-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.20, ප.ව.9.40) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩ පිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා. මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගණනාවක් සාකච්ඡා කරලා. සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ. අපි දේශපාලනය කරමු නමුත් අධ්‍යාපනය සහ දරුවන් ඒකට ගාව ගන්න එපා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ එකි විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ දැනුවත් වන සියලු දෙනා සත්‍ය තත්වය සමාජයට ගෙනියන ලෙස ද සත්‍ය තොරතුරු සමාජගත කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සිදුකරන සංවාද, යෝජනා චෝදනා ඉතා වැදගත් බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවා ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන සියලු දෙනාම විශාල අවධානයකින් ඉන්නවා කියලා සමාජය තුළ ඇතිවෙලා තියෙන සංවාදය තුළින් පැහැදිළි වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශාල පිපාසයක් ජනතාව තුළ තිබිලා තියෙනවා. ඒ නිසා තමයි සියලු දෙනාම විවිධ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්නේ. ඒක හොඳ තත්වයක් ඒ හරහා තමයි අපිට හොඳම තැනට යන්න පුළුවන් වෙන්නේ.
අපි රජයක් හැටියට ප්‍රතිපත්ති හදන තැන ඉඳන්ම අධ්‍යාපනයට විශාල අවධානයක් දෙන පොරොන්දුවත් එක්ක තමයි අපි වැඩ කළේ. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අපේ දේශපාලන වේදිකාව තුළත් අපි කියලා තිබෙනවා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. සියලු දෙනාම පෙනී හිටියේ මේ රටේ සංවර්ධන ඉලක්ක සඳහායි නමුත් සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීම විතරක් නෙමෙයි මේ සමාජය තුළ සිදු විය යුතු වෙන්නේ. අධ්‍යාපනය තුළත් දැවැන්ත පරිවර්තනයක් සිදුවිය යුතුයි. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ පටු දැනුම දෙන පොතකට, එක විෂයකට, විෂය ධාරාවකට සීමා වෙච්ච පුද්ගලික ගමනක් ගැන විතරක් හිතන පුද්ගලයෙක් බිහි කිරීම නෙමෙයි. අපි මේ නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඊට වඩා පුළුල් මනසක් තියෙන නිදහස් චින්තනයක් ඇති, ලෝකය දිහා පුළුල් ලෙස බලන්න පුළුවන් නායකත්වයක් දෙන්න පුළුවන් මිනිසෙක්.
විෂය නිර්දේශය ගැන විතරක් හිතලා කරන වෙනසක් නෙවෙයි මේ ප්‍රතිසංස්කරණය. ඒක ව්‍යුහාත්මක වෙනස දක්වා කුළුණු පහක් තුළ මේක සකස් කරලා තියෙන්නේ. මූලික ප්‍රශ්න කිසිවක් හඳුනා ගන්නේ නැතුව ජනප්‍රිය තීරණ ගැනීමෙන් අධ්‍යාපනය මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ.
නව ප්‍රතිසංස්කරනයෙන් සිදු වන ප්‍රධානම වෙනස වැඩ ලෝකයට ඇතුල්වෙන්න පුළුවන් විදියට දරුවන් තුළ නිපුණතා සංවර්ධනය කරන එක. අපි දහවෙනි ශ්‍රේණියේ සිටම එය හදුන්වා දෙනවා. සමහරු මේ ප්‍රතිසංස්කරණය වැරදි තැනකින් අල්ලගන විවිධ චෝදනා කරනවා අසත්‍ය ප්‍රචාර කරනවා. හරියට අධ්‍යයනය කරලා මේ ගැන විවේචනය කරන්න යෝජනා ඉදිරිපත් කරන්න සංවාද ගොඩ නගන්න ඒකට අපි එකඟයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු දෙනා නව ප්‍රතිසංස්කරණය අවබෝධ කරගෙන හරි දේ ජනතාව අතරට ගෙනියන්න. දරුවන් වෙනුවෙන් මේ ඓතිහාසික කටයුත්තට සහයෝගය ලබා දෙන්න. බෙදිලා මේක කරන්න බැහැ අපි සියලු දෙනා එකතු වෙන්න ඕන.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූස්ෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනආරච්චි, සංජීව රණසිංහ, රුවන් මාපලගම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර යන මහත්වරුන් ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
---------------------------
by (2025-07-20 16:12:39)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි