රීඩකයෝ වූහ. ශ්‍රී ලංකාව තරඟාවලියේ “බී” කාණ්ඩයට අයත් වූ අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්, ඕස්ට්‍රේලියාව සහ පකිස්තානය එම කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් විය. ඒ වකවානුවේ සීමිත ඕවර් තරඟ පන්දුවාර හැටකට සීමා වූ අතර පන්දුයවන්නෙකුට යැවිය හැකි උපරිමය පන්දුවාර දොළහකි. ජූනි 7 වන දා ශ්‍රී ලංකාව සිය පළමු තරඟය වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමට මුහුණ දුන්නේ ය. ශ්‍රී ලංකාවට සියළුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 86 කි. එම ලකුණු සංඛ්‍යාව එක් කඩුල්ලක් දැවී, පන්දුවාර විස්සක දී ලෙහෙසියෙන් ලබා ගැනීමට ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමත් විය.
ඒ වකවානුවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් යනු ලොව ප්‍රබලතම ක්‍රිකට් කණ්ඩායම වූ අතර ශ්‍රී ලංකා ලැබූ පරාජය කිසිවෙකුගේ පුදුමයට හේතු නොවීය. අවාසනාවකට ශ්‍රී ලංකාවට ඉන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ කිරීමට සිදු විය. ඕස්ට්‍රේලියානුව යනු බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟ කරට කර සිටි කණ්ඩායමක් වූ අතර කොදෙව්වන් පළමු ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නා විට අනුශූරතාවය දිනාගත්තේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන්ගේ වේග පන්දු යවන්නන් දෙදෙනා වන ඩෙනිස් ලිලී, සහ ජෙෆ් තොම්සන් ලොව දක්ෂතම පිතිකරුවන් පවා භීතියට පත්කරමින් සිටියහ. ලිලී සහ තොම්සන් සිය කෙටි පන්දු මගින් පිතිකරුවන්ට ශාරීරික ප්‍රහාර එල්ල කළහ. ඒ වකවානුවේ හිස් ආවරණ (හෙල්මට්), පපුව, ඇතුළු ශරීර කොටස් ආරක්ෂා කර ගැනීමට අද භාවිතා කරන බොහෝ ආරක්ෂක උපාංග නොවීය. එබැවින් පිතිකරුවන් ශාරීරිකව ඉලක්ක කර ගන්නා කෙටි පන්දු යැවීම ක්‍රිකට් ලෝකයේ දැඩි මතභේදයට ලක්ව තිබිණ.
වසර 1975 ජූනි 11 වන දා ඕවල් පිටියේ පැවැති මේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් අනුර තෙන්නකෝන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළේ ය. එහෙත් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ අපේ පන්දුයවන්නන් අසරණ කරමින් පන්දු වාර හැටේ දී කඩුළු පහකට ලකුණු 328ක් රැස් කළහ. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල සඳහා ලකුණු 182 ක සම්බන්ධතාවයක් ගොඩනැඟුහ. ආරම්භක පිතිකරුවන් වන ඇලන් ටර්නර් ලකුණු 101ක් සහ රික් මැකෝස්කර් 73 ක් ද ග්රෙග් චැපල් ලකුණු 50ක් සහ ඩග් වෝල්ටර්ස් ලකුණු 59ක් රැස් කළහ. ඩී. එස් ද සිල්වා සහ ලලිත් කළුපෙරුම පන්දුවාර දොළහ බැගින් යවමින් කඩුළු දෙකක් සහ එකක් දවා ගත්හ. ආරම්භක වේග පන්දු යවන මෙවන් පීරිස් ද කඩුළු දෙකක් දවා ගත්තේ ය. අපේ අනෙක් ආරම්භක වේග පන්දු යවන්නා වන ටෝනි ඕපාතට කඩුළු ලබා ගැනීමට නොහැකි වුව ද ඔහු යැවූ පන්දු වාර නමයක් තුළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 32ක් පමණි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟය ඉක්මනින් අවසන් කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ. එහෙත් ආරම්භ පිතිකරු රංජිත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දු වාරයේ ඩෙනිස් ලිලීට එරෙහිව හතරේ පහරවල් තුනක් එල්ල කරමින් ශ්‍රී ලංකාව සටනට සූදානම් බව නිවේදනය කළේ ය. ඔහු පන්දු 18කින් ලකුණු 22 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට වේගවත් ආරම්භයක් ලබා දුන්නේ ය. රංජිත් ප්‍රනාන්දු දැවී යන විට ශ්‍රී ලංකාව ලකුණු 30ක් ලබා ගෙන තිබිණි. සුනිල් වෙත්තමුණිට (සිදත් වෙත්තමුණිගේ වැඩිමහල් සොහොයුරා) එක් වූ බන්දුල වර්ණපුර ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට ගියේ ය. වර්ණපුර පන්දු 39කට මුහුණ දී ලකුණු 31ක් ලබා ගත් අතර එයට හතරේ පහර හතරක් ඇතුලත් විය. වර්ණපුර දැවී යනවිට ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව ඉදිරියේ 84ක් සටහන්වී තිබිණි. ශ්‍රී ලංකාව ජාතික කණ්ඩායම පළමුවරට නියෝජනය කරමින් තරඟ කරන ආරම්භක පිතිකරු සුනිල් වෙත්තමුණිට දුලිප් මෙන්ඩිස් එක් විය. දුලිප් යනු වේගයෙන් ලකුණු ලබා ගන්නා පිතිකරුවෙකි. ඔහුගේ න්‍යාය වූයේ ක්‍රිකට් බෝලය යනු වේගයෙන් පහර දී ලකුණු ලබා ගත යුතු අංගයක් බවයි. ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල් මේවන විට තම සුපිරි වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලිලී සහ තොම්සන් වෙනුවට පිට දඟ පන්දු යවන ඈෂ්ලි මලට්, මද වේගපන්දු යවන ඩග් වෝල්ටස් සහ මැක්ස් වෝකර් යොදවමින් කඩුළු දවා ගැනීට උත්සාහ කළේ ය. එහෙත් එය සාර්ථක නොවීය.
සුනිල් සහ දුලිප් නිදහසේ ලකුණු රැස් කරමින් සිටි අතර ඔවුන් දෙදෙනා ඒ වන විට ලකුණු 60ක පමණ සම්බන්ධතාවයක් ගොඩ නඟා තිබිණි. ඒ වන විට තරඟය තමන්ගෙන් ඉවතට යන බව ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල්ට දැන් සක්සුදක්සේ පැහැදිලි විය. ඔහු වහාම පන්දු යැවීම සඳහා තොම්සන්ව යළි කැඳවූයේ සුනිල් සහ දුලිප් ඉක්මණින් දවා ගැනීම සඳහා ය. පැයට සැතපුම් සියයකට වඩා වේගයෙන් පන්දු යවන තොම්සන් පිතිකරුවන්ගේ ශරීරය ඉලක්ක කරමින් කෙටි පන්දු යවමින් ඔවුන් භීතියට පත්කිරීමට උත්සාහ කළේ ය. ඔහුගේ මාරාන්තික කෙටි වේග පන්දු කිහිපවරක්ම සුනිල් සහ දුලිප්ගේ පපුවේ, දෑත් සහ පාදයන්හි වැදුනි. එහෙත් ඔවුහු ඒ තැළුම් තුවාල සමගින් වේදනාවෙන් ඇඹරෙමින් වුවද නිර්භීතව ඊලඟ පන්දුවට මුහුණ දුන්හ. දුලිප් යනු නාහෙට අහන්නේ නැති නිර්භීත පිතිකරුවෙකි. තවදුරටත් තොම්සන්ගේ කෙටි පන්දුවට බිය නොවී පහර දිය යුතු බව දුලිප් තීරණය කළේ ය.
ඔහු තොම්සන්ගේ කෙටි පන්දුවට වේගවත් “හුක්” පහරක් එල්ල කිරීමට උත්සාහ කළ නමුත් පන්දුව පිත්තේ නොවැදී යාර විස්සක් පමණ ඈතින් සිටින කඩුළු රකින ක්‍රීඩක රොඩ්නි මාෂ් අතට ඇදී ගියේ ය. තොම්සන් නැවතත් එවැනිම කෙටි පන්දුවක් යොමු කළ අතර යළිත් දුලිප් “හුක්” පහරක් එල්ල කළේ ය. එහෙත් අවාසනාවකට පිත්තේ නොවැදුන පන්දු ඇතුලට කැපී දුලිප්ගේ නළලේ වැදුණි. ඒ සමඟම ඔහු සිහිය මද කම්පන ස්වරූපයකට (concussion) පත්විය. මේ සිද්ධිය පිළිබඳ අපූරු විස්තරයක් Nicholas Brookes ගේ “An lsland’s Eleven: The Story of Sri Lankan Cricket” නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ රචනා කළ පිටු 730කින් යුතු විශිෂ්ට කෘතියේ දැක්වෙයි. මේ කෘතිය බ්‍රිතාන්‍යයේ “The History Press”
ප්‍රකාශනයකි. “තොම්සන් යැවූ පන්දුව දුලිප් නළල මත වැදීමත් සමඟ ඔහු ඇද වැටුණි. ඒ හඬ වෙඩි උණ්ඩයක් නිකුත් වූවාක් මෙන් විය. ඒ හඬ තරඟ නරඹන්නෝ දැඩි අපහසුතාවයකට පත් කළහ. දුලිප්ගේ නළලේ වැදුණු පන්දුව “කවර්” ප්‍රදේශය හරහා හතරේ සීමාව දෙසට ඇදී ගියේ ය”.
ජෙෆ් තොම්සන්ගේ වේග පන්දුවලට මුහුණ දුන් සුනිල් වෙත්තමුණි පවසන්නේ සත්‍ය වශයෙන් තමන් ඔහුගේ පන්දු නොදුටු බවයි. “මම දැක්කේ ඊතලයක් වැනි රතු ඉරක් මගේ ලඟින් යනවා විතරයි. දුලිප්ගේ නළලේ බෝලය වැදුනු වෙලාවේ ඔහුගේ කළු දෙතොල් හුණු සුදු පාටට වුණා, ඔහු ගැහෙන්න පටන් ගත්තා. මම හිතුවා දුලිප් මැරෙයි කියලා. ඒකෙන් මාව වෙව්ලල, මගේ කොඳු ඇට පෙළ සීතල වුණා” සුනිල් වෙත්තමුණි ඒ අවස්ථාව විස්තර කළේ ය. තොම්සන් සුනිල්ට ඊතල විදින අන්දම අනෙක් අන්තයේ සිට බලා සිටි දුලිප් “තොම්සන් පැයට සැතපුම් සියයකට වඩා වැඩි වේගයකින් යන අකුණු සැර බලා සිටින එක විහිළුවක් නෙමෙයි. මාෂ් තම හිස මට්ටමින් බෝලය අල්ලා ගන්නේ තවත් යාර විසි දෙකක් විතර ඈතකින්” (පිටු 150-152). මෙවන් පීරිස් සහ අතිරේක ක්‍රීඩක ඩෙනිස් චන්මුගන් ක්‍රීඩාගාරයේ සිට පිටිය මැදට පැමිණිහ. එදා දුලිප්ව පිටියෙන් ඉවතට ගෙනයාමට ස්ට්‍රෙචරයක් (stretcher) පවා නොතිබිණි. මෙවන් සහ ඩෙනිස්, දුලිප්ව දෑතින් උස්සා ගෙන ක්‍රීඩාගාරයට ගෙන ගියහ (එහි ඡායාරූපය මෙහි දැක්වෙයි. කණ්ඩායමේ කළමනාකරු කේ. එම්. ටී පෙරේරා ද සිටියි).
මේ සිද්ධිය පිළිබඳ සුප්‍රකට ඉතිහාසඥයකු වන Michael Roberts, “The Cricketing World in 1975: Glaring Anomalies” නමින් ලිපියක් රචනා කරන අතර එහි දී ඔහු මෙවන් පීරිස්ව උපුටා දක්වයි. “අපි පිටිය මැදට යන තෙක් දුලිප්ට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගෙන් සහයක් ලැබී තිබුණේ නැහැ. අපට සහාය වීමට අපේ කණ්ඩායමට නිල ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් සිටියේ නැත. ආබාධිත ක්‍රීඩකයෙකු රැගෙන යාමට ප්‍රමාණවත් ස්ට්‍රෙචරයක් පවා තිබුණේ නෑ. අපි දුලිප්ව ක්‍රීඩාගාරයට ගෙන එනවිට ඔහුට සිහිය ආවා. ඔහු තම අතින්ම මාව අල්ලා ගත්තා” යැයි මෙවන් පීරිස් පවසයි. දුලිප් මෙන්ඩිස් පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 150ක් ලබා ගෙන තිබිණි. දුලිප් වෙනුවෙන් පිටියට පිතිකරුවෙකු පැමිණි යුතුව තිබුණ ද විනාඩි දහයකට අධික කාලයක් පුරා කිසිවෙකු පැමිණියේ නැත. මේ අතර නරඹන්නෝ කෑගසමින් තොම්සන්ට සිය විරෝධය පල කළහ. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අනුර තෙන්නකෝන් පන්දුවට පහරදීමට පිටියට පැමිණියේ ය. දුලිප්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම තම පළමු වගකීම වශයෙන් අනුර තෙන්නකෝන් සැලකීම හේතුවෙන් එම ප්‍රමාදය ඇති විය. දුලිප්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහාම ශාන්ත තෝමස් රෝහලට රැගෙන යන ලදී.
තොම්සන්ගේ ඊලඟ ඉලක්කය වුයේ සුනිල් වෙත්තමුණි ය. ඔහු දිගින් දිගටම කෙටි පන්දු යොමු කළ ඒ අතරින් කිහිපයක් සුනිල්ගේ පපුවේ සහ අතේ වැදුනේ තැළුම් තුවාල ඇති කරමිනි. එහෙත් තීරණාත්මක ප්‍රහාරය එල්ල වූයේ “යෝකර්” පන්දුවක් හරහාය. තොම්සන්ගේ “යෝකර්” පන්දුවක් සුනිල්ගේ විලුඹට එල්ල වූ අතර ඔහු ඉතා අපහසුවෙන් බිම නොවැටී සිටීමට උත්සාහ ගත්තේ ය. ඔහු අසළට පැමිණි තොම්සන් "ඒක කැඩිලා නැහැ, නමුත් උඹ ඊළඟ පන්දුවට මුහුණ දුන්නොත්, ඒක කැඩෙනවා" ජයග්‍රාහී විලාසයෙන් පැවසීය. ඔහුගේ ඊළඟ “යෝකර්” පන්දුව ද වෙත්තමුණිගේ පෙර පන්දු වැදුණු ස්ථානයට එල්ල විය. තොම්සන් පැවසූ ආකාරයටම සුනිල්ගේ පාදයේ අස්ථි බිඳී ගියේ ය. ඔහු ඉතා වේදනාවෙන් උඩ පනිමින් පිටියෙන් ඉවත්වීමට උත්සාහ කළේ ය. එහෙත් එය සාර්ථක නොවූ අතර ක්‍රීඩාගාරයේ සිටි පැමිණි සහෝදර ක්‍රීඩකයෝ ඔහුව ඉවතට ගෙන ගියහ. ඒ වන විට ශ්‍රී ලංකා පිළ කඩුළු දෙකකට ලකුණු 164ක් රැස් කර ගෙන සිටි අතර සුනිල් ලකුණු 54ක් (හතරේ පහර හතක් සමඟින්) ලබා ගෙන සිටි බව ලකුණු පුවරුවේ දැක්විනි. සුනිල්ගේ අඩුව පිරවීම සඳහා මයිකල් තිසේරා පිටියට පැමිණියේ ය.
මෙවන් පීරිස් පසු කලෙක මයිකල් රොබට්ස්ට හෙළි කළ අන්දමට ක්‍රීඩාගාරයට ගෙන ආ සුනිල්ට ප්‍රථමාධාරයක් ලබාදීමට අවශ්‍ය දෑ අඩංගු ප්‍රාථමික ප්‍රථමාධාර පෙට්ටියක් පවා අපේ ක්‍රීඩාගාරයේ නොවීය. මෙවන් තමන් ගෙන ආ Wintergeno ආලේප කරමින් සුනිල්ට ප්‍රථමාධාර ලබාදීමට උත්සාහ ගත්තේ ය. ඉන් පසුව සුනිල්ව ද වෛද්‍ය ප්‍රතිකාර සදහා ශාන්ත තෝමස් රෝහලට රැගෙන යන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටි පිතිකරුවන් දෙදෙනෙකු රෝහල් ගත කිරීමට තරම් ප්‍රහාරයක් එල්ල වුවද අපේ කණ්ඩායම තරඟය අතහැරියේ නැත. අනුර තෙන්නකෝන් සහ මයිකල් තිසේරා සංයමයෙන් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට උත්සාහ කළේ ය. ඔවුහු තුන් වන කඩුල්ල සඳහා ලකුණු 82ක සම්බන්ධතාවයක් ගොඩනැඟූහ. අනුර තෙන්නකෝන් හතරේ පහර හයක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේ ය (ඔහු දැවී යන විට ශ්‍රී ලංකාව ලකුණු 246ක් ලබා ගෙන තිබිණි). මයිකල් තිසේරා සිව්වන කඩුල්ල වශයෙන් දැවීයන විට ඔහු හතරේ පහර හතක් සමඟ ලකුණු 52ක් රැස් කළේ ය. ශ්‍රී ලංකාව සිය පන්දුවාර හැට අවසන් වන විට කඩුළු හතරක් දැවී ලකුණු 276 ක් ලබා ගත්තේ ය. නාලන්දයේ දහ අට හැවිරිදි අනුර රණසිංහ පන්දු 18 කට මුහුණ දී නොදැවී ලකුණු 14 ක් (හතරේ පහර තුනක් සමඟින්) රැස් කිරීමට සමත් විය. එහෙත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 52ක් අවශ්‍ය විය.
ඕස්ට්‍රේලියාව ජයගත් අතර තරඟය අවසන්වීමෙන් පසුව තමන් සමඟ මධුවිතක් බෙදා ගැනීමට ක්‍රීඩාගාරයේ තම කුටියට එන ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ අපේ කණ්ඩායමට ආරාධානා කළහ. “අපේ ක්‍රීඩකයන් දෙදෙනෙකු රෝහල්ගත කිරීමට දායකවීම පිළිබඳව ඔවුන්ට යම් කණගාටුවක් තිබුණා කියලා මම හිතනවා. එහෙත් වරදකාරී හැඟීමට වඩා වැඩිදෙයක් එතන තිබුණා. ඔවුන් දන්නවා අපි ඔවුන්ට හොඳ තරඟයක් ලබාදීපු බව. එය ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි දස්කමක්” ශ්‍රී ලංකා නායක අනුර තෙන්නකෝන් යැයි සිය මතකය අවදි කරයි (An lsland’s Eleven: The Story of Sri Lankan Cricket,153 පිටුව). සැබවින්ම එය වාර්තාගත ඉනිමකි. එම තරඟාවලියේ අවසාන තරඟයට සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එවැනි අභියෝගයක් කිරීමට හැකිවීම ම විශාල ජයග්‍රහණයකි. වසර 1983 ලෝක කුසලාන තරඟාවලිය වන තෙක් එය ලෝක කුසලානයේ දී කණ්ඩායමක් හඹා ගිය වැඩිම ලකුණු ප්‍රමාණය වශයෙන් නොබිඳුණු වාර්තාවක් විය. ටෙස්ට් වරම් නොලැබූ කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකාව ඩෙනිස් ලලී, ජෙෆ් තොම්සන්ගේ භයානක වේග පන්දුවලට මුහුණ දෙමින් ක්‍රීඩා කළ නිර්භීත විලාශය ක්‍රිකට් ලෝකයේ දැඩි ප්‍රශංසාවට ලක්විය. “Bruised Sri Lanka Just Fail” වශයෙන් The Daily Telegraph පුවත්පත ශ්‍රී ලංකාව නිර්භීත තරඟ විලාශය ප්‍රශංසාවට ලක් කර තිබිණි.
ලංකාවට ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට තවත් අවශ්‍ය වුයේ ලකුණු 52ක් බව පෙන්වා දුන් එම පුවත්පතේ John Mason, ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සිය කෙටි පන්දු මගින් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු රෝහල්ගත කිරීම හරහා ඔවුන්ට නව රසිකයන් එකතු නොවූ බව පෙන්වා දුන්නේ ය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කෙටි පන්දු උපක්‍රමය බොහෝ දෙනෙක් විවේචනයට ලක් කළහ. සුනිල් වෙත්තමුණිගේ පාදයේ සහ ඉළ ඇටයක අස්ථි බිඳීමක් සිදුව තිබූ අතර ඇඟ පුරා තැළුම් තුවාල විය. වාසනාවකට දුලිප්ගේ හිස අභ්‍යන්තරයේ රැධිර වහනයක් හෝ වෙනත් හානියක් නොවීය. අපේ ක්‍රිකට් ලෝලීහු, තොම්සන් සුනිල්ට, සහ දුලිප්ට සිදු කළ අකටයුක්ත පිළිබඳ කෝපයට පත්ව සිටියහ. ඔවුහු කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට තොම්සන්ගේ “මිනීමරු ක්‍රිකට්” මෙහෙයුමට විරෝධය දැක්වූහ. මේ විරෝධතා වඩාත් උත්සන්නවීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එය තරඟයක සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පමණක් බවත් ඒ පිළිබඳ සියළු දෙනාම කණගාටුවට පත්වන බවත් අවධාරණය කළේ ය.
එහෙත් මේ සිද්ධියේ සැබෑ වාඩුව ශ්‍රී ලංකාවට ගැනීමට හැකි වූයේ ජෙෆ් තොම්සන්ගේ ප්‍රහාරයෙන් දශක දෙකකට පසුවය. එනම් වසර 1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරඟයෙන් ඕස්ට්‍රේලියාව පරාජය කර ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීම මගිනි. ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සියරට රැගෙන ඒම සඳහා එවකට පැවැති “එයාර් ලංකා” ගුවන් සේවය විශේෂ ගුවන් යානයක් පකිස්තානයට යැවීය. එම ගුවන් යානයේ ප්‍රධාන නියමුවා වූයේ සුනිල් වෙත්තමුණි ය. ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ කළමනාකරු දුලිප් මෙන්ඩිස් ය. ලෝක ක්‍රිකට් කුසලානය සමඟ ගුවන් යානයට ගොඩ වූ අර්ජුන සහ දුලිප් නියමු කුටියට ගොස් ලෝක කුසලානය සුනිල් වෙත්තමුණි අත තැබූවේ ඔහු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප කළ ලේ, දහදිය, සහ කඳුලු සඳහා වන උපහාරයක් වශයෙනි. සැබවින්ම වසර 1996 ලෝක කුසලානය යනු මහාදේවන් සතාසිවම්ගේ සිට බන්දුල වර්ණපුර දක්වා වූ ක්‍රිකට් පරම්පරා කිහිපයක සාමූහික උත්සාහයක ප්‍රතිඵලයකි. ඒ වකවානුවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කිසිදු මූල්‍ය වාසියකින් තොරව, අවම පහසුකම් යටතේ, ක්‍රීඩාවට ඇති ආදරය නිසාම එයට කැප වූහ. ලේ, දහදිය, සහ කඳුලු පිදූහ. ඔවුහු විනය අංක එකේ තබා කටයුතු කළහ. අවාසනාවකට අද නැත්තේ එම කැපවීම සහ විනයයි.
(සේයාරූ - දුලිප්ව ඔසවාගෙන පිටියෙන් ඉවතට ගෙන යන අන්දම., සුනිල් වෙත්තමුණිට එල්ල වූ ප්‍රහාරය, සුනිල්ට ලෝක කුසලානය ලබාදුන් අවස්ථාව සහ 1975 ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වේ.
1975 කණ්ඩායම -
සිටගෙන වමේ සිට දකුණට: දුලිප් මෙන්ඩිස්, ලලිත් කළුපෙරුම, සුනිල් වෙත්තමුණි, ටෝනි ඕපාත, මෙවන් පීරිස්, DLS ද සිල්වා, DS ද සිල්වා, ඩෙනිස් චන්මුගම්, අනුර රණසිංහ, බන්දුල වර්ණපුර
අසුන් ගෙන වමේ සිට දකුණට: ඩේවිඩ් හේන්, අනුර තෙන්නකෝන් (නායක), KMT පෙරේරා (කළමනාකරු) මයිකල් තිසේරා, රංජිත් ප්‍රනාන්දු.)
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2025-07-12 18:46:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි