-LeN Financial වාර්තාකරු විසින් ඉංග්‍රීසි සංස්කරණයට ලියූ ලිපියක් සිංහලට නැගුවේ චන්ද්‍රප්‍රදීප්-
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.26, ප.ව.11.30) ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුල් ජාලය විසින් වසර 15 ක කාලයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 7 කට වඩා සොරකම් කර තිබේ. ආසියාවේ සිදු වූ විශාලතම රාජ්‍ය මූල්‍ය මංකොල්ලයක් ලෙස විශේෂඥයින් දැන් විස්තර කරන මෙකී සොරකම සම්බන්ධයෙන් දැන් පුළුල් ජාත්‍යන්තර මූල්‍ය පරීක්ෂණයක් සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකකට ආසන්න මුදලකට සමාන මෙම මුදල මහජන අරමුදල්, විදේශ ආයෝජන ගලා ඒම් සහ ප්‍රසම්පාදන ගනුදෙනු වලින් ලබා ගත් මුදල් බවට චෝදනා එල්ල වේ. 2005 සිට 2015 දක්වා සහ නැවත 2019 සිට 2022 මැද භාගය දක්වා කාලය තුළ, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන නැගිටීම මධ්‍යයේ රටින් පලා යන තෙක්, රාජපක්ෂලාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩු දෙකක් තුළ මෙම සොරකම් සිදුව තිබේ.
මූල්‍ය අපරාධ පිළිබඳ දැනුමක් ඇති විමර්ශකයින් කියන්නේ මෙසේ කොල්ලකන ලද අරමුදල්, සිවිල් යුද්ධය අතරතුර උද්ධමනය වූ මිලිටරි ප්‍රසම්පාදන, සැක සහිත මාර්ග ඉදිකිරීම් වල ටෙන්ඩර්, රජයේ සෞඛ්‍ය සේවා සැපයුම් දාමය, මගනැගුම ග්‍රාමීය යටිතල පහසුකම් වැඩසටහන සහ ධීවර, ගුවන් සේවා සහ මුදල් යන අමාත්‍යාංශ හරහා ගසාකෑමට ලක් වූ බවයි.
එමෙන්ම එමිරේට්ස් සමාගම ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනාවක් ද එල්ල වේ. විමර්ශකයන් කියා සිටින්නේ එමිරේට්ස් සමාගම ඉවත් කිරීමේ පියවර ජාතික උපාය මාර්ගයකට වඩා පුද්ගලික සහ දේශපාලනික අවශ්‍යතා මත මුදල් විශුද්ධිකරණය සඳහාම සිදුකළ එකක් බවයි.
රාජපක්ෂලාගේ මූල්‍ය මාර්ග විමර්ශනයෙන් පෙනී යන්නේ ඩොලර් බිලියන 7 න් සැලකිය යුතු කොටසක්, සංචාරක ව්‍යාපාර, නැව්ගත කිරීමේ සහ සැපයුම් සමාගම්, රටවල් 18 ක් පුරා ඉහළ මට්ටමේ දේපළ වෙළඳාම් ආයතන සහ වාහන ආනයනය සහ වැවිලි කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥතාවක් ඇති ආවරණ සමාගම් රාශියක් මගින් විශුද්ධිකරණය කර ඇති බවයි. ආරංචි මාර්ග පවසන පරිදි එවැනි එක් ආයතනයක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ලීසිං සමාගමක මුවාවෙන් ක්‍රියාත්මක වන බවයි. එය "බ්‍රවුන්" ලෙස හඳුනාගෙන ඇති අතර, එය වර්ණය සම්බන්ධයෙන් නොව, නීති විරෝධී ධනය නැවැත්වීමට භාවිතා කරන සංකීර්ණ ආයෝජන ව්‍යුහයකට අයත් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, නිර්නාමිකව කතා කරමින්, රාජපක්ෂ යුගයේ මූල්‍ය ප්‍රවාහයන් විස්තර කළේ "දේශීය හා දේශසීමා හරහා මුදල් හැරවීමේ සංවිධානාත්මක පද්ධතියක් ලෙසයි, එයට පද්ධතිමය පරිමාණයෙන් දේශපාලනිකව අනුමත කරන ලද දූෂණයන් ඇතුළත් වේ."
"මෙම අරමුදල් සොරකම් කරන ලද ඒවා පමණක් නොවේ. ඒවා ක්‍රියාකාරීව විවිධ අංශවලට ඇතුළත් කර ඇති බැවින්, දේශපාලන වුවමනාවක් සහ ගෝලීය සම්බන්ධීකරණයක් නොමැතිව යථා තත්ත්වයට පත්කිරීම ද කළ නොහැකි වනු ඇත," ඔහු තවදුරටත් පැවසීය.
ලන්ඩන්, ජිනීවා සහ ඩුබායි පදනම් කරගත් වෝහාරික විගණකාධිකාරීවරුන්, (AML - Anti Money Laundering) මුදල් විශුද්ධිකරණ විරෝධී විශේෂඥයින් සහ නීති උපදේශකයින්ගෙන් සමන්විත බහු-අධිකරණ කාර්ය සාධක බලකායක් විසින් කරන ලද මූලික සොයාගැනීම් මගින් රාජපක්ෂ පවුලේ නියෝජිතයින් සමඟ බැඳී ඇති offshore trusts සහ නාමික ගිණුම් පිළිබඳ පුළුල් මූල්‍ය ජාලයක් අනාවරණය වී තිබේ.
• අග්නිදිග ආසියාවේ සහ මැද පෙරදිග හෝටල් දාමයන්
• ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානියේ වාණිජ දේපළ හිමි ආවරණ සමාගම්
• සයිප්‍රසයේ සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වල විවිධ සම්පත්
• ඩුබායි පදනම් කරගත් ගුවන් සේවා සපයන්නන්ගේ සහ නැව් කල්බදු සමාගම්වල ප්‍රකාශ නොකළ කොටස්
එම වත්කම්වලට ඇතුළත් වේ.
එපමණක් නොව, සීනි ආනයනය, පෞද්ගලික කල්බදු, බැංකු සහ කෘෂි ව්‍යාපාරවලට සම්බන්ධ ව්‍යාපාර ද දැන් රාජපක්ෂ අවශ්‍යතාවලට සම්බන්ධ ප්‍රාග්ධනය ලබා ගැනීම් පිළිබඳව ද පරීක්ෂාවට ලක් කෙරේ. මෙම වසර මුලදී කොළඹදී සම්මත කරන ලද නීතිවිරෝධීව උපයාගත් වත්කම් පවරා ගැනීමේ පනතේ නව නීති යටතේ, වංචා කරන ලද මහජන අරමුදල්වලින් ලැබුණු බවට සොයා ගන්නා ඕනෑම පුද්ගලයෙකු සතු හෝ ආයතනයක් සතු හෝ වත්කම් අත්පත් කර ගැනීමට, අයකර ගැනීමට අපරාධමය නඩු පැවරීමට හැකිය.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) සහ ඉන්ටර්පෝල් හි මූල්‍ය අපරාධ ඒකකයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ අලුතින් පත් කරන ලද වත්කම් යළි අයකරගැනීමේ කොමිසම (Asset Recovery Commission -ARC) විසින් SWIFT ගනුදෙනු වල දත්ත, ආයතනික ලේඛන සහ දේශසීමා අතර අරමුදල් හුවමාරු කිරීම් හරහා නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන් සොයා ගැනීම ආරම්භ කර ඇත. ෆිනෑන්ෂල් ටයිම්ස් විසින් හෙළිකළ රහස්‍ය වාර්තාවක් අනුව රාජපක්ෂ ඥාතීන්ට සහ ඔවුන්ගේ සහායක ව්‍යාපාරිකයන්ට සම්බන්ධ විදේශීය දේපළවලට එරෙහිව නඩු පැවරීම සඳහා මාර්ග සිතියමක් ගෙනහැර දක්වයි.
“අපේ අදහස නඩු පැවරීම පමණක් නොව, සොරකම් කරන ලද එකී වත්කම් නැවත මෙරටට ගෙන්වා ගැනීමයි” වත්කම් යළි අයකරගැනීමේ කොමිසම ට සමීප නිලධාරියෙක් පැවසීය. “ශ්‍රී ලාංකික බදු ගෙවන්නන්ට ඔවුන්ගේ මුදල් ආපසු ලබා දීමට අවශ්‍ය වන අතර, එය විදේශීය අධිකරණ බල ප්‍රදේශවල බරපතල සහයෝගීතාවයකින් තොරව සිදු කළ හැකි දෙයක් නොවේ.”
දැනටමත්, වෝහාරික විගණන මගින් ඩුබායි, ක්වාලාලම්පූර් සහ සූරිච් හි පිහිටි වාණිජ බැංකුවල සැක සහිත ගනුදෙනු සලකුණු කර ඇති අතර, ඒවායින් බොහොමයක් නයිජීරියාවේ සහ මැලේසියාවේ මීට පෙර මෙවැනි 'ක්ලෙප්ටොක්‍රසි මූල්‍ය විමර්ශන' වලදී භාවිතා කරන ලද ක්‍රමවලට සමාන ය.
කෙසේ වෙතත්, සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීමේ උත්සාහයන් සැලකිය යුතු දේශීය ප්‍රතිරෝධයකට මුහුණ දෙයි. ශ්‍රී ලංකාවේ නිලධාරිවාදයේ සහ මූල්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් - ඔවුන්ගෙන් සමහරක් රාජපක්ෂ හෙංචයියන් ලෙස තවමත් ක්‍රියා කරති. ඔවුන් විසින් විමර්ශනවලට බාධා කිරීම සේම සාක්ෂි විනාශ කිරීම ද සිදුකර ඇතැයි වාර්තා වේ.
2022 ජූලි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට දින කිහිපයකට පෙර 2006 සහ 2009 අතර හමුදා ප්‍රසම්පාදනයට අදාළ ලේඛන ආරක්ෂක අමාත්‍යාංශයේ ඩිජිටල් ලේඛනාගාරයෙන් මකා දමා හෝ ඉවත් කරන ලද බව වාර්තා වේ.
රාජපක්ෂ යුගයේ වෙළඳ දැන්වීම් වලින් ප්‍රතිලාභ ලැබූ බලගතු මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍ය සමාගම් විසින් රාජපක්ෂ පවුල් ජාලයේ මෙකී දැවැන්ත සොරකම පිළිබඳ මහජන කතිකාව අඩපණ කිරීමට උත්සාහ කරන බව ද පෙනී යයි.
මෙම විමර්ශනයේදී මතුවන වඩාත්ම මතභේදාත්මක නම විය හැක්කේ "බ්‍රවුන්" ලෙස සංකේතාත්මක වචන වලින් බොහෝ විට හඳුන්වනු ලබන පුළුල් සමාගම් ජාලයක නම විය හැකිය. කෘෂිකර්මාන්තය සඳහා මුලින් ප්‍රසිද්ධ වූ මෙම ජාලය මෑත වසරවලදී වාහන කල්බදු ලීසිං සමාගම්, වාණිජ නැව්ගත කිරීමේ සමාගම් සහ වැවිලි සමාගම් ලෙස වේගයෙන් වර්ධනය වී ඇති අතර, එහි අනුබද්ධිත සමාගම් කිහිපයක් නීති විරෝධී අරමුදල් වල චලනයන් සමඟ සමපාත වන ආකාරයේ අඳුරු මූල්‍ය ගණුදෙනු වලට සම්බන්ධ වී ඇත.
"තවමත් දුම් දමන තුවක්කුවක් නැත," යි මෙවැනි විමර්ශන ගැන හුරුපුරුදු ජාත්‍යන්තර නීති විශ්ලේෂකයෙක් පැවසීය. "නමුත් මෙම ආයතන බොහොමයක් දේශපාලනිකව නිරාවරණය වූ පුද්ගලයා (රාජපක්ෂලා) පොහොසත් කිරීමේ වැඩ කටයුතු වල නිරත වූ බව පේනවා. එනම් එම ආයතනයන්හි පැහැදිලි කළ නොහැකි වේගවත් වර්ධනය, එතරම් ණය ගැනීමේ හැකියාවක් නොමැති වීම සහ දේශසීමා අතර සිදුකළ ඔවුන්ගේ ප්‍රාග්ධන හුවමාරුවීම් සමග සමපාත නොවන ඔවුන්ගේ ප්‍රකාශිත ආදායම් ආදිය වෙනවා."
මෙම සම්බන්ධතා ඔප්පු වුවහොත්, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ රාජපක්ෂ ධනය මුල් බැස ගත් දැවැන්ත යටි ප්‍රවාහයක් හෙළි කර ගත හැකි අතර, වත්කම් නැවත ලබා ගැනීමට නම් ඊටත් වඩා දේශපාලනික වුවමනාවක් අවශ්‍ය වේ.
ජාත්‍යන්තර සුපරීක්ෂාකාරිත්වය වර්ධනය වීමත් සමඟ, ප්‍රශ්නය වන්නේ රාජපක්ෂලා මුදල් සොරකම් කළා ද යන්න නොවේ, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන නායකත්වයට එය නැවත ලබා ගැනීමට අධිෂ්ඨානයක් තිබේද යන්නයි.
දශක ගණනාවක් තිස්සේ, රණවිරුවන් සහ මහා සංවර්ධනයක් කළ වුන් ලෙස සමහරුන් විසින් රාජපක්ෂලා ගෞරවයට පාත්‍ර කරන ලදී. නමුත් රාජපක්ෂලාගේ මුල් බැසගත් දූෂණය, නිදන්ගත වැරදි කළමනාකරණය සහ ඩොලර් බිලියන ගණනක පාවාදීම හමුවේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටී, ණය ගෙවා ගත නොහැකි බංකොලොත් වූ රටක් බවට රට ඇද වැටුණු විට ශ්‍රී ලාංකිකයන්ගේ නව පරම්පරාව දැන් රාජපක්ෂ පවුලේ උරුමය දකින්නේ අඳුරු කාචයකිනි.
වත්කම් යළි අයකරගැනීමේ කොමිසම (ARC) විසින් ජාත්‍යන්තර අධිකරණ ඉදිරියේ සොරාගත් වත්කම් වලට හිමිකම් පෑමේ නඩු ගොනු කිරීමට සූදානම් වන විට, සියලු දෙනාගේම ඇස් යොමු වන්නේ මෙම කුඩා දූපත් ජාතියෙන් සොරාගත් දේ යළි ආපසු ලබා ගැනීමට සහ යම් ප්‍රමාණයකට හෝ යුක්තිය නැවත ලබා දීමට ඇති හැකියාව කෙරෙහි ය.
ප්‍රවෘත්තිය වීඩියෝවකින් පහතින්
---------------------------
by (2025-07-27 19:35:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි