~

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් සුව කර ගත යුතු දරුණු තුවාල කීපයක් මෙන්න...!

-අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වන සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.04, ප.ව‍.10.20) හෝමාගම ප්‍රදේශයේ මධ්‍යමහා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් ඖෂධ අධිමාත්‍රාවක් ලබා ගනිමින් සිය දිවි නසා ගත්තේ දැනට දින කීපයකට ඉහත ය.

මෙම දැරියගේ අධ්‍යාපන පරිසාදන මට්ටම ප්‍රමාණවත් නොවන බවට අදාල පාසලේ ගුරුවරියක් විසින් එල්ල කළ පීඩනයක් නිසා මෙසේ ඖෂධ අධිමාත්‍රාව ලබා ගත් බව මිය ගිය දැරිය විසින් ඇගේ වැඩිමහල් සහෝදරියට පවසා ඇත. ඒ බව හෙළිකළේ ඇගේ පියා ය. පියා විදුහල්පතිවරයකි. ඔහු, ශ්‍රී ලංකාවේ සිරගතවන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ගුරුභවතෙකි. 

රජයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ දරුවකුටත් අත්වන්නේ මෙවැනි ඉරණමක් නම්, අනෙකුත් පවුල්වල දරුවන් ගැන කුමණ කතා ද? වත්මන් අධ්‍යාපන ක්‍රමයේ පවතින ඛෙදවාචකයේ ස්වරූපය කෙතරම් බරපතල දැයි ⁣පැහැදිලි  කිරීමට මීට වඩා උදාහරණ අනවශ්‍යය.

විභාග මූලික පද්ධතියක ඛෙදවාචකය..

දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සකස් කොට පවත්වාගෙන යන්නේ විභාග මූලික පද්ධතියක් ලෙස ය. දරුවාගේ සාර්ථකත්වය තීරණය කරනු ලබන්නේ විභාග ප්‍රතිඵල මතම ය. ඒ ප්‍රතිඵල තීරණය වන්නේ වැඩි ලකුණු මතය.

වැඩි ලකුණු ලබා ගැනීමට තරඟයක් පවතී. ඒ තරඟය තුළ පාසල් ගුරුවරුන්, දරුවන් මෙන්ම දෙමාපියෝ ද දරාගත නොහැකි පීඩනයකට ලක් වී සිටිති. යහපත් ප්‍රතිඵල නොපෙන් වූ විට එකී ගුරුවරයන් පිළිබඳ ප්‍රතිරූපය පාසල තුළ සහ ඉන් බාහිරව ද බිඳ වැටෙයි. එම අවදානමෙන් බේරී සිටීම සඳහා ඉහළ ලකුණු මට්ටමක් පවත්වා ගැනීම සඳහා ගුරුවරයා නිරන්තරව දරුවන්ට පීඩනයක් එල්ල කරයි. 

රාජ්‍ය පාසල්වල සිසු සංඛ්‍යාව වැඩි වීමත්, ඊට සාපේක්ෂව ගුරුවරුන් හිඟ වීමත්, විෂය නිර්දේශය විශාල සහ පීඩාකාරී වීමත්, ඇතැම් විෂයන් සඳහා පුහුණු ගුරුවරුන් රජයේ පාසල් පද්ධතිය තුළ නොසිටීමත් නිසා, විභාග සාර්ථකව ජයගැනීමට නම්, පාසලට අමතරව පෞද්ගලික උපකාරක පංතිවලට යාම වැදගත් බව දෙමව්පියෝ තීරණය කරති. ඒ අනුව වැඩි ලකුණු ලබාගැනීම සඳහා දරුවන්ට ඊළඟ බලවත් පීඩනය එල්ල වෙන්නේ නිවසේ දෙගුරුන්ගෙනි.

ටියුෂන් මාෆියාව..

බොහෝ දෙමාපියන් තම දරුවන්ට ඉහළ විභාග ලකුණු ලබා ගැනීමට බලාපොරොත්තු වෙති. ඒ සඳහා උපකාරක පංතිවලට යැවීම සාමාන්‍යයෙන් සිදුවිය යුත්තක් බවට දෙමාපියන් තුළ හැඟීමක් පවතී. මෙම දෙමාපිය අපේක්ෂාව, හොඳ හැටි අවබෝධ කොටගත් "ටියුෂන් මාෆියාව" සමාජය තුළ ටියුෂන් සංස්කෘතියක් වර්ධනය කරමින්, මිලියනපතියන්, බිලියනපතියන් බවට පත්වෙමින් සිටිති. ටියුෂන් සඳහා මාසයකට වැය කළ යුතුව ඇති මුදල ඉහළ අගයකි. මේ හේතුව මත දෙමව්පියන් ද ඉසිලිය නොහැකි පීඩනයකට පත් වී සිටිති.

මේ අනුව ගත් කළ, පවතින අධ්‍යාපන ක්‍රමය විසින් ගුරුවරුන් , දරුවන් මෙන්ම දෙමාපියන් ද දැඩි පීඩනයකට ලක්කොට ඇති බව පැහැදිලිය. එසේම මේ අධ්‍යාපන ක්‍රමය, සහකම්පනයක් නැති, අනෙකා පරයා තරඟ වැදීමට ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙන, ළතෙත් හැඟීම් වියැලුනු මිනිසුන් සිටින සමාජයක් බවට පත් කරමින් තිබේ.

පීඩනය ඉවත් කිරීමට කටයුතු කළ යුතුය...

ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එහි එක් ප්‍රධාන අරමුණක විය යුත්තේ,  දරුවන්ට , ගුරුවරුන්ට සහ දෙමාපියන්ට එල්ල වී ඇති දරාගත නොහැකි මෙම පීඩනය ඉවත් කිරීමට කටයුතු කිරීමය.

රජය නොමිලේ, අනිවාර්ය අධ්‍යාපනය ලබා දුන්නද, ප්‍රවාහන පහසුකම් නොමැතිකම සහ ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් නොමැතිකම හේතුවෙන් සමහර දරුවන්ට අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති බාධකවලට මුහුණ දීමට සිදු වී තිබේ. සමහර ග්‍රාමීය ප්‍රදේශවල සහ වතුකරයේ උසස් පාසල්වල හිඟයක් පවතින අතර, ඒ හේතුවෙන්ම බොහෝ දරුවන් පාසල් හැර යති.

දුෂ්කර දිස්ත්‍රික්කවල දරිද්‍රතාවය නිසා ඇති ප්‍රශ්න..

මොණරාගල, මුලතිව් සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල දරිද්‍රතා අනුපාතය ජාතික සාමාන්‍යයට වඩා වැඩි බැවින්, ගුණාත්මක අධ්‍යාපනය සඳහා දරුවන්ට ඇත්තේ සීමිත ප්‍රවේශයකි. 

මේ නිසාම එවැනි ප්‍රදේශවල වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් සතියකට පැය 15 ට අඩුවෙන් ද, අවුරුදු 12 සිට 14 දක්වා ළමුන් සතියකට පැය 25 ක් ද කෘෂිකර්මාන්තයේ ළමා ශ්‍රමිකයන් ලෙස වැඩ කරන තත්ත්වයට පත් වී ඇති බවට නිළ වාර්තා තිබේ. 

2023 දී , පාසල් යන වයසේ ගැහැනු ළමුන් 163 දෙනෙකු ගැබ්නි මව්වරුන් ලෙස වාර්තා වී තිබේ. පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ දත්තවලට අනුව එම සංඛ්‍යාව 2024 දී  213 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2024 වසරේ දී වාර්තා වී ඇති ළමා මව්වරුන් අතර අඩුම වයසේ පසුවන දැරියගේ වයස අවුරුදු 10කි.

පාසල් පරිසරය තුළ ගුරුවරුන්, පාසල් සේවකයන්, හෝ වෙනත් ශිෂ්‍යයන් විසින් අනියම් ලෙස සිදුකරන ශාරීරික හෝ මානසික විකෘති හැසිරීම් වලින් ගැහැණු ළමුන් විශේෂයෙන්ම ආබාධයට ලක්වෙති. මේ නිසා ළමුන්ගේ අධ්‍යාපනික කාර්යසාධනය පහත වැටීම, මනෝවිද්‍යාත්මක ආබාධ, පාසලෙන් ඉවත් කිරීම හෝ විභාගයන් වළැක්වීම සිදු වේ. ඇතැම් දරුවෝ සිය දිවි හානි කරගත් අවස්ථා මෑතකදී ද අසන්නට ලැබුණි.

ඉහතින් දැක්වූයේ වත්මන් අධ්‍යාපන ක්‍රමය හේතු කොට ගෙන, දරුවන් අධ්‍යාපනයෙන් පිටමං වන මාර්ගයන් අතරින් ඉතා කුඩා ප්‍රමාණයකි. මීටත් වඩා බොහෝ හේතු කාරණා තිබේ.

වත්මන් අධ්‍යාපන ක්‍රමය නිසා පවුල් කුටුම්භයට සිදුවන බලපෑම..

වත්මන් අධ්‍යාපන ක්‍රමය නිසා පවුල් කුටුම්භයට සිදුවන බලපෑම අතිවිශාලය.  ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් පවුල තුළ මතු වී ඇති බිඳ වැටීම බරපතලය. 

විෂය නිර්දේශය විශාල සහ පීඩාකාරී වීමත්, රජයේ පාසල් වල පවතින ගුරු පුරප්පාඩු මෙන්ම නුපුහුණු ගුරු ගැටළුවත් නිසාත්, විභාග සමත් කරවා ගැනීමේ තරඟයට දෙමව්පියන්ව ඇද දමා ඇත. මේ වෙනුවෙන් පමණක් දෙමව්පියන් විඳින පීඩනය කොතෙක් ද යන්න ගණනය කළ නොහැකි තරම් ය.

රජයේ පාසල් පද්ධතිය තුළ පවතින ඉහතින් දැක්වූ අඩුපාඩු නිසාම, දෙමාපියන් හා සිසුන් විභාග සාර්ථකත්වය සඳහා උපකාරක පංතිවලට වැඩි වටිනාකමක් ලබා දෙති. අනෙක් අතට, සමාජ ජාල, ටීවී සහ පුවත්පත් මඟින් උපකාරක ගුරුවරුන් තමාගේ ප්‍රභේද සහ සාර්ථක සිසුන් ප්‍රදර්ශනය කිරීමෙන් උපකාරක පංති පිළිබඳ බලවත් උවමනාවක් සමාජය තුළ ගොඩ නඟති.

පවුල් ආර්ථිකය මත සිදුකරන බලපෑම්...

මේ අනුව ශ්‍රී ලංකාවේ උපකාරක පංති, බලවත් වානිජ ව්‍යාපාරයක් සේම සමාජයේ අලුත් සංස්කෘතියක් ලෙසද වර්ධනය වී තිබේ. මේ වන විට එය මඟ හැර යන්නට දෙමව්පියන්ට ද නො හැකි වී තිබේ. මේ නිසා පවුලේ ආදායමෙන් බරපතළ කොටසක් දරුවන්ගේ අධ්‍යාපන සඳහා උපකාරක පංති වලට වැය කරන්නට ඔවුන්ට සිදු වී තිබේ.

දෙමව්පියන්ට උපකාරක පංති සඳහා මාසිකව දරන්නට වන සාමාන්‍ය පිරිවැය අදාල උපකාරක පංතියේ වර්ගය, පිහිටීම, ගුරුවරයාගේ ප්‍රචාරය, සහ ශ්‍රේණිය අනුව වෙනස් වෙයි.

2024/2025 යන වර්ෂය වන විට සාමාන්‍යයෙන්  6-9 ශ්‍රේණිවල  එක දරුවෙකු වෙනුවෙන්, ගණිතය, විද්‍යාව සහ සිංහල යන විෂයන් තුන සඳහා උපකාරක පංතියට දළ වශයෙන් මසකට රු. 5,000 - 10,000 අතර මුදලක් දෙමාපියන්ට දරන්නට සිදු වී තිබේ. වාර්ෂිකව ගත්විට එම මුදල රු. 60,000 – 120,000 අතර වේ.

10-11 (O/L) ශ්‍රේණියක එක දරුවකුට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ ඉතිහාසය යන විෂයන් ඇතුලු  විෂයන් 3-6 අතර සඳහා මාසිකව වැය කළ යුතු මුදල රු. 8,000 - 20,000 අතර මුදලකි. වාර්ෂිකව ගත්විට එම මුදල  රු. 96,000 – 240,000 අතර ගණනකි.

12-13 (A/L) ශ්‍රේණියක දරුවකුට, සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව, වාණිජ්‍යය සහ කලා යන විෂයන් අතරින් විෂයන් 2-4 ත් අතර ගණනකට මාසිකව වැය කළ යුතු මුදල රු. 12,000 - 30,000 කි. වාර්ෂිකව ගත්විට එම මුදල රු. 144,000 – 360,000 අතර ප්‍රමාණයකි.

එසේම ප්‍රාථමික පන්තිවල දරුවකුට, ඉංග්‍රීසි, සිංහල සහ ගණිතය (මූලික) යන විෂයන් අතරින් 2-3 ත් අතර විෂයන් ගණනකට මාසයකට රු. 3,000 - 7,000 අතර මුදලක් වැය කිරීමට දෙමව්පියන්ට සිදු වී තිබේ. වාර්ෂිකව ගත්විට එම මුදල රු. 36,000 - 84,000 ත් අතර මුදලකි.

මෙම පිරිවැය, උපකාරක පංති වර්ගය අනුව, පංති පැවැත්වෙන නගරය අනුව සහ ගුරුවරයාගේ ප්‍රසිද්ධය අනුව තවත් ඉහළ යයි. මේවාට අමතරව, ප්‍රවාහනය, ලිපි ද්‍රව්‍ය, සම්මන්ත්‍රණ, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ආදියට තවත්  වියදමක් දැරිය යුතුය.

රජයේ පාසල්වල සිසුන්ගෙන් 80% ක් ටියුෂන් යනවා...

ශ්‍රී ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාව 10,096 කි. සිසුන් ප්‍රමාණය 3,882,688 කි. මෑතකදී සිදුකළ NCPA සහ Verité Research වැනි ආයතනවල පර්යේෂණ වලට අනුව, ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල සිසුන්ගෙන් 80% ක පමණ පිරිසක් උපකාරක පංති වලට යොමු වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව සාමාන්‍ය වශයෙන් සිසුන්  31,06150 ක් දෙනා උපකාරක පංති සේවාව මුදලට ලබා ගනිති.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ පවුලක සාමාන්‍ය මාසික ආදායම රු. 75,000 - 125,000 අතර වන අතර, එක දරුවකුට පමණක් උසස් පෙළ පංති සදහා උපකාරක පංති ලබාදීමෙන් එම ආදායමින් 40%-60%ක් දක්වා වැය කරන්නට එම පවුලට සිදු වී ඇත. දරුවන් දෙදෙනෙකුට වියදම් කරන්නට සිදුවුව හොත්, පවුලේ අනෙක්  වියදම් වන ආහාර, සෞඛ්‍ය, නිවසේ විදුලිබල ගාස්තු ආදී දේවල් සඳහා ණය ලබා ගැනීමට හෝ අත්‍යාවශ්‍ය වැය කපා හැරීමට හෝ සිදුවීම අනිවාර්ය ය. 

ඉතා අඩු ආදායම් සහිත පවුල් වල දරුවන්ට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ බරපතළ ඛෙදවාචකයකටය. උපකාරක පංති නොලැබීම නිසා ඔවුන්ට අධ්‍යාපනය තුළ හිමිවී ඇත්තේ අසමාන අවස්ථාය. 

ශ්‍රී ලංකාවේ උපකාරක පංති සඳහා වියදම් කළ නොහැකි පවුල් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත සංඛ්‍යාත්මක දත්ත නිළ වශයෙන්  නැතත්, මසකට රු. 30,000–40,000 වැනි අඩු ආදායම් ලබන පවුල් වැඩි වශයෙන් සිටින බව නොරහසකි. සමෘද්ධිය, අස්වැසුම වැනි ආධාරය ලබන පවුල් 35%ක් පමණ ලියාපදිංචි වී ඇති අතර, ඒ අනුව, ශ්‍රී ලංකාවේ පවුල් වලින් අවම වශයෙන් 40% – 50%ක් පමණ උපකාරක පංති සඳහා වියදම් කළ නොහැකි තත්ත්වයක පසුවෙයි. 

මාසික ආදායම රු. 30,000 – 50,000 ත් අතර ලබාගන්නා පවුල් ප්‍රමාණය 20% – 25% අතර පවතී. ඒ පවුල්වල දරුවන්ට ද බොහෝවිට උපකාරක පංති වලට යා නොහැකි වේ. රු. 50,000 – 100,000 අතර ආදායම් සහිත මධ්‍යම පංතික පවුල්වල දරුවන්ට විෂයන් 2–3 කට පමණ උපකාරක පංති සඳහා සීමිත හැකියාවක් පවතී. එවැනි පවුල් ඇත්තේ 30% – 35% අතර ප්‍රමාණයකි.

රු. 100,000 වඩා වැඩි මාසික ආදායම් සහිත පවුල්වල දරුවන්ට උපකාරක පංති සේවාව ලබා ගැනීමට වැඩි හැකියාවක් පවතී. එවැනි පවුල් ඇත්තේ 15% – 20% අතර ප්‍රමාණයකි.

මේ අනුව උපකාරක පංති පද්ධතිය සෑම ගෙදරකටම වාසිදායක අත්දැකීමක් වී නොමැති බව පැහැදිලිය. සමහර පවුල්වලට එය ආර්ථික විනාශයකට මඟ පෙන්වන්නක් වී තිබේ. 

එදා සිට අද දක්වා අධ්‍යාපනය තුළ නිදහසක් සහ සම බිමක් නෑ..

නිදහස් අධ්‍යාපනයක් පවතින බවට කොතරම් අලංකාර වචන වලින් කියාපාන්නට උත්සාහ කළ ද, සත්‍ය කාරණය වන්නේ, එදා සිට අද දක්වා අධ්‍යාපනය තුළ නිදහසක් සහ සම බිමක් ඇති වී නැති බවය.

මේ සඳහා රජයේ විශේෂ අවධානය යොමු කොට, රජයේ පාසල්වල විෂය ආවරණය වැඩිදියුණු කිරීම, ගුරුවරුන්ට නිසි පුහුණුව ලබාදීම, ගුරු පුරප්පාඩු පිරවීම, ගුරුවරුන්ගේ කාර්ය සාධනය නීරීක්ෂණය කිරීම, සහ අවශ්‍යතා අනුව අඩු ආදායම් පවුල් සඳහා සහන වැඩසටහන් සකස් කිරීම  ආදී තවත් බොහෝ කටයුතු කඩිනමින් සපුරාලීමට අවශ්‍ය පියවර ගත යුතු වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුත්තේ මෙවැනි බරපතළ සමාජ ගැටළු වලට ද විසඳුමක් ලබාදීමේ අරමුණු පෙරදැරිව ය. සිදුවන්නට නියමිතව ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ මේ වැනි ගැටළු වලට පිළිතුරු තිබේ දැයි පැහැදිලි අදහසක් විධිමත්ව තවමත් සමාජය හමුවේ හෙළිදරව් වී නැතිවීම කණගාටුවට කරුණකි. 

-සුනිල් ගාමිණී ජයලත්ගේ

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106

---------------------------
by     (2025-08-04 16:56:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links