~

වැව් රක්ෂිත වනසන්නවුන් අතරේ දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයාත් ඉන්නවා දැයි සොයමු..!

-ෆාතිමා හලල්දීන් ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.20, ප.ව‍.8.45)  ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැව් රක්ෂිත විසි තුනක පිහිනුම් තටාක සහිත හෝටල් ඉදිකර ඇති දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මෙම පිහිනුම් තටාක සහ හෝටල් ඉදිකර ඇත්තේ පවතින නීති රීති වලට පටහැනිව බව මේ වන විට හඳුනාගෙන ඇත. මෙම ප්‍රදේශවල ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩු බලය යොදාගෙන වැව් රක්ෂිත බලහත්කාරයෙන් තමන් සතු කරගෙන මෙවැනි ඉදිකිරීම් සිදු කර ඇති බව ද අනාවරණය කර ගෙන ඇත.ඒ අදාල නිලධාරීන් ගේ ද අනීතික සහායෙනි.

වැව් විසිතුනක මායිම් සලකුණු කිරීම ඇරඹේ..

අනුරාධපුර නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය, මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව, හම්බන්තොට රිදියගම වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මඩකලපුව නවකිරිවැව, මාතර කැකණදුර ඇල්ල කන්දවැව ඇතුළු වැව් රක්ෂිත විසි තුනක රක්ෂිත මායිම් ලකුණු කිරීම සිදු කෙරේ.ඒ සඳහා වන පළමු පියවර ලෙස සියලු වැව් රක්ෂිත වල සීමා සලකුණු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ නුවර වැවේ රක්ෂිතයේ සීමාවල වාරිමාර්ග දෙපාර්තමේන්තු සලකුණ සටහන් කරමිනි.

මේ සම්බන්ධව පසුගියදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී වැඩි අවධානයක් යොමු වූ අතර එහිදී වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ  කියා සිටියේ රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදිකර ඇත්තේ හිටපු දේශපාලනඥයන් බවයි.

මෙලෙස අනවසර ඉදිකිරීම් සිදු කර තිබෙන වැව් විසි තුනේ මායිම් සැකසීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මැනුම් දෙපාර්තමේන්තුව එකඟතාවයකට පැමිණ කටයුතු කරගෙන යන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වන්දි ඉල්ලන්න එන්න එපා; වන්දි දෙන්න ඕන රජයට. තමන් වැව් තාවුල්ල අස්සට ආවට..

මෙලෙස වැව් රක්ෂිත දේශපාලනඥයින් බලහත්කාරයෙන් අල්ලාගෙන අනවසර ඉදිකිරීම් සිදු කර ඇත්තේ ඇතැම් නිලධාරීන්ගේ ද වංචනික සහාය මත බව මේ වන විට අනාවරණය වී ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ වැඩිදුරටත් අනාවරණය කළේ කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවකි.

මේ අතර කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත  ද ඉකුත් දා මේ බව අනාවරණය කොට තිබේ.ඒ බතලේගොඩ වී පර්යේෂණාගාරයේ පැවැති ප්‍රදර්ශනයකට එක් වෙමිනි.

“වැවේ මායිම වැවට දිය යුතුමයි, ඒ වැඩේට අනුරාධපුරෙන් ආරම්භ කරනවා , එතකොට වැව් තාවුල්ලේ ඉඳගෙන මෙතන අත්පුඩි ගහපු අයටත් වැවෙන් යන්න වෙනවා. වන්දි ඉල්ලන්න එන්න එපා; වන්දි දෙන්න ඕන රජයට. තමන් වැව් තාවුල්ල අස්සට ආවට, වැව් ඇතුළෙ ඉන්න අය කරුණාකරලා එළියට යන්න යවන්න කලින්.”

රාජ්‍ය ඉදිකිරීම් පළමුව ඉවත් කර ආදර්ශයක් දෙන්න..

මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක  පෙන්වා දුන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර නුවර වැව් රක්ෂිතයේ ඉදිකර ඇති මහ ඇමති නිල නිවස, ආණ්ඩුකාර නිල නිවස සේම ආබාධිත රණ විරුවන් ගේ සුව නිවහනක් වන අභිමංසල වැනි රාජ්‍ය ඉදිකිරීම් පළමුව ඉවත් කර ආදර්ශයක් ලබා දිය යුතු බවයි.ඒ අනුව රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක රාජ්‍ය ආයෝජනයක් ශූන්‍ය කිරීමට ද රජයට සිදු වනු ඇත.ඒ අනුව එම ඉදිරි ක්‍රියා මාර්ග කෙරෙහි ද ජනතාව වඩාත් සංවිභාගශීලී වනු ඇත.

ඩඩ්ලි සිරිසේනත් ලොකු නෑ..

මේ අතර ඉහත සඳහන් ආකාරයට මිනුම් ගත කිරීමක්  සිදු නොවුණ ද පොලොන්නරුව පරාක්‍රම සමූද්‍ර රක්ෂිතය ද මෙම ව්‍යසනයට පත් වෙමින් තිබේ. පොලොන්නරුව බැඳිවැව ද මේ ඛේදවාචකයට ලක් ව තිබේ.  කලක පටන් මෙම ආශ්‍රිතව මහා පරිමාණ හෝටල් මෙන්ම කුඩා පරිමාණ හෝටල් ද ඉදිව ඇත. නමුත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැව්තාවුලු අල්ලාගෙන ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවට කළ ප්‍රකාශයට අභියෝග කරමින් පෙරටුගාමී පක්ෂයේ ඉන්ද්‍රානන්ද සිල්වා  පවසනුයේ  ඩඩ්ලි සිරිසේන  පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේම  සුදු අරලිය හෝටලය ඉදිකර ඇති බවත්, හැකි නම් කයිවාරු නොගසා එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්ය. 

කෙසේ වෙතත් ඉන්ද්‍රානන්දගේ අභියෝගයට පිළිතුරු දෙමින් ලාල්කාන්ත නැවත කියා සිටියේ ඩඩ්ලි සිරිසේන වුව ලොකු නැති බවත් ඔහුගේ හෝටලය වුව ඉවත් කරන බවයි. ඉවත් කිරීමට පෙර ඉවත්ව යන්නැයි ද ලාල්කාන්ත පැවසීය.

අප රටේ මහ ජාතිය වනසනුයේ අනුන් නොව තමන්ම ය..

මෙම සියළු  වැව් රක්ෂිත තුළ  අනවසරයෙන් පදිංචිව සිටින පිරිස් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තාවක් සකස් කිරීම යහපත් දෙයක් වුවද එය හුදෙක් දේශපාලනික කටයුත්තක් නොවිය යුතු බව අප ගේ වැටහීම ය.වත්මන් ආණ්ඩුව මේ වන විටත් සිදු කරගෙන යන කලින් බලයේ සිටියවුන් ගේ වැරදි හුවා දක්වමින් සිය බලය තව දුරටත් තහවුරු කර ගැනීම මෙහි දී ද සිදු වන්නේ නම් මෙය "හොඳ දෙයක් නරකට කිරීමක්" සේ සමාජ ගත වනු ඇත. ඉහත සඳහන් පාරිසරික විනාශය දේශපාලනඥයන් විසින් කරන ලද්දක් සේම ජන වර්ග අතුරින් ඊට දායක වූ ජන වර්ගය කුමක් ද? ඉහත සඳහන් වැව් රක්ෂිත කොල්ල කෑමට මෙරට සුළු ජන කොටස් වලින් ලැබී ඇති දායකත්ව කුමක් ද? යන්න සම්බන්ධයෙන් ජනතාව තුළ නිවැරදි දැනුමක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් ය.මක් නිසා ද යත් මේ සඳහා දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී ජන කොටස් වල දායකත්වය "ශූන්‍ය මට්ටමක" තිබිය හැකි බැවිනි. 

එනිසා ඒ සම්බන්ධයෙන් විමසා බැලීම ද ඉතා වැදගත් වේ.එවිට මේ වන විටත් සමාජය පුරා පැතිර යන වඳ සැත්කම්,වඳ කොත්තු වඳ බ්‍රෙසියර් ආදී නිසරු  ප්‍රවාද හා ප්‍රලාප වලට ඉඩ නොදී මෙවන් "රට කෑමේ 'ක්‍රියාවලීනට සැබෑම දායකත්වය දෙන්නවුන් කවුරුන් ද යන්න සමාජ ගත වනු ඇත.එමෙන්ම අප රටේ මහ ජාතිය වනසනුයේ අනුන් නොව ඔවුන් තමන්ම වනසා ගන්නා බව මීට වඩා හොඳින් ඒත්තු ගැනීමට කාට කාටත් හැකි වනු ඇත.එය සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේ මතු යහපතට හේතු වන්නකි.

පාරිසරික බලපෑම් ඇගයීම තුට්ටුවකට මායිම් කරලා නෑ.. 

ජාතික පරිසර පනත සහ තවත් අණපනත් කිහිපයක් යටතේ පාරිසරික බලපෑම් ඇගයීම (EIA ) ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කර තිබේ . පාරිසරික බලපෑම් ඇගයීම මගින් යම් සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරය මත ඇති කෙරෙන බලපෑම එහි මූලික අවස්ථාවේ දී ම හඳුනා ගැනේ. එමගින් එම  ව්‍යාපෘතියෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමටත් ස්වාභාවික පරිසරයට ගැලපෙන පරිදි අදාල ව්‍යාපෘතිය සකස් කිරීමටත් අවස්ථාව සැලසේ. පාරිසරික බලපෑම් ඇගයීම මගින් නිලධාරීන්ට ව්‍යාපෘතීන් සම්බන්ධ තීරණ ගැනිමේ අවස්ථාව සලසා දෙනු ලබන අතර, එමගින් ව්‍යාපෘතියේ පරමාර්ථ වඩාත් සාර්ථකව සාධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. එමනිසා, පාරිසරික බලපෑම් ඇගයීම, සැලසුම්කරණයේ ත් අඛණ්ඩ සංවර්ධනයේත් මූලික කාර්යයක් ලෙස හැඳින්විය හැකිය.නමුත් පසුගිය කාලය තුළ ඇරඹූ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගයීම තුට්ටුවකටත් මායිම් නොකළ බව ප්‍රසිද්ධ රහසකි.

ඒ කෙසේ හෝ වත්මන් ආණ්ඩුව බාහිර බලපෑම් වලින් වැව් රක්ෂිත නිදහස් කිරීමේ ක්‍රියාවලිය "ඇඟට නොව ඔළුවටම" ගත යුත්තක් බව කිව යුතු ය.

(සේයාරුවේ දැක්වෙන්නේ ඩඩ්ලි සිරිසේන පරාක්‍රම සමුද්‍රය වැවත් අල්ලා ඉදිකර ඇති සුදු අරලිය හෝටලයයි)

-ෆාතිමා හලල්දීන්

---------------------------
by     (2025-07-20 15:30:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links