~

X-Press Pearl සිද්ධියේ දී ජනතාවගේ මූලික අයිතිවාසිකම් කැඩූ නිළධාරීන් තවමත් නිදැල්ලේ..! වහා දඬුවම් දෙන්න..!

-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.29, ප.ව‍.8.45) ශ්‍රී ලංකාවේ විශාලම සාගර පරිසර විපත්තිය ලෙස ඉතිහාසගත වූ එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාව ගිණි ගැනීම සිදු වූයේ 2021 මැයි මාසයේ දී ය.

ශ්‍රී ලංකා වෙරළ ආසන්නයේ ගිණි ගැනීමෙන් පසු ගිලීගිය මෙම නෞකාව හේතුවෙන් ඇති වූයේ දරුණු පරිසර හානියකි. එය මුදලින් මිනිය නොහැකි තරම් පරිසර විනාශයක් බව නොකිවමනා ය.

මෙම මහා අපරාධය වෙනුවෙන් වන්දි ලෙස පළමු වටයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් මුදල වූයේ  ඇ. ඩො. මිලියන 2.5 ක් වැනි සොච්චමකි. මෙම වන්දිය, අදාල නෞකාවෙන් සිදුවූ පරිසර හානියට හා ආර්ථික අලාභයට අලගු තියන්නටවත් නොහැකි බව විශේෂඥයන් පෙන්වා දුන්හ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය..

කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි මාලාවකට ප්‍රතිචාර වශයෙන් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කළේය.

එම නියෝගයට අනුව, 2021 ජුනි මාසයේදී කොළඹ වෙරළට ඔබ්බෙන් ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදූ වූ පාරිසරික හා ආර්ථික හානිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දියක් නෞකාව අයත් සමාගම විසින් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතුය.

පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කරන ලද මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළ, වන්දි ගෙවීමට අමතරව ඉතා වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් විය. එනම්, හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුළු බලධාරීන් මෙම ඛේදවාචකය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව ය.

නාලක ගොඩහේවා, එවක නීතිපතිවරයා ඇතුළු බලධාරීන් 

රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව අධිකරණ තීන්දුවේ සඳහන්, එවකට සිටි වගකිවයුත්තෝ වන්නේ නීතිපතිවරයා සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සභාපතිනිය ඇතුළු අදාළ බලධාරීන් ය.  මෙම ව්‍යසනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ නොසැලකිල්ල අනතුරේ බලපෑම තවත් උග්‍ර කළ බවත් සොයා ගන්නා ලද බවත් එහි සඳහන් විය.

2021 මැයි 19 වන දින කොළඹට ඔබ්බෙන් රඳවා තිබූ නෞකාව තුළ ඊළඟ දිනයේ දී ගින්නක් ඇති විය. ගින්න දින 13 ක් පැවතුන අතර, එය රට තුළ වාර්තා වූ දරුණුතම පාරිසරික ව්‍යසනයක් ඇති කළේය. 2021 ජුනි 17 වන දින නෞකාව වෙරළේ සිට නාවික සැතපුම් 9.5 ක් පමණ දුරින් ගිලී ගියේය.

නයිට්‍රික් අම්ලය ටොන් 25 ක් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සහ ආලේපන සහිත බහාලුම් 1,486 ක් මෙම ගිණි ගෙන ගිලී ගිය නෞකාවේ තිබිණි.

මෙම සිදුවීම සාගර පරිසර පද්ධතියට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරමින් මුහුදට විෂ සහිත ද්‍රව්‍ය කාන්දු වීමට හේතු විය. දහස් ගණනක් මාළු, කැස්බෑවන්, ඩොල්ෆින් සහ තල්මසුන් පවා මිය ගොස් වෙරළට ගසාගෙන පැමිණ තිබුණි.

කැස්බෑවන් 417 ක්, ඩොල්ෆින් 48 ක්, තල්මසුන් 8 ක්..

මෙම ව්‍යසනය හේතුවෙන් කැස්බෑවන් 417 ක්, ඩොල්ෆින් 48 ක්, තල්මසුන් 8 දෙනෙකු සහ සිද්ධියෙන් පසු වෙරළට ගසාගෙන ආ මත්ස්‍ය විශේෂ විශාල සංඛ්‍යාවක් මිය ගිය බව විනිසුරුවරු පැවසූහ. ප්ලාස්ටික් බෑග් සෑදීමට භාවිතා කරන ප්ලාස්ටික් පෙති ටොන් කිහිපයක් ඇතුළුව නෞකාවේ සුන්බුන් වෙරළ තීරයන්හි දැඩි දූෂණයට හේතු විය.

"මෙම සාගර පාරිසරික ව්‍යසනය ලොව වාර්තාගත විශාලතම සාගර ප්ලාස්ටික් කාන්දුවයි," යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය.

එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාව ගිණි ගැනීම සිදු වූ පරිසර සහ ආර්ථික ව්‍යසනය වළක්වා ගැනීමටත්, ඉන් පසුව ඊට  සරිලන වන්දියක් ලබා ගැනීමටවත්, එවකට පැවැති ආණ්ඩුවේ දේශපාලකයන් මෙන්ම එවකට අදාල ආයතන වල සිටි රාජ්‍ය නිළධාරීන් ද තමන්ගේ රාජකාරි වගකීම් සහ යුතුකම් ඉටුකර නැති බව ඉතාම පැහැදිලිය. ඇතැම් දේශපාලකයන් මෙන්ම නිළධාරීන් ද මේ ව්‍යසනය තම සාක්කු ඩොලර් වලින් පුරවා ගැනීම යොදා ගෙන ඇති බවට ඊට ටික කලකට පසුව පාර්ලිමේන්තුව තුළ ද අදහස් මතු විය.

ව්‍යසනය වසන්තයක් කර ගත්තා..

නැව් සමාගමට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද කිරීම, නඩුව සිංගප්පූරුවට රැගෙන යාම, නිවැරදි ලෙස වන්දි තක්සේරු නොකිරීම යනාදී එකී නොකී සියල්ලෙන්ම පැහැදිලි වූ කරුණ වන්නේ මේ ව්‍යසනය වසන්තයක් කර ගැනීමට දේශපාලකයන් මෙන්ම නිළධාරීන් ද ක්‍රියා කර ඇති බවය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පැහැදිලි කාරණයක් තිබේ. එනම්,මෙම ව්‍යසනය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ හා එහි ප්‍රතිඵලයක් ලෙස අදාල අනතුරේ බලපෑම තවත් උග්‍ර කළ බව ය. ඒ අනුව දැනටත් රාජ්‍ය සේවයේ සිටින හෝ නොසිටින එකී නිළධාරීන්ට එරෙහිව මේ රජය විසින් නීත්‍යානුකූලව පියවර ගැනීම කළ යුත්තකි.

අප දන්නා ප්‍රමාණයට, මෙම එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාව ගිණි ගැනීමෙන් සිදු වූ පරිසර සහ ආර්ථික ව්‍යසනය වළක්වා ගැනීමටත්, පරිසර හානියට සරිලන වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී ප්‍රමාණවත් පියවර නොගැනීමටත් ක්‍රියා කළ ඇතැම් පුද්ගලයන් මේ රජය යටතේ ද සාගර සම්පත් සුරකින ආයතනවල ප්‍රධාන තනතුරු උසුලයි.

මෙවැනි නිළධාරීන් මේ මොහොතේත් සිදු කරමින් සිටින වගකීම් විරහිත ක්‍රියාවන් හේතුවෙන් සාගර සම්පත් සංරක්ෂණය කෙසේ වෙතත්, ඒවා විනාශ කිරීමට දායක වෙමින් සිටින බවද පෙනේ. 

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කරුණු ගැන අවධානය යොමු කොට මේ ආණ්ඩු⁣ව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

-සුනිල් ගාමිණී ජයලත්ගේ

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106

---------------------------
by     (2025-07-29 15:25:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links