(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.16, ප.ව.11.20) ලංකා ඊ නිව්ස් හි හිටපු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධයට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්‍ෂ ශානි අබේසේකර නම් කර තිබෙන බව නීතිපතිවරයා අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දී තිබේ.
අදාළ නඩුව අද නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ප්‍රගීත් එක්නැලිගොඩගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා මෙන්ම විමර්ශන කටයුතු අධීක්ෂණය කළ ශානි අබේසේකරව සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර නොමැති බව සඳහන් කර සිටියේය.
ඒ අනුව ශානි අබේසේකරව සාක්ෂිකරුවකු ලෙස නම් කරන ලෙස 2022 වසරේ නොවැම්බර් මස 29 වනදා තමන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ බවත් එය සලකා බලන බවට එවක පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් දැනුම් දී තිබූ බව ඔහු සඳහන් කළේය.
එහෙත් මේ දක්වා ශානි අබේසේකර ව අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.
පැමිණිල්ල වෙනුවෙන් අද පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා එවිට අධිකරණයට දන්වා සිටියේ ශානි අබේසේකර මෙම නඩුවේ 109 වන සාක්ෂිකරු වශයෙන් දැනටමත් නම් කර තිබෙන බවය.
අනතුරුව වැඩිදුර නඩු විභාගය මේ මස 18 වනදා දක්වා කල් තැබිණ.
ප්‍රගීත් පැහැරගෙන ගොස් මරා දැමීමේ අපරාධයේ දැනට විභාග වන නඩුවේ විත්තිකරුවන් වන ගිරිතලේ හමුදා කඳවුරේ එවක අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් (දැන් බ්‍රිගේඩියර්) ෂම්මි කුමාරරත්න ඇතුළු සෙසු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අනුපිළිවෙලින් මෙසේය
බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න,
ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්),
ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නාදන්),
එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි),
චමින්ද කුමාර අබේරත්න,
කනිෂ්ක ගුණරත්න,
අයියාසාමි බාලසුබ්‍රමනියම්,
තරංග ප්‍රසාද් ගමගේ සහ
ටී.ඊ.ආර්. පීරිස්
2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිරකර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
සබැඳි පුවතක්
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව අවුල් කිරීමට තවත් පිල්ලියක් ඇවිල්ලා..!
---------------------------
by (2025-07-16 18:34:25)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි