~

පාර්ලිමේන්තුව විසින් දේශබන්දු පොලිසියෙන් එළවද්දී අධිකරණයෙනුත් සෝලි වැටේ..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.05, ප.ව‍.11.20) පාර්ලිමේන්තුව විසින් අද(05) දේශබන්දු ශ්‍රී ලංකා පොලිසියෙන් නෙරපා දමද්දී අධිකරණයෙන් ද අද දේශබන්දුට සෝලියක් වැටුනේ ය. ඒ ගාලුමුවදොර පිටියේ සිදුවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වූ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව හෙළිකළ කරුණු අනුව ය.

දේශබන්දු තෙන්නකෝන් 2022 වසරේ මැයි මස 09 වැනිදා ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධිය වළක්වා ගැනීමට කිසිදු පියවරක් ගෙන නැතැයි නීතිපති දෙපාර්තමේන්තුව එහි දී අධිකරණයට දන්වා සිටියේ ය. 

එම සිදු වීමෙන් මිනිසුන් මියගිය බවත් තවත් පිරිසක් තුවාල ලැබූ බවත් කී නීතිපති දෙපාර්තමේන්තුව එවකට පොලීසියේ ඉහළ තනතුරක් දැරූ දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව විමර්ශන නිසි පරිදි සිදු කිරීමට පොලීසියට හැකි වී නැතැයි ද කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු 36 දෙනෙකුට චෝදනා ගොනු කර නීතිපති උපදෙස් අනුව සිව් දෙනෙකු මුදා හැර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වලඩ් පෙරේරා පැවසීය. අඩුම තරමේ උද්ඝෝෂකයන් පලවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් හෝ එල්ල කර නැතැයිද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

සැකකාර දේශබන්දු තෙන්නකෝන්  මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග පවා අභියෝගයට ලක් කරමින් ක්‍රියා කර ඇතැයි කී නීතිපති දෙපාර්තමේන්තුව ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරන බවද කීවේය.

තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් සිදු කළ අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියට වාචිකව කරුණු දැක්වීමට නඩුව ලබන 7දා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය නියෝග කළාය.

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව විරෝධතා ගොනු කරන ලදී.

එහිදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කළ රජයේ අධි නීතිඥවරයා මෙසේ අදහස් දැක්වීය. 

"මේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුරවැසියන් 9 දෙනෙකු පැමිණිලි කර තිබෙනවා. එම ස්ථානයේ සිටි සියලු පොලිස් නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න විත්තිකරු නියෝග ලබා දී නැහැ. ඒ නිසා මිනිස්සු මැරුණා. තුවාල වුණා. පරිවේශනීය සහ ඩිජිටල් සාක්ෂිවලින් ඔහු වැරදිකරුවෙක් බවට අනාවරණය වී තිබෙනවා. සාක්ෂි තිබුණත් පොලීසියේ ඉහළ නිලධාරියෙක් නිසා විමර්ශන නිසි ආකාරයෙන් සිදු කිරිමට බාධා වී තිබුණා. නීතිමය සාක්ෂි තිබුණත් පොලිස් නිලධාරින්ට නිසි විමර්ශනයක් කිරීමට අවස්ථාව තිබුණේ නැහැ. ජූලි මස 22 දා ඔහු විසින් ගොනු කළ රිට් ආඥාව නිෂ්ප්‍රභ කර තිබෙනවා. මේ වනවිට විමර්ශන නිලධාරින් නිසි විමර්ශන සිදු කරමින් සිටිනවා.”

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, තරිඳු වික්‍රමනායක ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

දේශබන්දුට එරෙහිව විවිධ අධිකරණ වල නඩු 40 කට ආසන්න සංඛ්‍යාවක් විභාග වෙමින් තිබේ. 

---------------------------
by     (2025-08-05 21:06:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links