~

ජනපති අනුර මාලදිවයිනට..! උණුසුම් පිළිගැනීමක්..!! එහිදී අනුර කළ සම්පූර්ණ නිල ප්‍රකාශය මෙන්න..!!!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.28, ප.ව‍.11.00) ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිස අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත  ලඟා වූහ. 

මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ සිදු වූ පිළිගැනීමේ අවස්ථාවට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු ද සහභාගි වී සිටියේය.

පසුව ගුවන් තොටුපොළහි විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී කුඩා දැරියන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද අලංකාර සංස්කෘතික නර්තනයක්ද පැවැතියේ ය.

ඉන්පසුව පස්වරුවේ මාලේ අගනුවර ජනරජ චතුරශ්‍රයේදී පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්විණ. 

අනතුරුව පස්වරුවේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු සමඟ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වින. එය පැවැත්වුනේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ දී ය.

සාකච්ඡාවෙන් පසුව, දෙපාර්ශ්වය අතර අත්සන් තැබුණු ගිවිසුම් දෙකක් හුවමාරු කර ගනු ලැබිණි. එම ගිවිසුම් වනුයේ දෙරට අතර අන්‍යෝන්‍ය නීති අධාර පිළිබඳ ගිවිසු‍ම සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ ශ්‍රී ලංකාවේ  බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) අතර වූ අවබෝධතා ගිවිසුමයි.

ඉන් අනතුරුව, මෙම රාජ්‍ය සංචාරයේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූහ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මාධ්‍ය වෙත සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

2025 ජූලි 28 වැනි දින
අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි,
ගරු අමාත්‍යවරුනි,
සම්භාවනීය අමුත්තනි,
නෝනාවරුනි මහත්වරුනි,
ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

ආයුබෝවන්, අස්සලාම් අලෙයික්කුම්, සුබ සන්ධ්‍යාවක් වේවා!

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා, සුහද හවුල්කාරිත්වය, සමීප මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාව සංකේතවත් කරන මාගේ පළමු මාලදිවයින් රාජ්‍ය සංචාරයේදී මාලේ නුවර වෙත පැමිණීමට ලැබීම සැබැවින්ම සතුටක්. මෙම සංචාරය අප දෙරට අතර පවතින සම්බන්ධතාවට නව උද්‍යෝගයක් සහ ශක්තියක් එක් කරන බව මා විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ 60 වැනි සංවත්සරය සමරන මෙම වැදගත් අවස්ථාවේදී මාලදිවයින වෙත කෙරෙන මගේ සංචාරය අමතර වැදගත්කමක් උසුලනවා.

මට සහ මගේ නියෝජිත පිරිසට ලැබුණු ආරාධනය සහ උණුසුම් පිළිගැනීම වෙනුවෙනුත් ආගන්තුක සත්කාරය වෙනුවෙනුත් අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට මාගේ අවංක කෘතඥතාව පළ කරනවා.

ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සියවස් ගණනාවක් පුරා දිවෙන දිගුකාලීන සබඳතා පවත්වාගෙන යනවා. ඉන්දියානු සාගරයේ පිහිටි අපගේ රටවල් දෙක, පුරාණ සාමුද්‍රීය වෙළෙඳ මාර්ග සහ පොදු ඉතිහාසයක් සමඟ ඇති අපගේ සම්බන්ධතාවලින් පොහොසත් වී තිබෙනවා.

මීට සුළු වේලාවකට පෙර, ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් හා එක්ව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳව පුළුල් සමාලෝචනයක් කළ අතර අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා.

සෑම විටම ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ථිරසාර සහයෝගය වෙනුවෙන් මම ජනාධිපති මුයිසු මැතිතුමාට සහ මාලදිවයින් රජයට ස්තුතිවන්ත වනවා.

අපගේ ජනතාවගේ පොදු යහපත පිණිස අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ අපගේ සම්බන්ධතාව විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා හඳුනාගත්තා.

ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට මාලදිවයිනේ රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් මා ජනාධිපති මුයිසු මැතිතුමාට ස්තූතිවන්ත වනවා. මාලදිවයින් ආර්ථිකයට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය ලැබෙනු දැකීම සතුටක්. ඒ හා සමානව, ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයන් ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබා දෙන දායකත්වය අප අගය කරනවා.

ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශක්තිමත් හවුල්කාරිත්වයක් තිබෙනවා. වසර ගණනාවක් පුරා මාලදිවයින් සිසුන්ට සහ වෘත්තිකයන්ට අධ්‍යාපනය ලබාදීමේදී අප ශ්‍රී ලාංකිකයන් ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා මෙම ක්ෂේත්‍රයේ තවදුරටත් සහයෝගීතාව ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළා.

දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන කෙරෙහිද අප අවධානය යොමු කළා.

මාලදිවයින් ආයෝජකයන්ට සැමවිටම තම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව මා ප්‍රකාශ කරනවා.

ආයෝජකයන්ට සහය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට සකස් කරමින් පවතින එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රනය සහ ආයෝජකයන් තවදුරටත් දිරිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීමේ යෝජනා ක්‍රම පිළිබඳව මා ජනාධිපති මුයිසු මැතිතුමා දැනුම්වත් කළා. ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂණික උද්‍යාන පිළිබඳවද මා එතුමාට විස්තර කළා. ඒවා ආයෝජකයන්ට හිතකර සහ නිෂ්පාදන-විශේෂිත කාර්මික කලාප වන අතර, මාලදිවයින් ආයෝජකයන්ට එම කලාපවල ආයෝජනය කිරීමට කටයුතු කළ හැකියි.

තවද, මාලදිවයින් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ/කෘත්‍රිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක හා විවේක, දේපළ වෙළෙඳාම් සහ නාගරික යටිතල පහසුකම් යනාදි අංශවල ආයෝජනය කරන ලෙසට මා ආරාධනා කළා.

ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

සංචාරක ව්‍යාපාරය අපේ රටවල් දෙකේම ප්‍රධාන ආර්ථික සාධකයක්. මෙම පසුබිම තුළ, සංචාරක අංශයේ සහයෝගීතාව පිළිබඳවද අප අදහස් හුවමාරු කර ගත්තා. විශේෂයෙන්ම ගුවන් සම්බන්ධතාව වැඩි දියුණු කිරීමෙහිලා ගුවන් සේවා සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ මාර්ගද අප සාකච්ඡා කළා.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මෙන්ම තරුණ බලගැන්වීම සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව අප අදහස් හුවමාරු කරගත්තා.

ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයන් ලෙස, ධීවර හා සාගර අංශයේ ඇති විශාල විභවය අප හඳුනා ගත්තා. නව්‍ය හා තිරසර ධීවර පිළිවෙත්වල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව අප සාකච්ඡා කළා. මාලදිවයින් මුහුදු සීමාව ඔස්සේ ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවලට බාධාවකින් තොරව අරාබි මුහුදට ප්‍රවේශ වීම සඳහා සංක්‍රමණ මාර්ග ඇතිකර ගැනීම පිළිබඳවද අප අදහස් හුවමාරු කරගත්තා.

ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

ශ්‍රී ලංකාව සහ මාලදිවයින පරිසරය ආරක්ෂා කරගැනීමට දැඩි ලෙස කැපවී සිටිනවා. ශ්‍රී ලංකාව සහ සමස්ත ශ්‍රී ලාංකික සමාජය තිරසර ලෙස ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා සමාජ සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන ප්‍රධාන අංග තුන හරහා ක්‍රියාත්මක වන 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන මගේ රජය ආරම්භ කර තිබෙනවා. මා ඒ පිළිබඳව ජනාධිපති මුයිසු මැතිතුමා දැනුම්වත් කළා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ‘Maldives Clean Environment’ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මා ජනාධිපති මුයිසු මැතිතුමාට ප්‍රශංසා කළා. දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අභියෝගයට මුහුණ දීම සඳහා දැරිය යුතු පොදු උත්සාහයන්වල වැදගත්කම අප හඳුනාගත්තා.

2030 වසර වන විට සිය විදුලියෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරනවා. මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ අරමුණින්, අප දෙරට අතර පුනර්ජනනීය බලශක්ති අංශයේ ශක්තිමත් සහයෝගීතාවක් ඇති කර ගැනීමට මා යෝජනා කළා.

ආරක්ෂක, ආරක්ෂණ සහ ත්‍රස්ත විරෝධී යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කරගැනීම පිළිබඳවද අප අදහස් හුවමාරු කර ගත්තා.

ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ශක්තිමත් සංස්කෘතික බැඳීම් තිබෙනවා. අපගේ භාෂාවල කැපී පෙනෙන සමානකම් ඇති අතර, සිංහල සහ දිවෙහි යන භාෂා දෙකම එකම මූලයකින් උපන් භාෂා. පුද්ගල-පුද්ගල සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, අපගේ සාකච්ඡා සංස්කෘතිය හා උරුමය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළා.

කලාපීය සහ බහුපාර්ශ්වික සහයෝගීතා ක්ෂේත්‍රය තුළ, මාලදිවයින ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය මා අගය කළ අතර, මාලදිවයිනට ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාදෙන බවට සහතික වුණා. අපගේ රටවල් දෙකම විවිධ ජාත්‍යන්තර සංවිධානවල නිරන්තරයෙන් එකිනෙකාට සහය දක්වා තිබෙනවා. එම සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යෑමට අප කැපවී සිටිනවා.

දෙපාර්ශ්වයටම පහසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට මා අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට ආරාධනාවක්ද කළා.

ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

මාගේ සංචාරය අතරතුරදී මා ව්‍යාපාරික සංසදයක් ඇමතීමටද මාලදිවයිනේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිතයි.

අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි, මට සහ මගේ දූත පිරිසට ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරවලට නැවත වරක් ඔබටතුමාට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

මාලදිවයින සමඟ ඇති සහයෝගීතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව මා යළිත් කියා සිටිනවා. ඉදිරි වසරවලදී එම සහයෝගය තවදුරටත් ශක්තිමත් වන බව නිසැකයි.

ස්තුතියි! ශුකුරියා!

---------------------------
by     (2025-07-28 17:38:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links