-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.20, ප.ව.10.05) රජය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන නව අධාපනය ප්‍රතිසංස්කරණය පිළිබඳව තොරතුරු සමූහයක් මේ වන විට එලිදක්වා තිබේ. එම තොරතුරු සමාජගත වූයේ, අගමැතිණිය, නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිවරයා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු විවිධ පිරිස විසින් විවිධ ස්ථාන වලදී කරන ලද ප්‍රකාශ සහ පැහැදිලි කිරීම් ලෙසය.
මෙම තොරතුරු සමාජගත වීමෙන් පසුව විවිධාකාර විරෝධතා ද මතුවෙන්නට පටන් ගත් අතර, විශේෂයෙන් ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයයන් ඉවත් කිරීමක් ගැන විරෝධතා මතු විය. ඊට ප්‍රතිචාර ලෙස අගමැතිවරිය ප්‍රකාශ කළේ, එය සාවද්‍ය ප්‍රකාශයක් බවත්, අධ්‍යාපනය සහ දරුවන් දේශපාලනය කිරීමට යොදා ගැනීම නතර කරන ලෙසත් ය. (එකී පුවත මෙහි වෙනත් තැනක දැක්වේ)
දැනට එලිදක්වා ඇති තොරතුරු වලට අනුව 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට පොදු මූලික විෂය මාලාව යටතේ හැදෑරිය යුතු අනිවාර්ය විෂයයන් ගණන 5කි. ඒවා නම්, මව් බස, ඉංග්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාව, ආගම සහ සාරධර්ම අධ්‍යයනය ය. මෙම එක් එක් විෂය සඳහා ක්‍රෙඩිට් තුන බැගින් හිමි වන අතර ආගම සහ සාරධර්ම අධ්‍යයනය සඳහා පමණක් ක්‍රෙඩිට් දෙකක් හිමි වේ.
මීට අමතරව තෝරාගත් විෂයයන් 2ක් අධ්‍යයනය කළ යුතු ය. ඒ සඳහා තෝරා ගත හැකි විෂයයන් මෙසේය.
දෙවන ජාතික භාෂාව,
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,
ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය,
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, තාක්ෂණය,
භූගෝල විද්‍යාව, සෞන්දර්ය අධ්‍යාපනය,
ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය ය.
සිසුන් මෙම විෂයයන් අතරින් විෂයයන් දෙකක් තෝරාගත යුතුය. ඒ සඳහා එක් එක් විෂයට ක්‍රෙඩිට් 2 බැගින් හිමි වේ.
මේ අවස්ථාවේ දී ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයන් දෙක තෝරා ගැනීම අනිවාර්ය නොවේ. යමෙකුට ඒ විෂයන් දෙක තෝරා නොගෙන සිටීමට හැකිය. නව අධාපනය ප්‍රතිසංස්කරණය යටතේ ඉතිහාසය විෂය ඉවත් කර ඇති බවට සමාජය තුළ විරෝධාකල්ප මතු වූයේ මේ අනුවය.
මෙම විරෝධය හමුවේ අගමැතිණිය කීවේ එවැන්නක් සිදු කොට නොමැති බවය. වැඩිදුර අධ්‍යාපන විෂය මාලාවලින් විෂයයන් තෝරා ගැනීමේදී ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයයන් දෙක අනිවාර්යයෙන් තෝරා ගත යුතු බව ඇය ප්‍රකාශ කළාය.
වැඩිදුර අධ්‍යාපන විෂය ක්ෂේත්‍ර යටතේ උසස් පෙළ සඳහා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන විෂයයන් සඳහා ප්‍රවේශයක් ලබා දීමේ අවස්ථාවද මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය), මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා හෝ කළමනාකාරණය යන විෂය මාලාවලට අදාළ විෂයයන් හැදෑරීමට සිසුන්ට ඉඩකඩ ලබා දී තිබේ.
මෙම එක් එක් විෂය කාණ්ඩ යටතේ විෂයයන් තෝරා ගැනීමේදී එක් විෂය කාණ්ඩයක ඇති විෂයන් 4 ට අමතරව ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් අනිවාර්යයෙන් තෝරා ගත යුතු බව අගමැතිණිය කියයි. ඊටත් අමතරව වෘත්තීය පුහුණු එක් විෂයක් ද හැදෑරිය යුතු වේ. මේ අනුව, සිසුහු මූලික විෂය නිර්දේශය යටතේ තෝරා ගන්නා විෂයන් 7ට අමතරව තවත් විෂයන් 7ක් හදාරති. එනම් මුළු විෂයන් සංඛ්‍යාව 14කි.
නව අධාපනය ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් තවමත් සිදු වී නොමැති තත්ත්වයක් තුළ සමාජය තුළ විවිධ සැක සංකා මතුවීම අරුමයක් නොවේ.
අධාපනය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් සිදු කරන අවස්ථාවක දී, එය සිදු කළ යුත්තේ ඇයි? එහි අරමුණු සහ ඉලක්ක මොනවා ද? එමඟින් අපේක්ෂිත සමාජ ඵලයන් කවරේද ? වැනි කරුණු පිළිබඳව පුළුල් සමාජ දැනුවත් කිරීමක් සිදු විය යුත්තකි. එය රජයේ ඉටු විය යුතු බරපතළ වගකීමකි. නමුත් එය මෙතෙක් නිසි පරිදි සිදු වී නැති බව අසත්‍යයක් නොවේ.
මෙවැනි සංදර්භයක් යටතේ අධාපනයේ සිදුවන ප්‍රතිසංස්කරණයක් තුළ ඉතිහාසය යන විෂයට ඇති වැදගත්කම කුමක්දැයි විමසා බැලීම මෙම ලිපියේ අරමුණ ය.
"පොහොසත් රටක් , ලස්සන ජීවිතයක්" යන NPP යේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපනය සම්බන්ධව ප්‍රතිපත්තිය හඳුන්වාදෙමින් ලියා ඇති කොටසේ පළමුවන පරිච්ඡේදය ලියැවී ඇත්තේ මෙසේය.
" අධ්‍යාපනය යනු පැවති හා පවතින සියලු සමාජ අවධීන් විසින් නිර්මාණය කරන ලද දැනුම අත්පත් කර ගනිමින් හා බෙදාහරිමින් නව දැනුම නිෂ්පාදනය කරන සංස්කෘතික ක්‍රියාවලියකි. ශිෂ්ටසම්පන්න හා වගකීම් සහගත පුරවැසි සමාජයක පැවැත්ම හා සංවර්ධනය රඳා පවතින්නේ එම සමාජයේ ගුණාත්මක අධාපන ක්‍රියාවලිය මතයි."
මේ නිර්වචනයට අනුව නම්, ඉතිහාසය සහ සෞන්දර්ය ඉගැන්වීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තකි.
අධාපනය යනු සංස්කෘතික ක්‍රියාවලියක් නම්, අධ්‍යාපනය මගින් පරම්පරාවෙන් පරම්පරාවට සංස්කෘතිය සම්ප්‍රේෂණය කළ යුතුය. එමඟින් සිදු කරන්නේ සමාජයක ජීවිත රටා, පුරුදු, වටිනාකම්, විශ්වාස, නීති, චාරිත්‍ර, භාෂාව, කලාව, ආගම වැනි සංස්කෘතික අංග ඊළඟ පරම්පරාවකට උරුම කරදීමය. මෙය හැඳින්වෙන්නේ සංස්කෘතික උරුම කිරීමක් (enculturation) ලෙසය.
ඊළඟට, ශිෂ්ටසම්පන්න හා වගකීම් සහගත පුරවැසි සමාජයක පැවැත්ම හා සංවර්ධනය රඳා පැවැතීමට නම්, ඉතිහාසය ඉගෙනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.
ඉතිහාසය, අපට අතීතයේ සිදුවීම්, පුද්ගලයන්, සංග්‍රාමයන්, සමාජ වෙනස්කම් වැනි කරුණු ගැන දැනුම ලබා දෙයි. ඒ හරහා අපි අද ජීවත්වන සමාජය, රාජ්‍යය, සංස්කෘතිය කෙසේ සංවර්ධනය වූවාද යන්න තේරුම් ගන්නෙමු.
අතීතයේ සිදු වූ දෝෂ හඳුනාගෙන ඒවා නැවත සිදුවීම වැළැක්වීම සඳහා ද ඉතිහාසය ඉගෙනීම වැදගත් වෙයි. ඉතිහාසය කියාදෙන්නේ පුරවැසියන් ලෙස අපගේ වගකීම් මොනවාද යන්නය. ඒ අනුව අතීතයේදී වගකීම් නොතකමින් සිදු වූ විනාශකාරී සිදුවීම් (උදා: යුද්ධ, ජාතිවාදය, වංචා) දෙස බලා ඒවා හඳුනාගෙන අනාගතයේ ඒවා වැළැක්වීමට හැකියාව ලැබේ.
ඉතිහාසය තුළින් විවිධ සමාජ පද්ධති, සංස්කෘතික සම්බන්ධතා, සහජීවනය පිළිබඳව දැනගැනීමක් ලැබේ. අන් ජනකොට්ඨාශයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට, විවිධත්වය පිළිගැනීමට, සහ අවබෝධය ඇති කිරීමට එය උපකාරී වෙයි.
ඉතිහාසය අපට කියාදෙන්නේ අතීත අත්දැකීම් මඟින් ගුණාත්මක තීරණ ගන්නා ආකාරයයි. එය අධ්‍යාපනය ලබන සිසුන්ට විචක්ෂණාත්මක සිතීම, විශ්ලේෂණාත්මක හැසිරීම, සහ විචාරශීලීත්වය වර්ධනය කිරීමට උපකාරී වෙයි. මේ සියල්ල හොඳ අධ්‍යාපනයක් සඳහා අත්‍යවශ්‍යයි.
ඉතිහාසය ඉගෙනීම යනු, පුරවැසි අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයකි. එය පුද්ගලයෙකු හොඳ පුරවැසියෙකු බවට පත්කරමින්, සමාජයේ ශිෂ්ටතා සහ වගකීම් පදනමෙන් යුතු සංවර්ධනයක් සඳහා මූලික මාර්ගයක් සලසයි.
සමාජයක් ඉදිරියට යාමට, එහි පුරවැසියන් යහපත් මූලධර්මවලින් සහ යුතුකමෙන් යුතුව හැසිරිය යුතුය. ඒ සඳහා ඔවුන් අධ්‍යාපනය මඟින් පෝෂණය විය යුතුය. අධ්‍යාපනය යනු විෂය පථ සීමාවන් තුළ සීමා වූ ක්‍රියාවලියක් පමණක් නොවේ. එය පුද්ගලයකු ආකල්ප සහ සංස්කෘතික වටිනාකම් සහිතව හැඩගස්වන, සමාජයට ගරු කරන, සහ වගකීම් දන්නා පුරවැසියෙකු බවට පත් කරන සාධකයක් විය යුතුය.
උදාහරණයක් ලෙස, ඉතිහාසය ඉගෙනීම මඟින් අතීතයේ ඇතිවූ දෝෂ හා සාර්ථකතා පිළිබඳ හැදෑරීමෙන්, අනාගතයේදී වගකීම් සහගත තීරණ ගැනීම සදහා යෝග්‍යතාවයක් ලැබේ. මේ මඟින් පුරවැසියෙකුගේ විචක්ෂණය සහ විචාරශීලීත්වය වර්ධනය වේ.
අධ්‍යාපනය මඟින් දරුවන්ට කුඩා කල සිටම නීතිවලට ගරු කිරීම, සහජීවනය, විවිධත්වය පිළිගැනීම, සහ අන් අයෙකුට ගරු කිරීම ආදී මූලික සමාජ වටිනාකම් හඳුන්වා දිය යුතුයි. මෙවැනි අගයන්ගෙන් සපිරි පුද්ගලයන් රටකට ශක්තියකි. එවැනි පුද්ගලයන්ගෙන් සමාජයක් ශිෂ්ටසම්පන්න, සාමකාමී, සහ වගකීම් සහගත බවට පත්වේ.
ඒ අනුව, ගුණාත්මක අධ්‍යාපනයක් යනු සමාජයක් සඳහා ආයෝජනයක් ලෙස සැලකිය යුතුය. එය පෞරුෂත්වය වර්ධනය කිරීමේ මාර්ගයකි. විවිධ මූලික දැනුමට අමතරව, වටිනාකම් පදනම් කළ හැසිරීම් ගොඩනඟමින්, යහපත් සමාජයක් බිහිවීමට මෙය ඉමහත් දායකත්වයක් සපයයි.
අධ්‍යාපනය යනු සමාජ සංවර්ධනයේ පදනමයි. නිවැරදි, ගුණාත්මක අධ්‍යාපනයක් මඟින් පමණක් වගකීම් සහගත, ශිෂ්ටසම්පන්න පුරවැසියන්ගෙන් සමන්විත සමාජයක් බිහි කළ හැකිය. එබැවින්, සමාජය තුළ අධ්‍යාපනයට උසස් පිහිටුමක් ලබාදීම අපගේ වගකීම විය යුතුය.
අධ්‍යාපනය යනු පුද්ගලයෙකු වශයෙන් සිසුන්ව වර්ධනය කිරීමේ, සහ සමාජයට වගකීම් සහගත පුරවැසියන් බිහිකිරීමේ ක්‍රියාවලියකි. ඉතිහාසය යනු මේ සඳහා ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන විෂයයකි. එබැවින් පාසල් අධ්‍යාපනයේදී ඉතිහාසය අනිවාර්ය විෂයක් ලෙස ඇතුළත් කළ යුතුය.
අනාගතය බලා ඉදිරියට යාමට, අතීතය අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යය. එය කළ හැක්කේ ඉතිහාසය මඟිනි. ඉතිහාසය විෂයය අනිවාර්ය කළහොත්, සිසුන් විචක්ෂණාත්මක, වගකීම් සහගත පුරවැසියන් බවට පත් කරමින්, ඔවුන් සමාජ සංවර්ධනයට ගැඹුරු දායකත්වයක් ලබාදිය හැකි පුරවැසියන් බවට පත් කළ හැකිය. එබැවින්, පාසල් අධ්‍යාපන ක්‍රමයට ඉතිහාසය අනිවාර්ය අංගයක් ලෙස ඇතුළත් කළ යුතුය.
ඉතිහාසය කන්නදැයි ඇසූ නායකයන් සිටි රටක, ඔක්සිජන් කන්නදැයි අහන මිනිසුන් බිහි වූ අයුරු අපි දැක ගත්තෙමු. අග්‍රගණ්‍ය කලාකරුවෙකුව දේශපාලන නායකයෙකුට හඳුන්වා දුන් අවස්ථාවක දී, එම දේශපාලකයා "ඔබ ගොක්කොල වැඩ දන්නවා ද ?" යි ඒ කලාකරුවා ගෙන් විමසූ අවස්ථා ද ලංකාවේ තිබී ඇති බව දන්නෝ දනිති.
ඉතිහාසය සහ සෞන්දර්යය වැදගත් වන්නේ, හුදෙක් රුපියල් සහ ඩොලර් මත පමණක්ම තම ආත්මයම දියකර හරින මිනිසුන් තැනීමට නොවේ. එය වැදගත් වන්නේ මානවයාට, සත්වයාට සහ පරිසරයට ප්‍රේමයෙන් යුතුව ජීවත්වන ළතෙත් මිනිසුන් තැනීමට ය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
---------------------------
by (2025-07-20 16:39:53)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි