-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.01, ප.ව.10.50) මේ වන විට රටින් පැනගොස් එංගලන්තයේ වාසය කරන හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති දූෂණ නඩුවක නඩු විභාගය ඔහු නොමැතිව ඔක්තෝබර් 30 වන දින සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද(01) දින නියම කෙළේ ය.
අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් අද මෙම නියෝගය නිකුත් කළ අතර, හිටපු අමාත්‍යවරයා දැනට රටට නොපැමිණ විදේශයක ජීවත් වන බව අධිකරණයට දැනුම් දුන්නේය.
බෝගොල්ලාගම සිය ධුර කාලය තුළ දූෂණ ක්‍රියාවන්හි නිරත වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම අල්ලස් පනත යටතේ නඩුව ගොනු කළේ 2015 යහපාලන ආණ්ඩු කාලයේ ය.
අදාල දූෂනයට එරෙහිව ඔහු 2015 දී වරක් අධිකරණයට ඉදිරිපත් කළ අතර මේ වන විට ඔහු ඉන්නේ අදාල නඩුකරයට අදාලව ඇප මත නිදහස ලබා ය. එහිදී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගත් නමුත් ඒ අතරවාරයේ දී ආණ්ඩු වෙනස් වී ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරිණ. එවිට ද ඔහු විවිධ දූෂන ක්‍රියාවන්හි යෙදුනු අතර ලංකා ඊ නිව්ස් ඒ බව වරින් වර හෙළිදරව් කර තිබේ. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඔහු එකී මහකොමසාරිස් ධූරයෙන් ඉවත් කරන ලද නමුත් බෝගොල්ලාගම සහ පවුල යලි ශ්‍රී ලංකාවට නොගොස් බ්‍රිතාන්‍යයේ පදිංචි විය.
රෝහිත බෝගොල්ලාගම ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වරයා ලෙස කටයුතු කරද්දී අදාල දූෂනය සිදුකර ඇතැයි අල්ලස් කොමිසම චෝදනා ගොනු කර තිබේ.
කොමිසම විසින් ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රයේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය (BOI) 2006 ජුනි 21 සිට 23 දක්වා ලන්ඩනයේ ප්‍රදර්ශනයක් පවත්වා ඇති බවයි.
එම උත්සවයට සහභාගී වෙමින් එවකට සිටි අමාත්‍යවරයා වූ බෝගොල්ලාගම භාණ්ඩාගාර චක්‍රලේඛ උල්ලංඝනය කරමින්, ඔහුගේ හෝටල් බිල්පත් සඳහා ගෙවීමට රුපියල් 1,170,444 ක් සහ තවත් රුපියල් 414,000 ක් නීති විරෝධී ලෙස අනුමත කරන ලෙස ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියාට බලකර ඇති බව අල්ලස් කොමිසම චෝදනා කරයි. අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් බෝගොල්ලාගමට චෝදනා එල්ල වී තිබේ.
මෙම නඩුවේ සැකකරුවන් දස දෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කර ඇති අතර සාක්ෂි ලෙස ලේඛන 15 ක් ඉදිරිපත් කර තිබේ.
---------------------------
by (2025-08-01 17:36:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි