~

තක්කඩි පොලිසියක් හමුවේ අසරණ වූ නුවරඑළිය නවක මහෙස්ත්‍රාත්තුමිය..!

-ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි.

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.18, ප.ව‍.11.30) අසරණ වූ පුරවැසියෙකු හට යෑමට ඇති අන්තිම ස්ථානය වන අධිකරණය ලංකාවේ දූෂිතම ආයතනයක් වන පොලිස් දෙපාර්තමේන්තුවේ ගලග්‍රහණයට හසුවේ නම් එය දරුණු ඛේදවාචකයකි. එවන් අවාසනාවන්ත තත්වයක් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අසන්නට ලැබේ.

නුවරඑළිය වර්තමාන මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා නානායක්කාර නමැති අත්දැකීම් නැති තරුණ මහෙස්ත්‍රාත්තුමිය නුවරඑළිය පොලිසියේ තක්කඩි පොලිස් නිලධාරීන් ගේ ප්‍රාණ ඇපකාරියක් බවට පත්ව තිබේ. නුවරඑළිය නිල මහෙස්ත්‍රාත්තුමිය ඇය වුවත් අනියම් මහෙස්ත්‍රාත් බවට පත්ව සිටින්නේ නුවරඑළිය පොලිසියේ සුලු පැමිණිලි අංශයේ 'රසික' නැමැති තක්කඩි නිලධාරියෙකි. මෙම නිලධාරියා මීට පෙර දූෂිත ක්‍රියා නිසා බදුල්ල අධිකරණයෙන් එලවා දැමූවෙකි. නැවත ඔහු  නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට රිංගාගෙන මහෙස්ත්‍රාත් වරියක් වීමට පෙර නඩුවක් හෝ මෙහෙයවා  කිසිදු අත්දැකීමක් නොමැති මහෙස්ත්‍රාත්වරියහට අධිකරණ කටයුතු කරන ආකාරය උගන්වන ප්‍රධාන  න්‍යායාචාරියා බවට පත්ව සිටී. 

මහේස්ත්‍රාත්වරිය  සිය අධිකරණය පාලනය කරගැනීමට තරම් ශක්තියක් හෝ අත්දැකීමක් නොමැති දුර්වල අයෙකු වීමේ උපරිම වාසිය දූෂිත පොලිස් නිලධාරීන් විසින් ගනිමින් සිටී.

නඩු තැරැව් කිරීමේ සිට ඇප දෙන්නේ කාටද යන්න තීරණය කිරීමට පොලිස් නිලධාරීන් හට පුළුවන් වීම නිසා දූෂිත පොලිස් නිලධාරීන් හට මහෙස්ත්‍රාත් අධිකරණය ධන නිධානයක් බවට පත්ව තිබේ .

මීට පෙර සෘජුව රාජකාරි කරමින් දූෂිත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් තදින් ක්‍රියාකළ හිටපු නුවරඑළිය මහෙස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මහත්මිය එලවා ගැනීම සඳහා නුවරඑළිය පොලිසියේ දූෂිත පොලිස් නිලධාරීන් විසින් වැඩවර්ජනයක් සිදුකළ අතර එම වර්ජනය  සිදුකළ දූෂිත පොලිස් නිලධාරීන් හට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනු වෙනුවට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් එම මහෙස්ත්‍රාත් වරිය හට වහාම සථාන මාරුවක් ලබාදීමට පියවර ගන්නා ලදී. 

මේ හේතුව නිසා නුවරඑළිය පොලිසියේ නිලධාරීන් තමන්ට අවශ්‍ය ආකාරයට නඩුකාරයින් එළවාගත හැකිය යන උද්දච්ඡ මානසිකත්වයෙන් කටයුතු කරන අතර රස්සාව බේරා ගැනීමට නම් පොලීසියට අවශ්‍ය ආකාරයට කටයුතු කළ යුතුය යන බියෙන් වර්තමාන ඉතා නවක මහේස්ත්‍රාත් වරිය කටයුතු කරන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකිය .

මේ ආකාරයට තවදුරටත් කටයුතු සිදුවුවහොත් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය තුල නීතියේ ආධිපත්‍යය විනාශ වී මහෙස්ත්‍රාත් තනතුර විහිලුවක් බවට පත්විය හැකි බැවින් සෘජුව රාජකාරිය කිරීමට කොන්ද පණ ඇති අත්දැකීම් සහිත මහෙස්ත්‍රාත් වරයෙකු හෝ වරියක නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට පත් කොට එවීම අධිකරණ සේවා කොමිෂන් සභාවේ වගකීම වේ.

මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ නුවරඑළියේ පමණක් නොවීම ද විශේෂයෙන් සැලකුව මනා ය. බොහෝ දුර ප්‍රදේශවල මහෙස්ත්‍රාත් අධිකරණ තුලද මෙවැනිම සෙල්ලම් වන බව ද අපට වාර්තා වී තිබේ. ඒ පිළිබඳව ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතුය.

-ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි.

---------------------------
by     (2025-07-18 19:49:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links