~

චෙම්මනී ඇටසැකිලි යලිත් මතුවෙද්දී , මාතලේ හා මන්නාරමේ ඇටසැකිලි තවත් යට යන්නේ ඇයි ?

-Captain-Ten ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.15, ප.ව‍.5.45) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ශ්‍රී ලංකා සංචාරයත් සමගින් මේ වනවිට "කොන්ක්‍රීට් දමා" වසා ඇති සමුහ මිනී වළවල් පිළිබඳ ප්‍රවෘත්ති නැවතත් කරලියට පැමිණ තිබේ.

එයට හේතුව වී තිබුනේ, යාපනය චෙම්මනි, අරියාලේ හි ‘සින්දුබාත්’ සුසාන භූමියෙන් මතුවූ මිනිස් ඇටසැකිලිය. 

පසුගිය 2025 පෙබරවාරි මස සුසාන භූමිය තුළ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කම්කරුවන් විසින් බිම හැරීමේදී මතුවූයේ මිනිස් ඇට කැබලි  කීපයකි. අඩි 2-3 පමණ යටකින් තිබූ මෙම මිනිස් ඇට කැබලි දුටු ද්‍රවිඩ කම්කරුවන් හට සුසාන භූමියකදී වුවත් මෙසේ මිනිස් ඇට කැබලි මතුවීම පිලිබඳ බලවත් සැකයක් මතුවීය.

හින්දු භක්තිකයින්ගේ අවමංගල චාරිත්‍ර…

ද්‍රවිඩ හින්දු භක්තිකයන් බහුලව වෙසෙන ප්‍රදේශයක් වූ යාපනයේ චෙම්මනිහි සුසාන භූමියකින් මිනිස් ඇටසැකිලි මතුවීම ඉතා සුවිශේෂී තත්ත්වයකි. එයට හේතුව වන්නේ හින්දු භක්තිකයන් මියගිය පසු ඔවුන්ගේ මෘත ශරීර භූමදානය නොකිරීමයි. හින්දු සංස්කෘතියට අනුව යමෙකු මියගිය පසු සිදුකරන්නේ අදාහනයයි. ආදාහනය කර ඉන් මිනී අළු කොටසක් ජලයේ පා කර හරිති. එම නිසා සිරුරු ආදාහනය කරන හින්දු සුසානයකින් මිනිස් අස්ථි මතුවීම අරුමයකි. මේ නිසා ද්‍රවිඩ කම්කරුවන් හට මතුවුයේ මෙම ඇටසැකිලි පිළිබඳ බරපතළ සැකයකි.

මෙම සිදුවීම පිළිබඳ චෙම්මනි පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසු, පොලිසිය යාපනය අධිකරණයට කරුණු වාර්තා කරනු ලදුව, මේ ස්ථානයේ විධිමත් කැණීම් සිදුකර වැඩිදුර සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්  ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් විය.

පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවට තවත් සමුහ මිනී වළක්...

අධිකරණ නියෝගය  නිසා මෙම කැණීමද භාර වුයේ මෑතකදී ශ්‍රී ලංකාවේ හමුවූ සමුහ මිනී වළවල් කැණීම් කළ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව වෙතය. ඔහු මුලින්ම සුප්‍රසිද්ධ මාතලේ සමුහ මිනීවළ පිලිබඳවත්, ඉන් පසු ශ්‍රී ලංකාවේ විශාලතම සමුහ මිනීවළ ලෙස සැලකු මන්නාරම සමුහ මිනීවළ පිළිබඳවත් පුර්ණ කැණීම් සිදුකර පුරාවිද්‍යා අධිකරණ වෛද්‍ය වාර්තා එම අධිකරණ වෙත ලබා දුන් මෙවැනි කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වේ.

පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව විසින් මෙහෙයවන ලද කැණීම් කණ්ඩායම චෙම්මනි ‘සින්දුබාත් සුසානය’ තුළ දින 10ක් පුරා සිදු කල කැණීම් වලින් පසු මුලින් සොයාගත් මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 19 කි. ඒ අතර අලුත උපන් ළදරුවන්ගේ ඇටසැකිලි තුනක්ද ඇති බව මහාචාර්යවරයා සහතික කර ඇත.

දින 10ක් පුරා තමන් කළ කැණීම් වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම ප්‍රදේශයේ තවත් ඇටසැකිලි තිබිය හැකි නිසා තවදුරටත් කැණීම් සිදුකළ යුතු බවයි. පසුව තවදුරටත් කැණීම් කරන ලෙස ලැබුනු අධිකරණ නියෝගයට අනුව මේ දක්වා සිරුරු 45කට අයත් ඇටසැකිලි සොයාගෙන තිබේ. සොයා ගත් ඇටසැකිලි අවසානයේ අධිකරණ වෛද්‍යවරුන් විසින් විශ්ලේෂණය කර ඒවායේ මරණයට හේතුව තීරණය කරන බවත්, භූමදානය කළ දිනයන් හෝ ඇඳුම් සහිත සෙලෝපේන් වැනි කෞතුක වස්තු භාවිතා කර දින නියම කිරීමට උත්සාහ කරන බවත්, කෞතුක වස්තු නොමැති නම්, විකල්පයක් ලෙස විකිරණශීලී කාල නිර්ණය භාවිතා කළ හැකි බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබේ.   

අතුරුදන් වුවන් සොයා යාපනයේ නැවතත් යුධ හමුදාවට විරුද්ධව උද්ඝෝෂණ…

මෙම ඇටසැකිලි අතර තිබු කුඩා දරුවෙකුගේ ඇටසැකිල්ල සමග පාසල් බෑගයක් හා කුඩා දරුවන්ගේ ඇටසැකිලි අතර නොයෙකුත් ළමා සෙල්ලම් බඩුද හමුවීමෙන් යාපනයේ ජනතාව අතර නැවතත් ශ්‍රී ලංකා යුධ හමුදාව කෙරෙහි දැඩි කෝපයක් හටගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා හමුදාවන් විසින් අතුරුදන් කර ඇති තම ඥාතීන් සොයාදෙන ලෙසට බල කරමින් යාපනය ජනතාව විසින් උද්ඝෝෂණ සංවිධානය කර තිබුනි.

පීපල්ස් ඇක්ෂන්, ස්වේච්ඡා තරුණ කණ්ඩායම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සඳහා වූ සංගමය (උතුරු සහ නැගෙනහිර) විසින් මෙම විරෝධතාවයන් සංවිධානය කරන ලදී.

චෙම්මනිහි හමුවූ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් යාපනය ජනතාව පැවැත්වූ උද්ඝෝෂණ අතරට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාද අතුරුදන් වූ අයගේ ඥාතීන්ගේ උද්ඝෝෂණ වලදී සිදු කළ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර දක්වන බවට යාපනයේ ජනතාවට පොරොන්දු දුන්නේය.

චෙම්මනී මිනී වලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්...

චෙම්මනි සමුහ මිනී වලින් මෑතකදී නැවතත් මිනිස් ඇටසැකිලි මතුවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වන වෙස්මිනිස්ටර්හි දී ද කතා බහට ලක්ව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සංගම් පක්ෂයේ (DUP) මන්ත්‍රී සැමී විල්සන් විසින් වෙස්ට්මිනිස්ටර් හි දී මෙම ප්‍රශ්නය මතු කළ අවස්ථාවේ දී ඊට ප්‍රතිචාර වශයෙන්, විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ පාර්ලිමේන්තු උප ලේකම් කැතරින් වෙස්ට්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, විශේෂයෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම සඳහා ශ්‍රී ලංකාවට බල කිරීමට එක්සත් රාජධානිය කැප වෙන බව තහවුරු කළාය.

බ්‍රිතාන්‍යයේ පාලක කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි උමා කුමාරන් මෙම සමුහ මිනී වල සොයා ගැනීම සැබැවින්ම කම්පනයට පත්වන බවත් , මේ පිළිබඳව ස්වාධීන සහ විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා සහාය ලබා දෙන ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටියේය.

මිචම් සහ මෝර්ඩන් යන ප්‍රදේශ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේම් සියොබයින් මැක්ඩොනාග් ද එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර පරීක්ෂණයකට නායකත්වය දෙන ලෙසයි.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි ශිෂ්‍යාව ඝාතනය නිසා මතුවූ චෙම්මනි සමුහ මිනීවළ..

1996 සැප්තැම්බර් මස ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියට ලැබුනු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී හෙළිවූයේ 1996 සැප්තැම්බර් මස 07 වනදා යාපනය චෙම්මනිහිදී චුන්ඩිකුලි උසස් කාන්තා විදුහලේ උසස් පෙළ ශිෂ්‍යාවක වූ 18 හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් සමුහ දූෂණයකට ලක්කර ඝාතනය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිදුවූ නඩු විභාගයේදී  වරදකරුවන් වූ  ශ්‍රී ලංකා යුද හමුදාවේ 06 දෙනෙකු අතරින් කෙනෙකු වූ ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ 1998 චෙම්මනි ප්‍රදේශයේදී සමූහ මිනී වළවල්වල 600 කට අධික පිරිසක් වළලනු ලැබූ බව ඔහුගේ අධිකරණ සාක්ෂියේදී ප්‍රකාශ කළේය. ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ තමන් කිසිවෙකු හෝ මරා නොදැමූ බවත් ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු මළ සිරුරු මෙසේ තමන් වැළලු බවයි.

චෙම්මනි සමුහ මිනීවළ විමර්ශන කළේ යුද හමුදා පොලිසියයි …

එම සිදුවීමේදීම ක්‍රිෂාන්තිගේ මව වූ රාසම්මා, ඇගේ 16 හැවිරිදි සහෝදරයා සහ ඇය සොයා ගිය අසල්වැසියෙකුද හමුදා නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඇතුළු පිරිස ඝාතනය පිළිබඳ ප්‍රබලම සාක්කිය වුයේ ක්‍රිෂාන්ති මරා දැමුණු  යුද හමුදා මුරපොල ආසන්නයේ තිබු පොලිස් මුරපොලක රාජකාරී කළ සමරවික්‍රම නම් පොලිස් නිලධාරියෙකුය.

ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ සාක්ෂියෙන් පසුව, අධිකරණ නියෝගයක් මත පරීක්ෂණයක් සිදු කරන ලද අතර 1999 දී චෙම්මනි භූමියෙන් තවත් ඇටසැකිලි 15 ක් ගොඩ ගැනීමට හැකි විය. අධිකරණ වෛද්‍ය විශේෂඥයින් තහවුරු කළේ සමහර අවශේෂවල වධහිංසා පැමිණවීමේ සහ ඝාතනය කිරීමේ  සලකුණු දක්නට ලැබුණු බවයි. ඇටසැකිලි දෙකක් අතුරුදහන් වූවන් ලෙස හඳුනාගෙන තිබුණි. සාක්ෂි තිබියදීත්, ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් කැණීම් සිදු නොකළ අතර කිසිදු ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකුට එරෙහිව නඩු පැවරීමක් සිදු වුයේ නැත.

මාතලේ සමුහ මිනී වළ තුල තිබුනේ 88-89 ජවිපෙ සාමාජිකයින්ගේ සිරුරුයි..

2013 වසරේ නොවැම්බර් 24 වැනිදා මාතලේ රෝහල් පරිශ්‍රයෙන් සොයාගත් මාතලේ සමුහ මිනී වල තුළ ඝාතනය වූ පුද්ගලයන් 154 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවී අද වන විට වසර 12කට වඩා වැඩි කාලයක් ගතවී ඇත. එලෙස ඝාතනය වූ අය 88-89 භීෂණ සමයේදී රජයේ ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ ජවිපෙ සාමාජිකයන් විය හැකි බවට මුලික අධිකරණ වෛද්‍ය වාර්තා හා එම සමුහ මිනීවළ පිලිබඳ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් කළ විශ්ලේෂණ වාර්තාවක් මගින්ද සහතික කර තිබුණි.

මාතලේට වගකිව යුත්තේ ගෝඨා අණදුන් 1 වන ගජබා රෙජිමේන්තුවයි…

මෙම ඝාතනයන්ට වගකිව යුත්තේ එවකට මාතලේ ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ස්ථානගත කර තිබු මේජර් ගෝඨාභය රාජපක්ෂ අණදුන් 1වැනි ගජබා රෙජිමේන්තුව බවට ප්‍රවෘත්ති පළ විය.

මාතලේ දිස්ත්‍රික්කයේ ජවිපෙ මර්දනය කිරීම සඳහා ගෝඨාභයගේ සහයට එවකට එම රෙජිමේන්තුවේ තරුණ ලුතිතන් වරුන් වන ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් හා සුමේධ පෙරේරා යන නිලධාරීන් කටයුතු කළ බව 'ගෝඨාගේ යුද්ධය' (Gota's War) නමින් C A චන්ද්‍රප්‍රේම විසින් රචිත ග්‍රන්ථයක් හරහා මෙම සමුහ මිනීවළ හමුවීමට වසරකට පෙර හෙළිදරව් විය.

ගෝඨාභයට එල්ල වූ චෝදනාවෙන් නිදහස් කරගැනීමට කළ මෙහෙයුම…

ගෝඨාභය ඇතුළු පිරිස මෙම චෝදනාවෙන් ගැලවීමට ප්‍රධාන සාධකය වුයේ මෙම ඇටසැකිලි කුමන කාලයකට අයත්දැයි තීරණය කළ හැකි Radiocarbon Bomb-pulse Method (RBM) පරීක්ෂණයයි.

ඇටසැකිලි පිලිබඳ විශ්ලේෂණය කළ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙම රේඩියෝ කාබන් පරීක්ෂාව නිර්දේශ කර තිබුණි.

මාතලේ සමුහ මිනීවළ පිලිබඳ සොයා බැලීමට පත්කළ ඉමාම් කොමිසම වැඩ ආරම්භ කිරීමත් සමගින් මෙතෙක් කළක් මහේස්ත්‍රාත් නියෝග පවා නොසළකා සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ තිබු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හදිසියේම නව පණක් ලද්දවුන් මෙන් මාතලේ සමුහ මිනීවළ ගැන උනන්දුවෙන් මෙම අස්ථි සාම්පල, කාළ වකවානු නිර්ණය කිරීමේ රේඩියෝ කාබන් පරීක්ෂාව සඳහා ඇමරිකාවේ ‘ෆ්ලොරිඩාහි මියාමි හි බීටා ඇනලිටික්ස් ඉන්කෝපරේෂන් ‘ වෙත යැව්වේය.

CID ය ඇමරිකාවට ගෙන ගියේ මාතලෙන් හමුවූ මිනිස් ඇට නොවේ...

තමන්ට විරුද්ධව මතුවූ සාක්ෂි මකා දැමීමට එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය කෙලින්ම CID ය මෙහෙයවූ බවට රහසක් නොවීය. බොහෝ දෙනා සිතු පරිදි අස්ථි සාම්පල 88-89 අවදියේ මියගිය අයට අයත් නොවන බවට ෆ්ලොරිඩා වාර්තාවෙන් කියවිනි. ඊට හේතුව ඉතාමත් පැහැදිළි විය. CID ය ෆ්ලොරිඩා වෙත යැව්වේ මාතලේ ඇටකටු නොව වෙනත් පැරැණි මිනී වළකින් ලබාගත් ඇටකැබළි නිසාවෙනි.

මාතලේ මහේස්ත්‍රාත්වරයා ගේ අධිකරණ නියෝගය පරිදි Radiocarbon Bomb-pulse Method (RBM) පරීක්ෂණය කිරීම සඳහා සමුහ මිනීවලෙන් ලබාගත් අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි හි බීටා ඇනලිටික්ස් ඉන්කෝපරේෂන් වෙත යැවීමට රහස් පොලීසිය තීරණය කළේය. මෙම අස්ථි කැබලි ෆ්ලොරිඩා වෙත යවනු ලැබුවේ රහස් පොලිසියේ සිටි රාජපක්ෂ පවුලට ලැදි සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ අතය. රහස් පොලිස් නිලධාරීන් විසින් ගෝඨාභයගේ නියෝගය පරිදි, වෙනත් සොහොන් භුමි වලින් සොයාගත් සොයාගත් පැරණි ඇටකටු පාර්සලයක් පරීක්ෂණය සඳහා යැව්වේය.

මේ නිසා ඇටකටු පිළිබඳ වාර්තාවෙන් කියවුනේ ඒවා 1950 ට කාලයට අයත් බවයි. එනිසා ගෝඨාභය ඇතුළු 1 වන ගජබා රෙජිමේන්තුව මාතලේ සමුහ මිනී වළට වගකිව යුතු නැතැයි ඉමාම් ජනාධිපති කොම්සම නිර්දේශ කළේය.

මහාචාර්ය සෝමදේවට ගෝඨා විසින් දෙහි කැපීම…

අධිකරණ නියෝගය පරිදි මහාචාර්ය රාජ් සෝමදේව විසින් මාතලේ සමුහ මිනීවළ තුළින් මතුවූ ඇටසැකිලි පිළිබඳ තොරතුරු වාර්තා සකසමින් සිටියදී ඔහුට එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂගෙන් කැඳවීමක් ලැබී ඇත. ඒ අනුව ආරක්ෂක ලේකම් හමුවූ මහාචාර්යවරයාට මාතලේ සමුහ මිනීවළ හා එහි කැණීම් 88-89 කාලයට සම්බන්ධ කිරීම පිළිබඳ තදබල දෝෂාරෝපණයක් ගෝඨාභයගෙන් එල්ල වූ බවට සමහර විකල්ප මාධ්‍ය එකල වාර්තා පලකර සිටියේය. එමෙන්ම පසුකාලීනව මහාචාර්ය සෝමදේව විසින් රචිත ග්‍රන්ථයක් කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවති දේශපාලන උත්සවයකදී ආරක්ෂක ලේකම් ගෝඨාභය වෙත පුදකරන්නට තරම් මහාචාර්යවරයා ගෝඨාභයට හීලෑ වී තිබුනි.

මන්නාරම් සමුහ මිනී වලට සිදුවූ දේ...

2019 මැයි මාසයේදී එතෙක් ශ්‍රී ලංකාවේදී හමුවූ විශාලතම සමුහ මිනීවළ ලෙස සැලකිය හැකි මන්නාරම නගරයේ අධිවේගී මාර්ගය අසල පිහිටි දේශීය සුපිරි වෙළඳසැලක් වන සතොස අසල ඉදිකිරීම් කටයුතු අතරතුර සොයා ගන්නා ලද මෙම සොහොනෙහි මළ සිරුරු 318 කට අයත් ඇටසැකිලි පැවති අතර, එහි ළමුන්ගේ යැයි සැළකිය හැකි 18 දෙනෙකුගේ ඇටසැකිලි ද විය.

මෙහි කැණීම් කටයුතුද අධිකරණ නියෝග පරිදි පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් සිදු කරන ලද්දේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ පුර්ණ අධීක්ෂණය යටතේ වන අතර, කැණීම් ක්‍රියාවලිය පුරාම ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙස අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය කටයුතු කළේය.

මෙහිදී හමුවූ මිනී ඇටකැබලිද මාතලේ ඇටකැබලි මෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ බීටා ඇනලිටික්ස් ඉන්කෝපරේෂන් වෙත කාබන් කාල නිර්ණ විශ්ලේෂණය සඳහා යවන ලද අතර, එමඟින් මිනීවළ 1477 සහ 1719 අතර කාලයට අයත් බවට නිගමනය කර ඇත.

මෙම නිගමනය කැණීම් කටයුතුවලට සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේවගේ මතයට හාත්පසින්ම වෙනස් වූ අතර, ඔවුන් විශ්වාස කරන්නේ මිනීවළ අවුරුදු 30 කට වඩා පැරණි විය නොහැකි බවයි.

සමුහ මිනී වළවල් වලට වගකිව යුත්තේ කව්ද ?

මෙතෙක් ශ්‍රී ලංකාවේ හමුවූ විශාලතම සමුහ මිනීවළවල් තුන වන චෙම්මනි, මාතලේ හා මන්නාරම යන සමුහ මිනීවළවල් තුනම පසුපස ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයක් තිබේ. දකුණේ 88-89 භීෂණ සමයේ මාතලේ ජවිපෙ ක්‍රියාකාරීන් මර්දනය කිරීම භාරව සිට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද හමුදාවේ 1 වන ගජබා රෙජිමේන්තුවයි. චෙම්මනි පසුපස සිටින්නේද යාපනය LTTE යෙන් මුදාගත් යුද හමුදාව බවට සාක්ෂි යුද හමුදාවෙන්ම මතුවිය. චෙම්මනි මිනීවලට වගකිව යුතු පුද්ගලයන් හමුදාවෙන් මතුවීම නිසා චෙම්මනි ඇටසැකිලි කාල නිර්ණ පරීක්ෂණ සඳහා ඇමරිකාවට යැවීමේ වුවමනාවක් වී නැත. මන්නාරමේ මිනීවළ පිලිබඳ කාබන් පරීක්ෂණ කුමක් කීවත්, පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවගේ මතය වුයේ මෙම ඇටසැකිළි වසර 30කට වඩා පැරණි ඒවා නොවන බවයි.

අතුරුදන් වුවන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටුකරන්නේ කවදාද ?

1996 සිට චෙම්මනී මිනීවලෙන් මතුවූ මියගියවුන්ට යුක්තිය හා සාධාරණය ඉටු කරන ලෙස අතුරුදන් වුවන් වෙනුවෙන් පෙනී සිටින උතුරේ ජනතාව ඉල්ලා සිටිති. මාතලේ සමුහ මිනීවලෙන් මතුවූ මියගියවුන්ට අයත් 154 දෙනෙකුගේ ඥාතීන් හා ඔවුන් වෙනුවෙන් හඬ නගන සෙසු ක්‍රියාකාරීන් යුක්තිය හා සාධාරණය ඉල්ලා සිටිති. LTTE ය හා ශ්‍රී ලංකා හමුදා අතර යුද සමයේදී මන්නාරම යුද හමුදාව අතට පත්වූ පසු අතුරුදන් වූ පුද්ගලයන් ප්‍රමාණය අති විශාල බව පැවසේ. එහෙත් තවමත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් සිදුකළ පුද්ගල අතුරුදන් කිරීම් වලට සාධාරණයක්‌ ඉටු කරන ලෙස ඉල්ලා කර ඇති කිසිදු ඉල්ලීමකට පැවති වගකිවයුතු රජයන් ප්‍රතිචාර දක්වා නැත.

කෙසේ වෙතත් අනුර දිසානායක ප්‍රමුඛ NPP ආණ්ඩුවද මේ දක්වා සමුහ මිනීවළවල් පිළිබඳ දැනට අනුගමනය කරන්නේ කසාය බිව් ගොළුවාගේ න්‍යායම වේ. ආරක්ෂක අංශ වලට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට යාමෙන් NPP ආණ්ඩුවට එරෙහිව ආරක්ෂක අංශ කටයුතු කරනු ඇතැයි කිසිවෙකු බියක් මවා ඇති නිසාද යන්න සැක සහිතය.

චමීර පෙරේරාගේ ගේ ප්‍රකාශය…

එහෙත් මෑතකදී, වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු ලෙස හැඳින්වෙන චමීර පෙරේරා ඔහුගේ මාධ්‍ය හමුවකදී පැවසුවේ ආණ්ඩුවලට එරෙහිව කිසියම් කණ්ඩායමක් ආයුද සන්නද්ධව කැරළි ගැසූ විට ඒවා කුමන ආකාරයකින් හෝ මර්දනය කිරීමට ආණ්ඩුවලට සිදුවන බවයි. එම නිසා පැරණි මිනී වළවල් හැරීම මේ ආණ්ඩුව විසින් නොකළ යුතු දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණට හා NPP රජයට පක්ෂව මාධ්‍ය හමු පවත්වන ඔහු ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය බළලා මල්ලෙන් එලියට පැනීමකි. එය NPP රජයේ ප්‍රතිපත්තිය දැයි තවමත් කියන්නට දන්නේ නැත.

(පාසැල් බෑගයක් ද සහිතව චෙම්මනී සමූහ මිනීවලෙන් හමු වූ දරුවෙකුගේ ඇට සැකිල්ල සේයාරුවේ දැක්වේ)

-Captain-Ten

---------------------------
by     (2025-07-15 12:48:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links