(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.17, ප.ව.11.15) ජනමාධ්‍ය සහ සෞඛ්‍ය ඇමතිව සිටිය දී රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය, දියණියන් තිදෙනා සහ බෑනා ඇතුළු පවුලටම එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද (17දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා, දියණියන් තිදෙනා වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අය නම් කර ඇත.
මහ බැංකුවේ සැක කටයුතු ගනුදෙනු (STR) අංශය කළ විමර්ශනයකදී සොයාගත් කරුණු අනුව අල්ලස් හෝ දූෂණ කොමිසම විමර්ශනයක් පවත්වා විත්තිකරුගේ බැංකු ගිණුම, ජීවිත රක්ෂණ ඔප්පු හා ස්ථිර තැන්පතු පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය වූ කරුණු අනුව නඩු පැවරීම සිදුකර තිබේ. 2023 වසරේ දින දෙකක් තුළදී පමණක් විත්තිකරුවන්ගේ සැක කටයුතු ගිණුම්වලට රුපියල් මිලියන 100 කට ආසන්න මුදලක් ලැබී ඇති බව චෝදනා පත්‍රය සමඟ භාර දුන් ලේඛනවල සඳහන් වේ.
අධි චෝදනා කියවා දීමෙන් පසු විත්තිකරුවෝ තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති සියලු චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව කියා සිටියහ. ඉන්පසු මහාධිකරණ විනිසුරුවරයා නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමුකර ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන්නේදැයි පැමිණිල්ලෙන් විමසා සිටියේය. පැමිණිල්ල එයට විරුද්ධ නොවීය.
ඒ අනුව එක් විත්තිකරුවකුට රුපියල් 50,000 බැගින් මුදල් හා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. මෙයට අමතරව විත්තිකරුවන්ට ආගමන විගමන තහනමක් පනවා විදේශ ගමන් බලපත්‍රය අධිකරණභාරයට ගැනීමට නියම විය. විත්තිකරුවන්ගේ ඇඟිලි සටහන් වාර්තාගෙන පෙර වැරැදි පරීක්ෂා කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.
අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ පනතේ 5(1) හා (2) යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 102, 113, 386, 389, 391, 403, 454 වගන්ති යටතේ අධිචෝදනා 43ක් ගොනුකර ඇත.
2020 වසරේ අගෝස්තු මස 13දා සහ 2024 වසරේ ජූලි මස 24දා අතර කාලය තුළදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස වත්කම් රැස්කිරීම සහ ආධාර අනුබලදීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදු කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නඩු පවරා තිබේ.
විත්තිකරු ඇමැතිවරයකු වශයෙන් කටයුතු කරමින් වසර 4කට ආසන්න කාලයක් තුළදී රුපියල් බිලියන 93කට (කෝටි 9300 කට) අධික වත්කම් උපයා ගැනීම කර තිබේ.
අයථා ලෙස උපයාගත් මුදලින් මිලදී ගත්තේ යැයි සැලකෙන දේපළ, බැංකු ගිණුම්, ස්ථාවර වත්කම් සහ ජීවිත රක්ෂණ ඔප්පු අල්ලස් කොමිසම විසින් කළ කරුණු දැක්වීම අනුව කොළඹ මහාධිකරණය විසින් අත්හිටුවන ලදි.
අල්ලස් හෝ දූෂණ කොමිසම වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති) තුසිතා ජයනෙත්ති මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා විත්තිය වෙනුවෙන් පෙනීසිටියේය.
කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා නැමැත්තිය වෙනුවෙන් 2003 වසරේ ජූනි 12දා පෞද්ගලික බැංකුව පිහිටි ස්ථාවර තැන්පතුවක රුපියල් 30,000,000.00ක මුදලක් තැන්පත් කර තිබේ. ඔහුගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල විසින් 2023 වසරේ ජූනි 14දා සහ දෙසැම්බර් 21දා රුපියල් 9,000,000.00 ක සහ 2,000,000.00ක ජීවිත රක්ෂණ ඔප්පු දෙකක් මිලදී ගෙන ඇත.
එමෙන්ම දෙවැනි දුව වන චන්දුලා රමාලි රඹුක්වැල්ල 2023 වසරේ ජූනි 14දා එනම් ඉහත ගනුදෙනුව සිදුවූ දිනම රුපියල් 8,000,000.00ක ජීවිත රක්ෂණ ඔප්පුවක් මිලදී ගෙන තිබේ.
විත්තිකරුගේ 3 වැනි දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල යන අය ඉහත ගනුදෙනුව සිදුවූ දිනයට දින 2කට පෙර එනම් 2023 වසරේ ජූනි 12දා ගිණුම් 8ක රුපියල් 30,000,000.00ක ගිණුම් විවෘතකර ඇත. මෙයට අමතරව රුපියල් 34,000,000.00ක ජීවිත රක්ෂණ ඔප්පු 2ක් මිලදී ගෙන ඇත.
එයට අමතරව බෑනා ද එදිනම ස්ථාවර තැන්පතු 5ක රුපියල් 14,125,000.00ක මුදලක් ආයෝජනය කර තිබේ. හිටපු ඇමැති කෙහෙළිය හා ඔහුගේ පවුලේ උදවියට විරුද්ධව නඩු හා විමර්ශන 10 ක් පැවැත් වේ.
අගෝස්තු 5දා මෙම නඩුව යළි කැඳවීමට නියමිත අතර විත්තිකරුට එරෙහිව පැවරූ ජී.අයි. බට නඩුව හෙට (18දා) කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.
මෙම නඩු වලට අමතරව කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව තවත් නඩුවක් ද මහාධිකරණයේ පවරා තිබේ. ඒ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් විෂ ද්‍රව්‍ය සහිත කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙනි. එම නඩුවේ දී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 13ක් එල්ල කර තිබේ.
(ස්තූතිය දිනමිණට)
---------------------------
by (2025-07-17 21:57:14)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි