~

"අපි දොරේ සද්දෙත් දන්නවා, බෙරේ සද්දෙත් දන්නවා - රාජ්‍යයට විරුද්ධව කුමන්ත්‍රණයක් කරන්න සිතුවිල්ලක් හරි තියෙනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නෑ - නීති මදිනම් නීති හදනවා" -ජනාධිපති දැඩිව අවධාරණය කරයි..! (Video)

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.07, ප.ව‍.11.15) "අපි දොරේ සද්දෙත් දන්නවා බෙරේ සද්දෙත් දන්නවා. ඒ නිසා රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ කරන්න නම් ඉඩ දෙන්නේ නෑ. නීති මදිනම් නීති හදලා හෝ ඒවා පරාජය කරනවා." යැයි ජනාධිපති අනුර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ඔහු අද පාර්ලිමේන්තුවට පැමිණ කළ විශේෂ ප්‍රකාශයේ ප්‍රධාන අරමුණ වූයේ රටේ ආර්ථිකය ස්ථාවර කර තිබෙන ආකාරය පැහැදිලි කිරීමට ය. නමුත් ඒ අතර තුර දී ඉහත කී කුමන්ත්‍රණයක පිළිබඳ තොරතුරුද ඔහු හෙළි කළේ ය. කුමන්ත්‍රණය ගැන වැඩි දුරටත් කතා කළ ජනාධිපති අනුර මෙසේ ද පැවසීය.

තමන් ලඟට නීතිය එනකොට අරාජිකත්වයක් හදන්න යනවා නම්..

"තමුන්නාන්සේලා ගමට යන්න. දේශපාලනය කරන්න. සංවිධානය වෙන්න. ඒවාට කිසිදු බාධාවක් නෑ. ඒවා මං දෙන්න ඕනෑ දෙයක් නොවෙයි. තමුන්නාන්සේලාගේ අයිතිවාසිකමක්. හැබැයි කුමන්ත්‍රණ කරන්න ලෑස්තිනම්, තමන් ලඟට නීතිය එනකොට අරාජිකත්වයක් රටේ නිර්මාණය කරන්න ලෑස්තිනම් ඒකට ඉඩ දෙන්නේ නෑ."

සද්භාවයෙන් යන ගමනට බාධා කරන්න කිසි කුමන්ත්‍රණ කරුවෙකුට ඉඩ දෙන්නේ නෑ..

"මං තමුන්නාන්සේලාට කියන්නම්. අපි ටී 56 ක් අත් අඩංගුවට ගත්තා කිරිබත්ගොඩ දී. අපි ඒ පසුපස හඹාගෙන ගියා. හඹාගෙන යනකොට වවුනියාවේ දී අත් බෝම්බ 81 ක් ටැංකියක වළලලා හම්බු වුනා. ඒ අත් බෝම්බ 81 ම කොළඹට ගේන්න සැලසුම් කරලා තියෙනවා. කුමක්ද මේ කරන්න හදන්නේ? ඒ නිසා කුමන්ත්‍රණයන් කවුරු කොතනක ඒක පාතාලය උපයෝගී කරගෙන වෙන්න පුළුවන්, ඒක පැරදුනු කණ්ඩායම් යම් කුමන්ත්‍රණයක යෙදෙනවා නම්, දේශපාලන කුමන්ත්‍රණයක යෙදෙනවා නම්, මතක තබා ගන්න, මේ රට ගොඩ නැගීමට සද්භාවයෙන් යන ගමනට බාධා කරන්න කිසි කුමන්ත්‍රණ කරුවෙකුට ඉඩ දෙන්නේ නෑ. "

නීති මදිනම් නීති හදනවා.. ඉතිහාසයේ කුමන්ත්‍රණ තිබුනා..

"නීති මදිනම් නීති හදනවා. මේ රට ගොඩගන්න ඕනෑ. පුළුවන්ද පරාජිත දේශපාලකයෙක්ට තමන්ගේ අහිමි වුනු වරප්‍රසාද නිසා, තමන්ට දඬුවම් ලැබෙයි කියලා, තමන්ගේ හොරකම් ආරක්ෂා කරගන්න, තමන්ගේ අපරාධ ආරක්ෂා කරගන්න, රටක් කුමන්ත්‍රණයක ගොදුරු බවට පත්වෙන්න ඕනෑ නෑ. ඒකට තමයි ආණ්ඩු හදලා තියෙන්නේ. ඒ අනිත් ආණ්ඩු කුමන්ත්‍රණවලට අල්ලන්න පුළුවන්. ඇල්ලුවානේ, 2001 ආණ්ඩු වැටුනේ කුමන්ත්‍රණයකින්. 2018 ආණ්ඩුව ඇල්ලුවේ කුමන්ත්‍රණයකින්. 2022 දී නම් එතුමා (රනිල්) ජනාධිපතිවුනේ පාවෙලා ඇවිල්ලා, ඒක මං කුමන්ත්‍රණයක් ලෙස දකින්නේ නෑ. හැබැයි අපේ ඉතිහාසයේ කුමන්ත්‍රණ තියෙනවා. ආණ්ඩු වැඩ කරනකොට ආණ්ඩුවලට එරෙහිව කුමන්ත්‍රණ හදලා තියෙනවා. අපි හඳුනාගෙන තියෙනවා. තැන තැන පුපුරන පාතාලේ පිපිරීම් පිළිබඳව,  අපි ඉතා හොඳ පරීක්ෂනයක් කරනවා. ඒවා කොහොමද සිද්ධ වෙන්නේ.? මොකක්ද මේ හදන්න හදන්නේ? "

කුමන්ත්‍රණයන් පරාජය කරන්න ගත හැකි හැම පියවරක්ම ගන්නවා...

"ඒ නිසා කවුරු හෝ කෙනෙක් රාජ්‍යයේ ඇතුලේ ඉඳගෙන, රාජ්‍යයෙන් එළියේ ඉඳගෙන නිලධාරීන්, දේශපාලකයෝ පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන, පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳගෙන කවුරු හෝ කෙනෙක් මේ රට ගොඩනගන්න යන මේ ගමනට, කවුරු හෝ කෙනෙක් කුමන්ත්‍රණකාරී ලෙස බිඳ වට්ටන්න උත්සාහ කරනවා නම්, කිසි කෙනෙක් කොතැනක හෝ ඉඳගෙන රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ කරන්න ලෑස්ති වෙනවා නම් ඒ කුමන්ත්‍රණයන් පරාජය කරන්න ගත හැකි හැම පියවරක්ම ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය තියනවා, මාධ්‍යවල ඕනෑ දෙයක් ලියන්න අපි කිසිවක් කරන්නේ නෑ. මාධ්‍ය හමු ඕනෑ තරම් තියන්න අපි කිසිවක් කරන්නේ නෑ. ගම්වලට ගිහිල්ලා දේශපාලනය කරන්න අපි කිසිවක් කරන්නේ නෑ . හැබැයි රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ කරන්න නම් ඉඩ තියන්නේ නෑ."

අපි දොරේ සද්දෙත් බෙරේ සද්දෙත් දෙකම හඳුනනවා..

" මං මේක කියන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි. කාදිනල් උන්නාන්සේට විරුද්ධව කරපු ප්‍රකාශයක් තියෙනවා. ව්‍යංගයෙන් කියනවා මොකක්ද? පාස්කු ප්‍රහාරය දා උන්වහන්සේ උදේ පූජාවට නොපැමිණියේ ප්‍රහාරයක් ගැන දැන ගෙනද කියලා සැකයක් එළියේ හදන්න හදනවා. උන්වහන්සේගේ පැත්තෙන් ඒකට මාධ්‍ය සාකච්ඡාවක් තියලා උත්තරයක් දීලා තිබුනා. මොකක්ද මේ කියන්න හදන්නේ? මේ ප්‍රහාරය සිද්ධ වෙන එක කාදිනල් උන්නාන්සෙත් දැනගෙන සිටියා ය කියලා. මේවා තමයි කුමන්ත්‍රණ..! ඒවා නිකම් වචන නොවෙයි. ඒ වචන කතාකරන මහත්තුරුන්ට මං අවධාරණය කරනවා. හැම වචනයක් පිළිබඳවම තමන් වගකීම ගන්න ඕනෑ. උදය ගම්මන්පිල ප්‍රකාශයක් කරලා තියනවා. ආණ්ඩුව විසින් එල්ටීටීඊ සාක්කියක් මත හිටපු නාවික හමුදාපතිවරයා අත් අඩංගුවටගත්තේ කියලා. හිටපු නාවික හමුදාපති අත් අඩංගුවට ගත්තේ අධිකරණ නියෝගයක් නිසා. විකෘතීන් හදන්න එපා. අපිට තේරෙනවා. මතක තියාගන්න. අපි දොරේ සද්දෙත් බෙරේ සද්දෙත් දෙකම හඳුනනවා. කොහොමද දොරට ගහන කොට, කොහොමද බෙරේට ගහන කොට?

"හරිද? ඒ නිසා මං නැවත කියන්නේ කොතනක හරි කෙනෙක් සිතුවිල්ලක් හරි තියෙනවා නම් කුමන්ත්‍රණයක් කරන්න, ඉඩ දෙන්නේ නෑ." යි ජනාධිපතිවරයා දැඩි ස්වරයෙන් පැවසීය..

ජනාධිපති අනුරගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න

---------------------------
by     (2025-08-07 21:08:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links