-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.19, ප.ව.10.10) “ආණ්ඩුව ඊශ්‍රායලය පිනවීමට ඊශ්‍රායෙල් විරෝධීන් දඬුකඳේ ගසයි” මේ පසුගිය අඟහරුවාදා (15) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක් දියත් කළ පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරයේ සාමාජිකයන් අත තිබූ පෝස්ටරයක සටන් පාඨයකි. මේ විරෝධතාවය සංවිධානය කර තිබුණේ මාස නමයක් පුරා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින ගුවන් යානා මැදිරි කාර්ය මණ්ඩල පාඨමාලා සිසුවකු වු මොහොමඩ් ෂුහායිල් තරුණයා වහාම නිදහස් කරන ලෙසට සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසට බල කිරීම සඳහාය. වසර 2024 ඔක්තෝබර් 24 දින දෙහිවල පොලීසිය මේ තරුණයා අත්අඩංගුවට ගන්නේ ඊශ්‍රායල් විරෝධී ඉමොජියක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමක ඔස්සේ පළ කළ බවට චෝදනා කරමිනි. වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍යය ඊශ්‍රායල් විරෝධී ඉමොජියක් පළ කිරීම වෙනුවෙන් විසිඑක් හැවිරිදි තරුණයෙකු භයානක ත්‍රස්තවාදියෙකු වශයෙන් හඳුනාගෙන මාස නමයකට අධික කාලයක් අනීතිකව අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් නමුත් දශක හතරහමාරකට පෙර ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) සිය සාමාජිකත්වය අහෝසිවීමේ බරපතල අනතුර ඉදිරියේ පවා පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටියේ ය. ඒ වසර 1979 පැවැති දෙවන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ය.
වසර 1975 පැවැති පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය (Prudential Cup '75) සඳහා සහභාගී වූ ආරාධිත කණ්ඩායම් දෙක වූයේ ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාවයි. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මේ තෝරා ගැනීම පිළිබඳව නෙදර්ලන්තය සහ ඩෙන්මාර්ක් සිය විරෝධය දැක්වීය. අයි.සී.සී ය ආරාධිතයන් වශයෙන් තෝරාගත් ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාවට වඩා තමන් දක්ෂ බව ඔවුහු තර්ක කළහ. මේ චෝදනා හේතුවෙන් වසර 1979 පැවති දෙවන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය (Prudential Cup '79) සඳහා ආරාධිත කණ්ඩායම් දෙක තෝරා ගැනීම සඳහා පූර්ව තරඟාවලියක් සංවිධානය කිරීමට අයි.සී.සී තීරණය කළේ ය. එය “අයි.සී.සී කුසලානය” නම් විය. ඒ සඳහා පැවැති මේ එක්දින ක්‍රිකට් තරඟාවලියට සඳහා ටෙස්ට් වරම් හිමිනොවූ රටවල් පහළොවක් තරඟ කළ අතර එහි අවසාන වටයට පැමිණෙන රටවල් දෙකකට Prudential Cup '79 සඳහා තරඟ කිරීමේ අවස්ථාව ලබාදෙන ලදී. බර්මියුඩා, නැගෙනහිර අප්‍රිකාව, පැපුවා නිව් ගිනි, සිංගප්පූරුව, ඩෙන්මාර්ක්, කැනඩාව, බංගලිදේශය , ෆීජි, මැලේසියාව, ශ්‍රී ලංකාව, වේල්ස්, එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ ඊශ්‍රායලය යන රටවල් කාණ්ඩ තුනක් යටතේ “අයි.සී.සී කුසලානය” වෙනුවෙන් තරඟ කළේ ය. ශ්‍රී ලංකාව, වේල්ස්, එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ ඊශ්‍රායලය “C” කාණ්ඩයට අයත් විය.
අනුර තෙන්නකෝන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, ඩී. එස් ද සිල්වා, ටෝනි ඕපාත, සුනිල් වෙත්තමුණි, ඩී. එල්. එස් (ස්ටැන්ලි) ද සිල්වා, රංජන් ගුණතිලක, රොහාන් ජයසේකර, සුනිල් ජයසිංහ, ශ්‍රීධරන් ජෙගනාදන්, රංජන් මඩුගල්ල, සහ සුදත් පැස්කුවල්, සෙසු ක්‍රීඩකයෝ වූහ. මේ කණ්ඩායම තෝරා ගැනීම පිළිබඳ විශාල ආන්දෝලනයක් ඒ දිනවල ඇති වූ බව Nicholas Brookes ගේ “An lsland’s Eleven: The Story of Sri Lankan Cricket” නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ රචනා කළ කෘතියේ සඳහන් කර තිබේ. වසර 1975 ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කළ රංජිත් ප්‍රනාන්දු, ලලිත් කළුපෙරුම, අනුර රණසිංහ කණ්ඩායමෙන් කපාදමා තිබිණි. රංජිත් ප්‍රනාන්දු යනු ඒ වකවානුවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩයෙකු වූ අතර දක්ෂ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම විශිෂ්ට කඩුළු රකින්නෙකි. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලලිත් කළුපෙරුම, සහ අනුර රණසිංහ ඒ වන විට පළමු පෙළ සහ දේශීය තරඟයන්හිදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකි.
ඒ දිනවල මේ තීරණ සියල්ල පිටුපස සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ “ගෝඩ්ෆාදර්” යැයි හඳුන්වනු ලැබූ අබූ ෆුවාඩ් ය. ඔහුට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයන් නයාට අඳුකොළ මෙනි. ලලිත් කළුපෙරුම, සහ අනුර රණසිංහ කැපී ගියේ බ්ලූම්ෆීල්ඩ් කතුරටය. Nicholas Brookes පෙන්වා දෙන අන්දමට රංජිත් ප්‍රනාන්දු වෙනුවට සුනිල් ජයසිංහ නම් නවක කඩුළු රකින්නෙකු හඳුන්වාදෙනු ලැබීය. වසර 1979 ලෝක කුසලාන සංචාරයට නම් කරනු ලැබූ සුදත් පැස්කුවෙල් ඒ වන විට කොළඹ රාජකීය විද්‍යාලයේ අවසාන වසරට පවා පිවිස සිටියේ නැත. ඔහු සමඟ එම සංචාරයට නම් කරනු ලැබූ ස්ටැන්ලි ද සිල්වා, රංජන් ගුණතිලක, රංජන් මඩුගල්ල සහ සුනිල් ජයසිංහ ඇතුළු සියළුදෙනාම එක්ව ගත්විටත් සහභාගී තිබුණේ “ඒ” මට්ටමේ තරඟ දහයකට පමණි. මේ පිරිස අතරින් සිව්දෙනෙකුට යළි කිසිදිනෙක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් නොලැබිණි (161 පිටුව). ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී අනුගමනය කර තිබූ අසාධාරණ ක්‍රමවේදය ඒ මගින් තහවුරු වේ .
“අයි.සී.සී කුසලාන” තරඟාවලිය වසර 1979 මැයි 22 වන දා සිට ජූනි 21 වන දා පැවැති අතර එහි අවසාන තරඟයට සහභාගීවන කණ්ඩායම් දෙක තෝරා ගැනීමෙන් දින තුනකට පසුව එනම් ජූනි 9 වන දා දෙවන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ විය. ශ්‍රී ලංකාව, ඇමරිකාවට එරෙහි සිය පළමු තරඟයෙන් පහසු ජයක් ලබා ගත්තේ ය. මැයි 24 වන දා නෝත්හැම්ප්ටන්හි පැවැති මේ තරඟයේදී, ඇමරිකානු කණ්ඩායම ලකුණු 168කට සීමා කිරීමට අපේ ක්‍රීඩකයෝ සමත් වූහ. එම ඉලක්කය පන්දුවාර හතළිහක දී කඩුළු හතරක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර බන්දුල වර්ණපුර සහ දුලිප් මෙන්ඩිස් ලකුණු 36 බැගින්, සහ රෝයි ඩයස් නොදැවී ලකුණු 76ක් රැස් කළහ. වේල්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයට වර්ෂාව හරස් වූ අතර කණ්ඩායම් දෙකටම සම ප්‍රසාද ලකුණු ලැබුණි. ජූනි 1 වන දා නෙදර්ලන්තය සමඟ පැවති තරඟය ද ලකුණු 45කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් අපේ කණ්ඩායම පන්දුවාර හැට තුළ දී කඩුළු අටක් දැවී ලකුණු 212 ලබාගත් අතර දුලිප් මෙන්ඩිස් ලකුණු 51ක් රැස් කළේ ය. පිළිතුරු වශයෙන්, නෙදර්ලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණි.
“C” කාණ්ඩ මට්ටමේ ශ්‍රී ලංකාවට හිමිවූ අවසාන තරඟය ඊශ්‍රායලයට එරෙහිව ය. ඒ තරඟය ජූනි 4 වන දා වෝර්වික්හි, කෙනිල්වර්ත් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඊශ්‍රායල තරඟය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ජය ගත යුතුව තිබිණි. වේල්ස් තරඟය ද වර්ෂාවට ගොදුරුවී තිබූ අතර එම තරඟයේ සම්පූර්ණ ප්‍රසාද ලකුණු අපේ කණ්ඩායමට නොලැබුණි. එහෙත් ඊශ්‍රායල සමඟ තරඟ නොකිරීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබීය. එය දේශපාලන තීන්දුවකි. ශ්‍රී ලංකා රජය ඒ වකවානුවේ අනුගමනය කළ පලස්තීන සහයෝගීතා ප්‍රතිපත්තිය මේ තීරණයට හේතු විය. ඊශ්‍රායල සමඟ තරඟ නොකිරීමේ හේතුවෙන් අපේ කණ්ඩායම “අයි.සී.සී කුසලාන” තරඟාවලියෙන් ඉවත විසිවීමේ අනතුරක් තිබූ අතර ඒ හේතුවෙන් Prudential Cup '79 තරඟ කිරීමේ වටිනා අවස්ථාව අහිමි වනු ඇත. ඒ වකවානුවේ ටෙස්ට් වරම් බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකාවට මේ තරඟ වර්ජනය තීරණය දැඩි අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කිරීමේ අනතුරක් පැවතියේ ය. ඊශ්‍රායලය අයත් වූ “C” කාණ්ඩයේ රටවල් අතරින් තරඟ වර්ජනයේ නිරත වූයේ ශ්‍රී ලංකාව පමණි. වේල්ස්, එක්සත් ජනපදය, සහ නෙදර්ලන්තය කිසිදු විරෝධයකින් තොරව ඊශ්‍රායලය සමඟ තරඟ කළහ.
Nicholas Brookes හෙළි කරන අන්දමට ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් වර්ජන තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැඩි කෝපයට පත්වූ අතර ශ්‍රී ලංකාව සමස්ත තරඟාවලියෙන් ඉවත් කරන බවට තර්ජනය කළේ ය. එහෙත් ශ්‍රී ලංකා රජය සිය තීරණය වෙනස් නොකළේ ය. අයි.සී.සී ශ්‍රී ලාංකික නියෝජිතයා වූ ආතර් පින්ටෝට MCC ප්‍රබලයෙකු වන ඩොනල්ඩ්. බී කාර් සමඟ හොඳ සම්බන්ධයක් පැවතුනි. ඔහු ඒ MCC ප්‍රබලයා ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කිරීමට යොදා ගත්තේ ය (162 පිටුව). කාර් හිටපු එංගලන්ත ටෙස්ට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු වසර 1955 සිට 1962 දක්වා ඩාබිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළේ ය. කාර් පළමු පෙළ තරඟ වලදී ලකුණු දහදාහකට වඩා රැස් කළ දක්ෂ පිතිකරුවෙකි. අවසානයේ ඔහුගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් තරඟාවලියට සම්බන්ධවීමේ අවස්ථාව හිමි විය. එහෙත් එම තරඟය වර්ජනය හේතුවෙන් ඊශ්‍රායලයට නිතරඟ ජයක් හිමි වූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට “C” කාණ්ඩයේ ඉහළම ප්‍රසාද ලකුණු ලබාගත් කණ්ඩායම බවට පත්වීමට නොහැකි විය. ශ්‍රී ලංකාව, වේල්ස් සහ ඇමරිකාව ප්‍රසාද ලකුණු දහය බැගින් ලබා ගෙන සම මට්ටමට පැමිණිහ. එහෙත් සමස්ථ ලකුණු ලබා ගැනීමේ වේගය (run rate) අතින් අපේ කණ්ඩායම ඉදිරියෙන්ම සිටියේ ය. අපේ ලකුණු ලබා ගැනීමේ වේගය 1.028ක් වූ අතර දෙවැනි ස්ථානයට පත් වූ වේල්ස්හි එම අගය 0.653ක් විය. ඉහළ ලකුණු ලබා ගැනීමේ වේගය හේතුවෙන් ශ්‍රී ලංකාව අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ජූනි 6 වන දා පැවැති අර්ධ අවසාන තරඟයේ දී ඩෙන්මාර්ක් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරඟයට සුදුසුකම් ලැබීය. පළමුව පන්දුවට පහර දුන් අපේ කණ්ඩායම පන්දුවාර හැට තුළ දී කඩුළු අටක් දැවී ලකුණු 318 ලබා ගත්තේ ය. බන්දුල වර්ණපුර ලකුණු 34ක්, නායක අනුර තෙන්නකෝන් ලකුණු 45ක්, රෝයි ඩයස් ලකුණු 88ක්, දුලිප් මෙන්ඩිස් ලකුණු 68ක්, සහ ඩී. එස් ද සිල්වා ලකුණු 41ක් ලබා ගත්හ. ඩෙන්මාර්ක් කණ්ඩායම ලකුණු 110කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඩී. එස් ද සිල්වා, බන්දුල වර්ණපුර සහ සුදත් පැස්කුවෙල් කඩුළු තුන බැගින් බිඳ හෙලූහ. ශ්‍රී ලංකාව අවසාන තරඟයට සුදුසුකම් ලැබීමත් සමඟ ඔවුන්ට දෙවන ලෝක කුසලානයට තරඟ කිරීමේ අවස්ථාව ද හිමි විය. මේ තරඟයේ දී ශ්‍රී ලංකා නායක අනුර තෙන්නකෝන් ආබාධයකට ලක්වූ අතර ඔහුට ඉන් පසුව පැවති කිසිදු තරඟයකට සහභාගීවීමට අවස්ථාවක් නොලැබිණි. ඔහු වෙනුවට බන්දුල වර්ණපුර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය. “අයි.සී.සී කුසලාන” අවසාන තරඟ සඳහා ශ්‍රී ලංකාව සහ කැනඩාව සුදුසුකම් ලැබීය.
ජූනි 21 වන දා පැවැති එම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර හැට තුළ දී කඩුළු අටකට ලකුණු 324ක් ලබා ගත්තේ ය. දුලිප් මෙන්ඩිස් ලකුණු 66ක්, සුනිල් ජයසිංහ ලකුණු 64ක්, රෝයි ඩයස් ලකුණු 44ක්, ඩී. එස් ද සිල්වා සහ සුදත් පැස්කුවෙල් ලකුණු 39 බැගින් රැස් කළහ. කැනඩා කණ්ඩායම පන්දු වාර හැටකට මුහුණදී ලබාගත හැකි වූයේ ලකුණු 264ක් පමණි. කැනඩාව ලකුණු හැටකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව පළමු “අයි.සී.සී කුසලාන” දිනා ගත්තේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් “අයි.සී.සී කුසලාන” පිලිගන්නේ කවරෙක් ද යන පිළිබඳ ගැටළුව ඇති විය. අවසාන තරඟයට නායකත්වය ලබාදුන් බන්දුල වර්ණපුරට කුසලානය පිලිගන්නා ලෙසට බොහෝ දෙනෙක් ඉල්ලා සිටියහ. එහෙත් ඔහු එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කළේ ය. අවසාන තරඟයට තමන් නායකත්වය ලබාදුන්න ද ලෝක ක්‍රිකට් කුසලාන කණ්ඩායමේ නායකයා අනුර තෙන්නකෝන් කුසලානය ලබා ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය. ඒ අනුව අනුර තෙන්නකෝන් ලංකාවට හිමිවූ පළමු ලෝක ක්‍රිකට් කුසලානය ඉතා ආඩම්බරෙන් පිලි ගත්තේ ය.(සේයාරුවක දැක්වේ) වර්තමාන ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ බන්දුල සිදු කළ ආකාරයේ පරිත්‍යාග සිතාගත නොහැකි තරම්ය. එහෙත් සිය ජීවිත කාලය පුරා යුක්තිය සහ සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටි බන්දුලගේ එම තීරණය පිළිබඳ කිසිවෙකු පුදුම නොවනු ඇත. බන්දුලලා යනු වයස අවුරුදු දහයේ පමණ සිට පාසැලේ දී මෙන්ම නිවසේදීත්, ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීත් දැඩි විනයක් සහිතව ගොඩනැගූ චරිතය. ඔවුන් වැල්ලෙන්, ත්‍රීවීල් පාර්ක් වලින්, මාළු ලෑල්ලෙන් “සොයාගත්” චරිත නොවෙයි. වෙනස එයයි.
ශ්‍රී ලංකාව දෙවන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ “B” කාණ්ඩයට අයත් විය. නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සහ ඉන්දියාව සෙසු රටවල්ය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟයෙන් නවසීලන්තය පහසු ජයක් ලබා ගත්තේ ය. බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවැති තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය. ජූනි 16 වන දා ඉන්දියාව සමඟ ඕල් ට්‍රැෆඩ්හි පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශ්‍රීනිවාස් වෙන්කතරාඝවන් ශ්‍රී ලංකා පිළට පන්දුවට පහරදීමට ආරාධනා කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර හැටකට මුහුණ දී කඩුළු පහකට ලකුණු 238ක් රැස් කළේ ය. සුනිල් වෙත්තමුණි ලකුණු 67ක් සහ රෝයි ඩයස් ලකුණු 50ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරතවූ දුලිප් මෙන්ඩිස් පන්දු 57කට මුහුණ දී ලකුණු 64ක් ලබාගත්තේ හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමඟිනි. ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් සියළු ලකුණු 191කට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුහු ඉන්දියාව පරාජය කරමින් ලකුණු 41ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළහ. ටෝනි ඕපාත සහ ඩී. එස් ද සිල්වා කඩුළු තුන බැගින් ද, ඩී.එල්.එස් (ස්ටැන්ලි) ද සිල්වා කඩුළු දෙකක් සහ බන්දුල වර්ණපුර එක් කඩුල්ලක් දවා ගත්හ. මෙය අපේ ක්‍රිකට් වංශකථාවේ අමරණීය අවස්ථාවකි. බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඵෙතිහාසික වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක ටෙස්ට් තත්ත්වය නොමැති රටක්, අයි.සී.සී පූර්ණ සාමාජික රටක් පරාජය කළ ප්‍රථම අවස්ථාව එය වූ බැවිනි. මේ ජයග්‍රහණය වසර 1981 දී ශ්‍රී ලංකාවට අයි.සී.සී ටෙස්ට් දොර විවෘතවීමට සැළකිය යුතු බලපෑමක් නිර්මාණය කළ බව නොරහසකි. “අයි.සී.සී” කුසලානය දිනා ගැනීම, ඉන්දියාවට එරෙහි ඵෙතිහාසික ජයග්‍රහණය මෙන්ම පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අභීතව පෙනී සිටීමින් ඊශ්‍රායලයට එරෙහි තරඟ වර්ජනය, වසර 1979 දෙවන ලෝක කුසලාන සංචාරයේ එකසේ වැදගත් සංධිස්ථානය. (ඉන්දියාව පරාජය කළ බන්දුල වර්ණපුර ප්‍රමුඛ කණ්ඩායම සේයාරුවක දැක්වේ)
ඊශ්‍රායල් විරෝධී ඉමොජියක් පළ කිරීම වෙනුවෙන් මොහොමඩ් ෂුහායිල් මාස නමයකට අධික කාලයක් අනීතිකව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමෙන් ප්‍රදර්ශනය වන්නේ වත්මන් ලංකාවේ ඊශ්‍රායල් “ගුද රුදාවේ” තරමය. පසුගිය ජූලි 9 වන බදාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි කුප්‍රකට දෙහිවල පොලීසියේ ස්ථානාධිපති අනුරාධ හේරත් කියා සිටියේ ෂුහායිල් මොහොමඩ් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව කිසිදු අපරාධයක් සිදු කර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය නොවූ බවයි. මේ සිද්ධියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කර ඇති බව ඉතා පැහැදිලිය. මේ තරුණයාගෙන් උදුරාගත් මාස නමයක වටිනා කාලයට වගකින්නේ කවුද? වන්දි ගෙවන්නේ කවුද? අපට එක් පැහැදිලි සිහිකැඳවීමක් කළ හැකිය. එනම් ඊශ්‍රායල් “ගුද රුදාව” වැළඳුණු බොහෝ දෙනෙකුට උරුම වූයේ දැවැන්ත දේශපාලන පරාජයන් සහ ඉතිහාසයේ කුණුබක්කිය පමණක් බවයි. ඒ සඳහා නවතම උදාහරණ වන්නේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපතිනි කමලා හැරිස් ය. මේ ඩබල පජාත වූවා පමණක් නොව ඔවුන් නියෝජනය කළ දේශපාලන බලවේගය ද නින්දා සහගත පරාජයකට ඇද දැමූහ.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2025-07-19 16:48:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි