(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.25, ප.ව.7.00) 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට තරුණයකු බරපතළ තුවාල සිදුකිරීම හා ඊට අදාළ සාක්ෂි යටපත් කිරීම ඇතුළු චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කෙළේ ය.
මෙම නඩුව අද(25) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විත්තිකාර පාඨලි චම්පික රණවක විසින් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කර තිබෙන බවත් ඒ අනුව මෙම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම අධිකරණයට නියම කර තිබෙන බවයි.
ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටින බවත් මෙම නඩුව විභාගය සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඒ අනුව නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.
මෙහිදී විත්තිකාර චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවා දායකයාට මේ වන විට පනවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
තම සේවා දායකයාට සම්මන්ත්‍රණයක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ සිටින සිය දියණිය දැක බලා ගැනීම සඳහා එරට යාමට අවශ්‍යව තිබෙන බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මීට පෙරද අධිකරණයේ අවසරය මත විදේශගත වූ විත්තිකරු නිසි පරිදි යළි දිවයිනට පැමිණ නඩු විභාග සඳහා පෙනී සිට තිබෙන බවත් සඳහන් කර සිටියේ ය.
ඒ අනුව ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් තාවකාලිකව ලිහිල් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව විත්තිකාර චම්පික රණවක ට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියම කළේය.
(ස්තූතිය දිනමිණ)
---------------------------
by (2025-07-25 13:36:16)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි