-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.04, ප.ව.11.30) රට බංකොලොත් වී මහජනතාව පෝලිම් වල ලගිමින් මිය යද්දී ජනාධිපති පුටුවට පැන ගත් රනිල් වික්‍රමසිංහ 'මිස්ටර් ක්ලීන්' යයි තමන් විසින්ම කියා ගත්ත ද, ජනතාව අපා දුක් විඳිද්දී කෝටියකට අධික මහජන මුදල් වියදම් කරමින් නිල ගමනක් නොවන පුද්ගලික සංචාරයක් වන තමන්ගේ බිරිඳගේ උපාධි උත්සවයකට සහභාගී වීමට පිරිවරක් ද රැගෙන එංගලන්තය බලා ගොස් තිබේ. ඔහු එහි දින දෙකක් සඳහා වියදම් කර ඇති මහජන මුදල රුපියල් එක්කෝටි 69 ලක්ෂයකට අධිකය.
දැන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් මේ දූෂනය පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ගොනුකරමින් විමර්ශන ආරම්භ කර තිබේ. කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරයක යෙදුනු රනිල් වික්‍රමසිංහ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට ඇමරිකාවේ සිට ලන්ඩනය බලා පැමිණ තිබේ. ඒ 2023 සැප්තැම්බර් 22 සහ 23 දෙදින තුල තව 10 දෙනෙකු ද සමග ය. ඔහුගේ කියුබානු සහ ඇමරිකානු සංචාරය නිල සංචාරයක් වුව ද දෙදින ලන්ඩන් ගමන පුද්ගලික සංචාරයකි. ජනාධිපති වුවද පුද්ගලික සංචාර සඳහා වියදම් කළ යුත්තේ පුද්ගලික මුදල් නමුත් රනිල් ඒ සඳහා ද මහජන මුදල් එක්කෝටි 69 ලක්ෂයකට අධික මුදලක් වියදම් කර ඇත.
මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට අද රනිල්ගේ දිගු කාලීන පුද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා සීඅයිඩිය වෙත කැඳවනු ලැබූ අතර පැය 6 කට අධික කාලයක් ඇය කට උත්තර ලබා දී ඇත.
රනිල්ගේ ජනාධිපති ලේකම් ලෙස රාජකාරි කළ සමන් ඒකනායක හෙට සීඅයිඩියට කැඳවා ඇති අතර එයද ඉහත කී රනිල්ගේ දූෂනය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ය.
මහජනතාව වත්මන් මාලිමා ආණ්ඩුවට මදියි නොකියන්නම බලය දුන්නේ හිටපු දේශපාලකයන් බලය හොබවූ කාලවල සිදුකළ විවිධ දූෂණ ගැන විමර්ශන සිදුකර දඬුවම් ලබා දීමට ම ය. "පරීක්ෂන සිදුකරන විට හැබැයි කෙඳිරි ගාන්න එපා" යයි ජනාධිපති අනුර දිසානායක ප්‍රසිද්ධියේ කිහිප වතාවක්ම ප්‍රකාශ කර තිබේ.
---------------------------
by (2025-08-04 18:45:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි