(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.09, ප.ව.10.25) පසුගිය දින 10කට ආසන්න කාලයක් තුළ විවිධ චෝදනා එල්ල වූ විනිසුරුවරුන් 6 දෙනකුගේ වැඩ තහනම් කිරීමට ක්‍රියා කළ අධිකරණ සේවා කොමිසමට තවත් විනිසුරුවරුන් 70කට අධික පිරිසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි හෙට නිකුත් වීමට නියමිත සිළුමිණ පුවත් පත වාර්තා කරයි.
ඒ ලැබී ඇති සියලු පැමිණිලි පිළිබඳ විමර්ශන පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරුවරයා ලෙස පත්වීමත් සමගම අධිකරණ සේවා කොමිසම මගින් අධිකරණ සේවයේ පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව පැවසේ.
විනිසුරුවරුන්ගේ නිල නිවාස ඇතුළු ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්ද කොමිසම දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ පිළිබඳ විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කිරීමට කොමිසම සූදානම් වේ.
අධිකරණ සුද්දය අරඹමින් පළමුවෙන් වැඩ තහනම් කෙරුණේ මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ වූ අතර ඒ හොර අලියෙක් තබා ගැනීමේ චෝදනාව ඇතුළු චෝදනාවන්ට ය. ලංකා ඊ නිව්ස් ඒ ගැන වාර්තා කෙළේය. දෙවැනිව වැඩ තහනම් කරන ලද්දේ මහියංගනය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ සහ අලුතින් මහේස්ත්‍රාත්වරුන් ලෙස පත්වූ පරිවාස කාලය හෝ අවසන් නොමැති විනිසුරුවරුන් තිදෙනකු ගේ ය. ඉන්පසුව ඊයේ(08) මඩකලපුව හිටපු මහේස්ත්‍රාත්වරයාගේ ද වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබිණ.
මීට අමතරව, මාරවිල හිටපු මහේස්ත්‍රාත් සහ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත්වරියගේ වැඩ තහනම් කිරීම මෙයට මාස කිහිපයකට පෙර සිදු කරනු ලැබීය. ඒ අනුව දැන් විනිසුරුවරු 8 කගේ වැඩ තහනම් කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ගාමිණී අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ අසුනට ව්‍යවස්ථාදායක සභාවෙන් මෙතෙක් කිසිවකු පත්කර නැත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් ය.
---------------------------
by (2025-08-09 16:57:11)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි