~

උතුරේ රෝහල් 33 කට එකදු හෙදියක්වත් නෑ..! පසුගිය 'ඇමැතිලාගේ මිනිසුන්ගෙන්' රෝහල් පද්ධතිය පිරවීම නිසා මාරුවීම් පුරප්පාඩු විසඳීමේ දී ගැටළු රැසක්..! අවශ්‍යතාවයක් නැතිව බාගෙට හදාපු ගොඩනැගිලිත් ප්‍රශ්නයක්..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.16, ප.ව‍.11.00) උතුරු පළාතේ හෙදියන් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 පිළිබඳ වාර්තා වී ඇති අතර පසුගිය කාලයේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල අති බහුතරයක් බඳවා ගැනීම් බදුල්ල, රත්නපුර, කළුතර සහ පොළොන්නරුව ආදී ප්‍රදේශ කිහිපයකට සීමා කිරීමෙන් ස්ථානමාරු ලබාදීම සහ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගැටළු රැසක් මතු වී තිබේ. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගියදා උතුරු පළාතේ උතුරු පළාතේ ජනතාවට සපයනු ලබන සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සංචාරයක යෙදුනු අතර සෞඛ්‍ය බලධාරීන් සමග ගැටලු නිරාකරණය පිලිබඳව දීර්ඝව සාකච්ඡාවක නිරත විය. එහිදී පහත කරුණු අනාවරණය වී තිබේ.

උතුරු පළාත තුළ එක් ශික්ෂණ රෝහලක්, දිස්ත්‍රික් මහ රෝහල් 04 ක්, මූලික රෝහල් 10 ක්, දිසා රෝහල් 55 ක්, ප්‍රාදේශීය රෝහල් 48 ක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 33 ක් ස්ථාපිත කර ඇති අතර, පළාත තුළ වෙසෙන දොළොස් ලක්ෂයකට ආසන්න ජනතාවකට මෙම සෞඛ්‍ය ආයතනවලින් සුව සත්කාර හා ප්‍රතිකාර සේවා සපයනු ලබයි.

ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධනය පිළිබඳව වූ ප්‍රධාන සාකච්ඡාව උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ දී  උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩි පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් සහ උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්,  මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

මෙහි දී උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්,  මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල්  විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සැලසුම් සහගතව ප්‍රමුඛතා පදනම මත සෞඛ්‍ය පහසුකම් පුනරුත්ථාපනය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති, ඉදිරි ව්‍යාපෘති සහ වැඩසටහන්වල තිරසාරභාවය සහතික කිරීම, සෞඛ්‍ය සේවාවේ ජාතික සහ පළාත් ඉලක්ක සපුරා ගැනීම සඳහා සෞඛ්‍ය අංශයේ සියලු ම කොටස්කරුවන් සම්බන්ධීකරණය කිරීම සහ පහසුකම් සැලසීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කළමනාකරණය හා ධාරිතාවය ඉහළ නැංවීම, පළාතේ සෞඛ්‍ය අංශයේ ප්‍රයෝජනය සඳහා වඩා හොඳ මූල්‍ය කළමනාකරණයක් සහතික කිරීම, සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සමඟ දිස්ත්‍රික්ක අතර සෞඛ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීම, ඩෙංගු, මැලේරියාව, ක්ෂය රෝගය, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STD) සහ ජලභීතිකා රෝගය වැනි බෝවන රෝග වැළැක්වීමේ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, සායනික පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම සහ නිත්‍ය කාර්ය මණ්ඩල පුහුණුව සහතික කිරීම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලද අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවැති ගැටළු රැසක් මෙහි දී නිරාකරණය කිරීමට පියවර ගත් අතර, සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා බලධාරීන්ට උපදෙස් ලබාදීමට ද කටයුතු කරන ලදි.

වැඩි හෙදියන් ප්‍රමාණයක් උතුරු නැගෙනහිරට..

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස උතුරු පළාතේ සිදු කළ මෙම නිරීක්ෂණයේ දී සහ සෞඛ්‍ය බලධාරීන් සමග පැවැති සාකච්ඡාවන් හී දී පෙන්වා දෙන ලද්දේ උතුරු පළාතේ හෙදියන් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 පිළිබඳ අවධානය යොමු කරන බවත්,  පසුගිය කාල පරිච්ඡේදය තුළ හෙද පත්විම් 3147 ක් ලබාදීමට පියවර ගත් බවත්, මාස 02 ක් වැනි කාලයක් තුළ හෙදියන් 290 කට පත්වීම් ලබාදීමට හැකියාව තිබෙන බැවින් උතුරු පළාතේ හෙද අවශ්‍යතාව සලකා එම පිරිසෙන් වැඩි ප්‍රමාණයක් උතුරු නැගෙනහිරට ලබාදීමට කටයුතු කරන බවයි. ලබන වසරේ මාර්තු වන විට උපාධිධාරි හෙද නිලධාරිනියන් සහ  නිලධාරීන් 875 කට මාස 06 පාඨමාලාව අවසන් කර පත්වීම් ලබාදීමට හැකි වන බව ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

පිරිමි හෙද සේවාවට බඳවා ගැනීමේ දී ව්‍යවස්ථාව හරහට.. 

මෙරට හෙද ව්‍යවස්ථාව අනුව පිරිමි පුද්ගලයන් හෙද සේවාවට බඳවා ගත හැක්කේ සියයට 05 ක් පමණක් බවත්,  එසේ වුවද තවත් 190 ක් පමණ වන පිරිමි පුද්ගලයන් හෙද සේවාවට ඇතුළත්වීමට සිටින බව ද පෙන්වා දෙන ලදී. හෙද ව්‍යවස්ථාව අනුව මෙම සියයට 05 සීමාව බඳවාගැනීම් සඳහා බාධාවක්ව පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරේ තිබෙන හෙද හිඟය සලකා පිරිමි පුද්ගලයන් හෙද සේවාවට ඇතුළත් කර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග ඉදිරියේ දී සාකච්ඡා සිදු කරන බව ද  අවධාරණය කරන ලදි.

අවශ්‍යතාවයක් නැතිවත් අඩක් ඉදි කළ ගොඩනැගිලි ප්‍රශ්නයක්..

සෞඛ්‍ය සේවාවේ ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳව අදහස් දක්වමින් අඩක් ඉදි කළ ගොඩනැගිලි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළුවක් ව පවතින බවත්, රුපියල් බිලියන 69 ක් පමණ මෙම අර්ධ ව  ඉදි කර ඇති ගොඩනැගිලි සඳහා වෙන් කිරීමට සිදුව ඇති බව ද පෙන්වා දෙන ලදි.  සමහර ගොඩනැගිලි සියයට 75 ක් පමණ වැඩ අවසන් කර ඇති බැවින් අත්‍යාවශ්‍ය ද, නැද්ද යන්න තීරණය කිරීමට නොහැකිව ඇති බව ද පෙන්වා දෙන ලද අතර, ඉදිරියේ දී අවශ්‍යතාව අනුව සැලසුම් සහගතව භෞතික සම්පත් සම්පත් සංවර්ධනයට පියවර ගන්නා බව ද පැවසී ය.

හිටපු ඇමැතිලාගේ හිතුවක්කාර බඳවා ගැනීම් ගැටළුවක්..

හිටපු ඇමැතිවරුන් සිය අභිමතයන් පරිදි සහාය කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ දී සිදුකළ අත්තනෝමතික ක්‍රමවේදය වෙනස් කරමින් ඉදිරියේ දී විනිවිදභාවයකින් යුතුව සහාය කාර්ය මණ්ඩල 1990 ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, තම දේශපාලන අභිමතයන් පරිදි පසුගිය කාලයේ අදාළ බල ප්‍රදේශයන්ට මූලිකත්වය දී සෞඛ්‍ය සේවකයන් බඳවා ගැනීම තුළ සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩල මේ වන විට බදුල්ල, කළුතර, පොළොන්නරුව සහ රත්නපුර ප්‍රදේශ වලට සීමා වී පැවතීම නිසා ස්ථානමාරු ලබාදීමේ දී හා පුරප්පාඩු පිරවීමේ‍ දී ගැටළු මතුව තිබෙන බවත්, ඉදිරියේ දී එම බඳවා  ගැනිම් ඒ ඒ රෝහල්වල පවතින පුරප්පාඩු මත ඒ ඒ ප්‍රදේශයට ප්‍රමුඛතාව ලබාදෙමින් සිදු කරන බවත්, දැනට සිටින සෞඛ්‍ය කාර්ය සහායකයින් 1000 කට උපස්ථායක ලෙස උසස්වීම් ලබාදීමට කටයුතු කිරීම තුළ තව 1000 ක් බඳවා ගැනීමට හැකියාව ලැබෙන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදි.   

මෙම අවස්ථාවට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය එස් ශ්‍රීභවන්තරාජා, කරුණානන්දන් ඉලන්කුමරන්, උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  කේ. නන්තකුමාරන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා ඇතුළු උතුරු පළාතේ රෝහල් අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය නිලධාරින් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් පිරිසක් එක ව සිටියහ.

---------------------------
by     (2025-07-16 17:32:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links