~

ශ්‍රී ලංකා පොලිසියේ හූනියම අවසන්..! දේශබන්දු පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි..! දේශබන්දු වෙනුවෙන් කිසිවෙක් නෑ..!!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.05, ප.ව‍.11.00) ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැනට වැඩ තහනම් කර සිටින ශ්‍රී ලංකා පොලිසියේ කලක් තිස්සේ අටුවම්බැසගත් හූනියමක් වු  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සේවයෙන් නෙරපා හැරිණ. ඒ පොලිස්පතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් නෙරපා හැරීමේ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා තබමිනි. මෙලෙස විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම නිසා ධූරයෙන් නෙරපා හැරෙන හිටපු පොලිස්පතිවරයාට විශ්‍රාම වැටුප පවා අහිමි වනු ඇත.     

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්  පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය. වෙනත් යෝජනා මෙන් නොව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ කතානායකවරයාම විසිනි. 

දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය අද පෙ.ව. 11.30 සිට ප.ව. 4.00 දක්වා විවාදයට ගැනීම සිදුවිය. අනතුරුව ප.ව. 4.10 ට පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) මුළුමන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් එනම් මන්ත්‍රීවරයන් 177ක් පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒ අනුව අදාළ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත විය. මෙහිදී යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සිදු නොවූ අතර එක් මන්ත්‍රීවරයෙක් එනම් රාමනාදන් අර්චුනා ඡන්දය භාවිතයෙන් වැළකී සිටියේය.

සජබ යෝජනාවට විරුද්ධ නොවන බව ප්‍රකාශ කළ ද ඡන්දය විමසන අවස්ථාවේ සජබ මන්ත්‍රීවරුන් 30 ක් පමණ පාර්ලිමේන්තුවේ සිටියේ නැත. පොහොට්ටුවේ එකම මන්ත්‍රීවරයා වන නාමල් රාජපක්ෂ යෝජනාවට විරුද්ධව කතා කළ නමුත් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

ජාතික ජන බලවේගය සමග දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ. 

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් ඇතුළත් ඉල්ලීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න වෙත පසුගිය මාර්තු මස භාරදෙන ලද අතර අනතුරුව එම පරීක්ෂණ කමිටුව පත් කිරීම සඳහා වූ යෝජනාව 2025 අප්‍රේල් 08 දින පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

පසුව පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට අදාළ පරීක්ෂණ කමිටුව පත් කිරීම සිදුවිය. එම පරීක්ෂණ කමිටුව එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන අයගේ සාමාජිකත්වයෙන් සමන්විත විය. 

පසුව පරීක්ෂණ කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී උක්ත පනතේ විධිවිධාන ප්‍රකාරව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එම පරීක්ෂණ කමිටුවේ අවසන් වාර්තාව පසුගිය ජූලි 21 දින කථානායකවරයාට භාරදීම සිදුවිය. අනතුරුව එම වාර්තාව ගරු කථානායකවරයා විසින් ජූලි 22 දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

පරීක්ෂණ කමිටුවේ වාර්තාවට අනුව පොලිස්පතිවරයාට එරෙහිව නගන ලද මුළු චෝදනා 23 අතරින් චෝදනා අංක 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 13, 14, 15, 16, 17, 18, 19, 22 සහ 23 ඇතුළු චෝදනා 19 ක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා  වරදකරු බව ඒකමතිකව තීරණය කර තිබුණි. චෝදනා දෙකක් විභාගයට නොගැණුනි. ඒ ඒවාට අදාලව අධිකරණයේ නඩු විභාග වන බැවිනි. දේශබන්දු නිවැරදි කරු වූයේ චෝදනා 2 කට පමණි.

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනත අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තනතුරින් ඉවත් කිරීම සිදුකළ යුත්තේ පොලිස්පතිවරයෙකු සහ නීතිපතිවරයෙකු පමණි. එම පණත ක්‍රියාත්මක කෙරුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ය.

අද යෝජනා සම්මතයෙන් පසු කතානායක වරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව සම්මත වූ බව ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයෙකු නම් කර ව්‍යවස්ථා සභාව වෙත එවනු ඇත. ව්‍යවස්ථා සභාව එය අනුමත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයා පත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ පොලිසිය මෙයින් පාඩමක් උගත යුතු ය. එනම් දේශබන්දු වැනි දූෂිත නිලධාරියෙකු ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් යළි කිසිදු දිනෙක බිහි නොවිමට වග බලා ගැනීමය. 

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-08-05 20:05:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links