කිසිවෙකු බ්ලැක්මේල් කළාදැයි සැකයක්...
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.29, ප.ව.9.25 -දෙවන සංස්කරණය ප.ව.11.00) සමගි ජන බලවේගය නියෝජනය කරමින් යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ලෙස කටයුතු කරමින් සිටි චම්පික නිලන්ත විජේරත්න (52) සිය බිරිඳ(44) සහ ලොකු දුව (17) ඝාතනය කර ඔහු ද ගෙල වැල ලා ගනිමින් සිය දිවි නසාගෙන ඇතැයි මේ වන විට හෙළිවී තිබේ.
සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියත් අද (29) අළුයම් කාලයත් අතරතුර කාලයේදී පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න ප්‍රදේශයේ ඔහුගේ දෙමහල් නිවස තුල දී ය.
මරණ ප්‍රථමයෙන් දැක ඇත්තේ නිවසේ උඩු මහලේ සිටි බාල දියණිය (11) උදේ අවදි වීමෙන් පසුව ය. බාල දියණිය ඊට පෙර දින පාසැලේ අධ්‍යාපන චාරිකාවකට සහභාගී එදින රාත්‍රී පාසැලෙන් නිවසට කැඳවා ගෙන ඇත්තේ ද මරණකරු චම්පික නිලන්ත විසින්ම ය.
බිරිඳට සහ වැඩිමහල් දියණියට නොදැනෙන ලෙස නිදි බෙහෙත් දී නින්දට වැටුණු පසු වයරයකින් ගෙලවල් සිරකර මරා දමා ඇති බව මේ වන විට හෙළි වී තිබේ. බාල දියණියට ද නිදි බෙහෙත් දී ඇති නමුත් ඇයට නින්ද ගොස් නැත. ඇය අවදියෙන් බව දැන පසුව අදහස වෙනස් කර ඇය අතහැර ඔහු නිවසින් පිටත කණුවක ගෙල වැල ලා ගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණ වල දී මේ වන විට හෙළි වී ඇත.
බාල දියණිය පොලීසියට පවසා ඇත්තේ පියා තමන්ටත් යම් පෙති වර්ගයක් පානය කිරීමට ලබාදුන් බවය. අලුයම් කාලයේ තම ගෙල සිරවන බවක් දැනීමෙන් අවදි වූ තමාට, වයරක් අතැතිව සිටින පියා දැකගැනීමට හැකිවූ බවත් ඒ අවස්ථාවේ පියා තමාව බදාගනිමින් හැඬූ බවත් බාල දියණිය පොලිසිය හමුවේ පවසා තිබේ.
ඉන්පසු පියා නාන කාමරයට යන බව පවසා පිටව ගොස් ඇති අතර මදවේලාවකට පසු ගෙරවිලි ශබ්දයක් තමාට ඇසුණු බවත්, එහි ගොස් බැලීමේදී පියා එල්ලී සිටින ආකාරය දැකගන්නට ලැබුණු බවත් බාල දියණිය පවසා ඇත.
ව්‍යාපාරිකයෙකු වූ චම්පික නිලන්ත ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 50 ක් පොලියට ලබාගෙන තිබී ඇත. පසුව ණය සහ පොලිය එකතු වී ගෙවා ගැනීමට නොහැකි තරමට පත් වී ඇති අතර ණය හිමියා නිතරම ණය ඉල්ලමින් තර්ජනය කර ඇතැයි වාර්තා වේ. චම්පික නිලන්ත මෑතක දී ඔහු සතු වෑන් රියක් විකුණා රුපියල් ලක්ෂ 15 ක් ණය හිමියාට ගෙවා තිබේ. නමුත් එය ප්‍රමාණවත් වී නැත. සිද්ධියෙන් දැඩි මානසික පීඩනයකින් පසුවූ ඔහු අවසානයේ මේ ව්‍යසනය සිදුකර ඇත. දිය දිවි නසාගැනීමට පෙර සියළු කාරණා හෙළිකරමින් ඔහු ලිපියක් ලියා තබා ඇත.
පිටු 4 කින් සමන්විත එම ලිපියේ මෙසේ සඳහන්ව තිබේ ''විජේසිංහ උඹට ශාප වේවා..මට මරණ තර්ජනය කරලා ගේ විකුණන්න බැරිනම් උඹව මරනවා කියලා හැම වෙලාවේම තර්ජනය කරනවා. දුවගේ ස්කෝලේ ළඟට ඇවිත් දවසක් දුව ළඟ ඉන්නකොට කොලරයෙන් අල්ලා ගෙදර ඇවිල්ලා අත්සන් කරන්න කියනවා.මට අත්සන් කරන්න බෑ කිව්වාම යකඩෙකින් ඔළුවට ගැහුවා. තවමත් නළලට උඩින් ඒ කැළල තියෙනවා."
මේ අතර නිලන්තගේ අයියාගේ දියණියක මාධ්‍යයට පවසා ඇත්තේ සිය බාප්පා ණය අර්බුදයක සිටිය බව දන්නා බවත් ඔහුව කිසියම් බ්ලැක්මේල් කිරීමකට ලක් කරන්නට ඇතැයි සැක කරන බවයි.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වීමට පෙර ඔහු එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි. පසුව ඔහු සමගි ජන බලවේගයට එක් වී තිබේ. තමා පත් වී ඇති තත්ත්වය ගැන සජබ නායකත්වයට ද කිහිප වරක් දන්වා ඇති නමුත් ඉනුත් කිසිදු පිහිටක් නොලැබුණු තැන ඔහු මේ තත්ත්වයට පත්වන්නට ඇතැයි සමීප අය පවසති.
පේරාදෙණිය පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදුකරන අතර දේහයන් පේරාදෙණිය රෝහලට බාර දී ඇත.
ශ්‍රී ලංකාවේ යම් අයෙකුට සිය දිවි නසා ගැනීමට සිතේ නම් ඊට පෙර 1926 අංකයට අමතන්න. ඔවුන් ඔබට සිය දිවි නසාගැනීමෙන් තොර විසඳුමක් දෙනවා නිසැක ය.
---------------------------
by (2025-07-29 18:24:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි