-අසේල කුරුළුවංශ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.30, ප.ව.11.45) යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත ඔහුගේ බිරිය හා 17 හැවිරිදි දියණිය ඝාතනය කර සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. ඒ ඔහු මේ ඝාතන සිදුකර සියදිවි හානි කරගන්න පෙර ලියා තැබූ පිටු හතරක ලිපියක් හමුවීමත් සමඟය. පොලිස් නිලධාරීන්ගේ ද නම් එහි සඳහන් කර තිබීම හේතුවෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂනයක් කරන්නැයි මහජන ආරක්ෂක ඇමැති විජේපාල පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. එහිදී අධිකරණ වෛද්‍යවරුන් මේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ඔවුන්ගේ ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
වසර 23කට පමණ ඉහත දී චම්පික දිල්රුක්ෂි හා විවාහ වූයේ දරුවන් හදාගෙන ජීවිතය සතුටින් ගෙවා දැමීමේ අරමුණිනි. සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියන් දෙදෙනකුට පසුව පවුලේ බාලයා ලෙස මෙලොව එළිය දුටු චම්පික දේශපාලනයට පිවිසෙන්නේ 1997 වසරේ දී පළාත් පාලන මැතිවරණයට තරග කරමිනි. එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් වූ මවුපියන්ගේ මඟ යමින් එම පක්ෂයෙන්ම දේශපාලනයේ අත්පොත් තැබූ ඔහු ඉහළ මනාප ප්‍රමාණයක් ලබා ගනිමින් යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස තේරී පත්විය. ඉතාම කෙටි කාලයක දී ජනතාවාදී දේශපාලනඥයකු ලෙස ඔහු ඉස්මතු වන්නේ හොර, බොරු, වංචාවලින් තොරව දේශපාලනයේ නිතරවීම නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේ දී යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත්වන චම්පික කිසිම භේදයක් නැතිව ජනතාවට සේවය කළ බව ප්‍රදේශවාසීහු පවසන්නේ ඔහු කළ සේවාව සිහි කරමිනි.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස 1997 සිටම තම අසුන රැකගත් චම්පික පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී යටිනුවර ආසනයේ බොහෝ කොට්ඨාස ජාතික ජනබලවේගය විසින් ජයග්‍රහණය කරද්දී තමන් නියෝජනය කළ කොබ්බෑකඩුව කොට්ඨාසය වැඩි ඡන්ද 24කින් ජයග්‍රහණය කළේය. ඇස් දෙක මෙන් දියණියන් දෙදෙනාට ආදරය කළ චම්පික සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ අයෙකි. අයථා ලෙස මුදල් හම්බ කර කෝටිපතියන් වූ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් සිටියදී චම්පික දරු පවුල සමඟ ගත කළේ සාමාන්‍ය ජීවිතයකි. ඔහු වංචාව, දූෂණය පිටුදැක කටයුතු කළ දේශපාලනඥයකු බව ඔහුගේ ගේදොර දුටු විට ද සිතා ගැනීමට පුළුවන. ගම්වැසියෝ ද සාක්ෂි දරති.
2009 වසරේ දී මධ්‍යම පළාත් සභාවට තරග කළ චම්පිකට එහිදී ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවූයේ නැත. එතැන් පටන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු ඔහු රස්සාව ලෙස කළේ බ්‍රෝකර් වැඩය. ඇස් දෙක මෙන් රැක බලාගත් දියණියන් දෙදෙනාට ඉගැන්වීමටත් පවුලේ සෙසු කටයුතු සඳහාත් මුදල් හරිහම්බ කරගත් බ්‍රෝකර් රස්සාව නිසාම බිරිය හා දියණිය ඝාතනය කර තමන්ට ද සියදිවි නසා ගැනීමට සිදුවේ යැයි ඔහු කිසිදා නොසිතන්න ඇත.
සියදිවි නසා ගැනීමට පෙර ලියා තැබූ ලිපියේ කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඒ ගැන විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන්ට පෙනී යන්නේ ඔහු පසුගිය කාලයේ දැඩි මානසික පීඩාවකින් දිවි ගෙවා තිබෙන බවයි.
ඊට හේතුවී තිබෙන්නේ රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයකට මහනුවර ව්‍යාපාරිකයකු මිලදී ගත් යටිනුවර, මුරුතලාව, නෙල්ලිගල ප්‍රදේශයේ ඉඩමක් සහිත ගොඩනැඟිල්ලකි. ඒ සඳහා බ්‍රෝකර් වැඩේ කර තිබෙන්නේ චම්පිකය. ඒ වෙනුවෙන් 3 %ක කොමිස් මුදල ද ඔහු ලබාගෙන තිබේ. මෙයට මාස 06කට පමණ පෙර සිදු වූ එම ගනුදෙනුවෙන් මාස තුනකට පසු ව්‍යාපාරිකයා පවසා තිබෙන්නේ ගොඩනැඟිල්ල රුපියල් කෝටි තුනහමාරකට විකුණා දෙන ලෙසයි. ඉඩමේ සැලසුම ප්‍රාදේශීය සභාවෙන් අනුමත කර නොතිබූ නිසා එය විකිණීම ගැටලුවක් බව තේරුම් ගත් ව්‍යාපාරිකයා චම්පිකට තර්ජනය කළේ කෙසේ හෝ සැලසුම අනුමත කර දෙන ලෙසයි. “එය නොකර උඹ මැරුණොත් උඹේ ගෑනියි දරුවොයි මරනවා” යනුවෙන් ව්‍යාපාරිකයා චම්පිකට තර්ජනය කර තිබෙන බව ඔහුගේ ඥාතීන් පවසන අතර ඒ සම්බන්ධ කරුණු ලිපිය මඟින් ද ඔහු හෙළිකර තිබේ.
අදාළ ගොඩනැඟිල්ලට සැලසුමක් සකස් කරගත් ව්‍යාපාරිකයා චම්පිකට තර්ජනය කර, ඊට ඔහුගේ අත්සන බලහත්කාරයෙන් ලබාගෙන තිබෙන්නේ ඔහු යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හෙබවූ කාලසීමාවට අදාළ දිනයක් එහි සටහන් කරමිනි. හොර අත්සනක් යොදාවි යැයි සැකපිට ව්‍යාපාරිකයා චම්පිකගේ සැබෑ අත්සන ස්කෑන් කර රැගෙන පැමිණ තිබූ බව පැවසුවේ ඔහුගේ සහෝදරයෙකි. තමන් ඔහු මුදාහැරියේ එම අත්සන් දෙක සමාන බව තහවුරුවීමෙන් පසුව බව ද චම්පික සිය සහෝදරයාට පවසා තිබිණි. තවත් මාස කිහිපයක් ගතවුවද ඉඩම නොවිකිණීම හේතුවෙන් ව්‍යාපාරිකයා චම්පිකට කතාකර රුපියල් ලක්ෂ 50ක් ඉල්ලා සිටියේය. ඒ චම්පිකගේ අත්සන ලබාගත් සැලසුම කූට ලේඛනයක් බව කියමින් පොලීසියට පැමිණිල්ලක් කරන බවට තර්ජනය කරමිනි. මින් චම්පික තැති ගත්තේය. පසුගිය මාර්තු මස ව්‍යාපාරිකයා මහනුවර පොලීසියට පැමිණිල්ලක් කරමින් ප්‍රකාශ කර තිබුණේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික නිලන්ත කූට ලේඛනයක් සකස් කර තමන්ට ඉඩමක් විකුණූ බව කියමිනි. තමන් හිරේ විලංගුවේ වැටුණොත් මෙතෙක් කල් ගොඩනඟා ගත් කීර්ති නාමයට සිදුවන කැළල ගැන සිතූ චම්පික රුපියල් ලක්ෂ 50ක් ව්‍යාපාරිකයාට දී වැඩේ ගොඩින් බේරා ගැනීමට සිතුවේය. එසේ වුවහොත් දියණියන් දෙදෙනාට පාසල් යෑමට පවා නොහැකි වනු ඇතැයි සිතා ඔහු තනිව හැඬූ වාර අනන්තය. බැරිම තැන මේ ගැටලුව ඔහු වැඩිමහල් සොහොයුරාට පැවසීය. එසේ මුදල් නොදෙන ලෙස සොහොයුරා පැවසුවත් චම්පික ඊට අවනත නොවීය. ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලට අනුව පොලීසියට ගිය චම්පිකට පොලීසියේ ඉහළ නිලධාරියකු පැවසුවේ ව්‍යාපාරිකයා ඉල්ලන මුදල ලබා දී වැඩේ ගොඩින් බේරා ගන්නා ලෙසයි. එසේ නොවුණහොත් පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත්, එසේ වුවහොත් කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව යටතේ අවුරුදු 20ක් හිරේට යාමට සිදුවනු ඇති බවත් පොලිස් නිලධාරියා ප්‍රකාශ කරද්දී චම්පික තැති ගත්තේය. දෙවරක් නොසිතා අදාළ මුදල දෙන්නට ඔහු තීරණය කළේය.
ඒ අනුව මහනුවර කිංග්ස්වුඩ් විදුහල ආසන්න ස්ථානයක පිහිටි නීතිඥ කාර්යාලයකදී ඔහු ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දී ඇත්තේ තම සොයුරාද ළඟ සිටියදීය. ඉතිරි ලක්ෂ 40ක මුදල ලබාදෙන ලෙස ඔහු වරින්වර කරදර කරද්දී ඒ සඳහා පොලීසියෙන් එන බලපෑම් ද ඉහළ ගොස් ඇත. අනතුරුව තමන් සතු ජපන් මරුටි වර්ගයේ මෝටර් රථය චම්පික ව්‍යාපාරිකයාට පවරා දී තිබෙන්නේ ඉතිරි ලක්ෂ 40ට හිලව් වන්නටය. එම පැවරීමට අදාළ ලිපිගොනු හුවමාරු වී තිබෙන්නේ මහනුවර පොලීසියේ ඉහළ නිලධාරියකුගේ කාර්යාලයේ දී බව චම්පික සිය සොහොයුරාට පවසා තිබේ.
වාහනය භාර දී පැමිණි ඔහු, සොහොයුරාට පවසා තිබෙන්නේ “දැන් කරදර ඔක්කොම ඉවරයි” කියාය. ප්‍රශ්නය ඉවර වුණත් මුදල් ඉල්ලා ව්‍යාපාරිකයා කළ තර්ජනවලට අදාළ රෙකෝඩින් ෆෝන් එකේ තියා ගන්නා ලෙස චම්පිකට උපදෙස් දී තිබෙන්නේ සහෝදරයායි. චම්පිකට සතුටින් ඉන්නට හැකිවූයේ සති කිහිපයක් පමණි. ව්‍යාපාරිකයා යළි දුරකතන ඇමතුම් ලබා ගනිමින් තර්ජනය කර තිබෙන්නේ තවත් ලක්ෂ 50ක් අවශ්‍ය බව කියමිනි.
කූට ලේඛන පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට යන බව කියමින් ඔහු තර්ජනය කරද්දී සහෝදරයා පවසා ඇත්තේ නීතිඥයකු හමුවට ගොස් උපදෙස් ලබා ගැනීම නුවණට හුරු බවයි. ඒ අනුව මහනුවර පොලීසියේ ඉහළ නිලධාරියකුට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දී පැමිණිල්ල යටගැසීමට චම්පික කටයුතු කර තිබෙන බව ද දැනගන්න තිබේ. ඒ බව චම්පික ලියූ ලිපියෙන් ද ඉඟි ලබාදී ඇත.
මේ අතරවාරයේ ව්‍යාපාරිකයා චම්පිකගේ දරු දෙදෙනාගේ පාසල ආසන්නයේ දී ඔහුට තර්ජනය කරමින් පහර දී තිබෙන්නේ දියණියන් දෙදෙනා බලා සිටියදීමය. ඉන් ඔහු දැඩි ලෙස කම්පාවට පත්ව තිබේ. වැඩිමහල් දියණිය පෙළුණු රෝගී තත්ත්වයක් පිළිබඳව ද ඔහු සිට ඇත්තේ සිත්තැවුලිනි. ඉන්දියාවට රැගෙන ගොස් ඇයට ප්‍රතිකාර ලබාදීමට සිතා සිටි සියලු සිහින ද මේ සිදුවීම් ඔස්සේ බොඳව යද්දී චම්පිකට ජීවිතය එපා වන්නට ඇත.
සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාර, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයවීර බණ්ඩා මහතා, චම්පිකගේ හිතවතෙකි. ඔහු චම්පික පිළිබඳව මෙසේ පැවසීය.” ජනපති ප්‍රේමදාස මහතාගේ උදාගම් වැඩපිළිවෙළ යටතේ තමයි යටිනුවර සුනිලගම බිහි වුණේ. චම්පිකගේ මවුපියන් එක්සත් ජාතික පක්ෂයට ලැදිව කටයුතු කළා. රැස්වීම්වලට ආවා. ජනපති ප්‍රේමදාස මහතා සුනිලගම විවෘත කරද්දී චම්පිකගේ තාත්තාටත් ගෙයක් දුන්නා. ඔවුන් මුලින් පදිංචිව සිටියේ ඒ නිෙවසේ. පියාගේ හා මවගේ ආභාසයෙන් එයා දේශපාලනයට ආවා. හිත හොඳ දේශපාලනඥයෙක්. ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කර්මාන්ත වැඩපිළිවෙළ යටතේ යටිනුවර විවෘත කළ ගාමන්ට් එකක චම්පික මුලින් රැකියාවක් කළා. දේශපාලනයට පිවිසුණාට පසු එයා වෘත්තියක් විදිහට කළේ ඉඩම් හා වාහන විකිණීමයි. යටිනුවර හැමෝම ආදරය කළ චරිතයක්.”
චම්පිකගේ කුඩා කල සිටම මිතුරකු වූ හිටපු පළාත් සභා මන්ත්‍රී හිදායත් සත්තාර් මහතා මෙසේ මතකය අවදි කළේය. පාසල් කාලයේ සිටම අපි හොඳ මිතුරෝ. හැම වේලාවෙම හිනාවෙලා හිටපු චරිතයක්. දරුවෝ දෙන්නට පණ වගේ ආදරෙයි. හොඳ පවුල් ජීවිතයක් ගත කළා. මේ ප්‍රශ්නයේ දී එයා බිරියයි දරුවයි ඝාතනය කරන්න ඇත්තෙත් ආදරය වැඩි නිසයි. මොකද එයා නැති වුණොත් මේ අයට කවුරුවත් නැති වෙනවා කියලා මෙයා හිතන්න ඇති. පොඩි දුවටත් නින්ද ගිහින් තිබුණා නම් මෙයා එයාගේ ජීවිතයත් නැති කරයි. එයා නැඟිටලා තාත්තේ කියලා කතා කළාම මෙයාගේ හිත වෙනස් වෙන්න ඇති. අද කාලේ දේශපාලනඥයන්ට ජනතාව මොනතරම් ඇඟිල්ල දික් කරනවා ද?. චම්පිකට කවදාවත් කවුරුවත් හොරා කිව්වේ නැහැ. ඒ නිසයි එයා මනාප ක්‍රමයෙනුත් කොට්ඨාස ක්‍රමයෙනුත් ජයග්‍රහණය කළේ.”
චම්පික, බිරිය හා වැඩිමහල් දියණිය ඝාතනය කළ දිනයේ බාල දියණිය පාසලේ අධ්‍යාපන චාරිකාවකට ගොස් සිට ඇත. ඇය අලුයම 3.00ට නිවෙසින් පාසල කරා රැගෙන ගොස් ඇත්තේ ද චම්පිකය. අලුයම පින්න නිසා යතුරුපැදියෙන් දියණිය රැගෙන නොගොස් අසල්වැසියකුගේ ත්‍රිරෝද රථයකින් ඇය පාසල වෙත ඇරලවූ චම්පික යළි නිවෙස වෙත පැමිණ තිබේ. ප්‍රශ්නයෙන් බේරීමට ඇති එකම විසඳුම පවුල පිටින්ම මෙලොව හැරයාම බව සිතූ ඔහු ඒ සඳහා සූදානම් වන්නට ඇත. තමන්ගේ දුකේ දී මෙන්ම සැපේදීත් එකට සිටි බිරියත් තම ලෙයින් උපන් දරුවාත් ඝාතනය කරන්න සැලසුම් කළ ඔහු මරණයේ වේදනාව ඔවුන්ට නොදැනීමට නිදිපෙති දෙන්න ඇතැයි අනුමාන කළ හැකිය. බාල දියණිය එන්නට පෙර බිරිය හා වැඩිමහල් දියණිය ඝාතනය කළ චම්පික අලුයම දියණිය ඇරලවන්න ගිය ත්‍රිරෝද රථයෙන්ම රාත්‍රියේ දී යළි පාසලට ගියේ ඇය නිෙවසට රැගෙන එන්නය. නිෙවසට පැමිණි දියණිය මව සොයන්නට වූවාය. ඒ වනවිටත් උඩු මහලේ කාමරයේ මෙලොව හැරගොස් සිටි ඇගේ සිරුර චම්පික සඟවා තිබුණේ ඇඳ යටය. වැඩිමහල් දියණියගේ මළ සිරුර ඇඳ මතය. චිකුන්ගුන්යාවලට යැයි කියමින් චම්පික, බාල දියණියට ද නිදි පෙති බවට අනුමාන කළ හැකි පෙති දෙකක් ලබා දී තිබේ. පියාගේ වචනය විශ්වාස කළ දියණිය එය පානය කර නින්දට ගියේ වෙනදා තමන් එනතුරු නිදිවරා බලා සිටින මව නැත්තේ ඇයි ද යන්න සිතමිනි. කාමරයේ ඇද මත නිදා සිටිය දී පියා පැමිණ දොරේ කර්ටන් එක මෑත් කර තමා දෙස බැලූ බව ඇය පොලීසියට පවසා තිබේ. තමන් නිදි මෙන් සිටිය දී තාත්තා වයර් එකක් වැනි යමක් රැගෙන තමන් වෙත පැමිණි බවත් ඒ වෙලාවේ තමන් “ඇයි තාත්තා” කියමින් නැඟිට්ට බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
දියණිය දුටු චම්පිකගේ අරමුණ වෙනස් වන්න ඇත. ඔහු දියණිය තුරුලු කර මම ඔයාට ආදරෙයි පුතේ” කීවේ ඇසේ උපන් කඳුළු පිසදා ගනිමිනි. “නිදා ගන්න” කියා කාමරයෙන් පිටතට ඔහු ගියේය. පියාගේ හැසිරීම අමුතුවීමත් මව නිවසේ නොසිටීමත් අක්කා කිසිම හැලහොල්මනක් නොමැතිව නිදා සිටීමත් නිසා සැක සිතූ 13 හැවිරිදි දියණිය පියා ගිය මඟ යමින් ඔහු සොයන්නට විය. නිවසේ මුළුතැන් ගේ දොර විවෘත කර තිබිණි. නිවසට යාබදව ඇති අට්ටාලයේ පියා එල්ලී සිටිනු දුටු ඇය පුටුවක් ගෙන ලණුවේ ගැට ලිහන්න උත්සාහ කළාය. ගැට දෙකක් ලිහා ගන්නට හැකි වුවත් තුන්වeනs ගැටය ලිහා ගැනීමට නොහැකි වූ ඇය කෑ ගසන්නට වූවාය. ඒ හඬ ඇසී චම්පිකගේ නිෙවස ආසන්නයේ පදිංචි ඥාති පිරිස එද්දී ඒ වනවිටත් ඔහු මෙලොව හැරගොස් තිබුණි.
දිල්රුක්ෂි ජයලත් කුමාරගේ (45) හා ඇගේ දියණිය ශිහාරා ආශිංසනී හපුගොඩ (13)ගේ මළසිරුරු නිවසේ එකම කාමරයක තැන්පත් කර තිබෙන්නේ චම්පිකගේ සිරුර ද සමඟිනි. දහතුන් හැවිරිදි දියණිය මෙලොව තනිකර ඔවුන් සියලු දෙනා හෙට (31) පස්වරුවේ යටිනුවර සුසාන භූමියේ දී අවසන් ගමන් යෑමට නියමිතය.
---------------------------
by (2025-07-30 21:10:33)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි