(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.17, ප.ව.11.15) සිංහලයේ අවසන් රාජධානිය හා බැඳුණු ප්‍රතාපවත් චරිත 36 ක ගේ ජීවමාන ප්‍රමාණයේ අනුරූ ප්‍රතිනිර්මාණය කරමින්, සෙංකඩගල ඇහැලේපොළ වලව්ව පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතුකාගාරය අද ( 17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් විවෘත කෙරිණි.
සජීව ප්‍රමාණයේ ඉටි රූ අතර වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි, වාරියපොල ශ්‍රී සුමංගල හිමි, පළමු වන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය, මොණරවිල කැප්පෙටිපොළ දිසාව, දේවේන්ද්‍ර මුලාචාරිතුමා, රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා, ඇහැලේපොළ මහාධිකාරම්, කුමාරිහාමි, දරු දෙදෙනා ඇතුළු ඉතිහාසයේ සුවිශේෂි චරිත 36 කට අදාළ ඉටි රූප මෙහි ප්‍රතිනිර්මාණය කරනු ලැබ ඇත.
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර ශ්‍රී දළදා මළිගාවේ ඇහැලේපොල වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කටයුත්ත සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300 කි.
මේ කෞතුතාගාරය, මහනුවරට පැමිණෙන දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයින් වෙත නවමු අත්දැකීමක් තිලින කිරීමට සූදානම් බව වාර්තා වෙයි.
පොත-පතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොල ඉටි රූ කෞතුකාගාරය තුල ද ජීවමාන වී තිබීම විශේෂත්වයකි. මේ පරිශ්‍රය තුල පාරම්පරික කර්මාන්ත පිළිබඳ ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි භෝජනාගාරයක්ද ස්ථාපිත කර තිබේ.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම යන ස්වාමීන් වහන්සේලා සහ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී යන ස්වාමින් වහන්සේලා ඇතුළු ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයීය ලේඛකාධිකාරී සහ කාරක සංඝ සභික මහා සංඝරත්නයද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ද, විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන් ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
---------------------------
by (2025-07-17 21:17:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි