(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.11, ප.ව.11.30) 'රැකියා නැති උපාධිධාරීන්' හෙවත් රජයේ රැකියාවක්ම ලැබෙන තුරු බලා සිටිනා උපාධිධාරීහු පිරිසක් අද දිනයේ ද වැස්සේ තෙමෙමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දීත් ඉන්පසුව පැලවත්තේ ජවිපෙ පක්ෂ කාර්යාලය ඉරිදිපිට දීත් උද්ඝෝෂනයක යෙදුනාහ. ඒ සම්බන්ධයෙන් පළ කළ යූ ටියුබ් වාර්තා වලට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා ඔවුන්ට අනුකම්පාවකින් සලකා නොමැති බව දක්නට ලැබිණ.
මේ සමගම කියැවිය යුතු තවත් කාරණාවක් තිබේ. එනම් පසුගිය ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනුර දිසානායක සහ මාලිමාවේ කථිකයන් ප්‍රසිද්ධ රැළිවල දී ප්‍රකාශ කළ කාරණාවකි. ඔවුන් කීවේ රටේ තරුණ තරුණියන් අතර "ව්‍යවසායක පිස්සුවක්" ඇති කළ යුතු බවයි. එනම් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පිස්සුවක් තරුණ තරුණියන් අතර ඇති කළ යුතු බවයි. ඒ සඳහා ඔවුන් කී කතාවක් වූයේ දැනට බැංකු වලින් නව ව්‍යාපාර සඳහා කිසියම් ඇපයක් මත ලබා දෙන ණය මුදල් වෙනුවට ඕනෑම ව්‍යාපාරික ව්‍යාපෘති වාර්තාවක් පමණක් සලකා බලා ඇප නොමැතිව ණය ලබා ගැනීමට පහසුකම් සපයන බවයි. ඒ සඳහාම නව බැංකුවක් ආරම්භ කරන බවට ද මාලිමාව පොරොන්දු වූයේ ය.
මේ සම්බන්ධයෙන් මාලිමා ආණ්ඩුව පසුගිය අය වැයේ දී මුදල් වෙන් නොකළ නමුත් ලබන අය වැයෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන සපයන බවත් ඊට අදාල බැංකුව එනම් නව තරුණ ව්‍යවසායකයන්ට ඇප නැතිව ව්‍යාපෘති වාර්තාව පමණක් සලකා ණය ලබාගැනීමේ නව බැංකුවක් ලබන වසරේ දී ආරම්භ කරන බව කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති පසුගියදා ප්‍රකාශ කර තිබිණ.
එහි දිගුවක් වශයෙන් ආරම්භයේ දී නව ව්‍යවසායකයින් 1000 ක් බිහි කිරීමේ ජාතික වැඩ සටහනක් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් අද නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ. ඒ සඳහා ඉක්මනින් අයැදුම් කරන ලෙස ද දන්වා ඇති නිවේදනයේ දැක්වෙන අවසන් දිනය 2025 අගොස්තු 20 වැනි දා ය.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) 1000 ක් සවිබල ගන්වමින් ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා, ඵලදායිතාව සහ අපනයන හැකියාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නවෝත්පාදනමය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම වැඩසටහන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙය පළමුව ගම්පහ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ අතර එම නියමු ව්‍යාපෘතිය තුළදී ව්‍යාපාරිකයින් 100 දෙනෙකු සංවර්ධනය කරනු ලැබීය. එම අදියරයේ විශිෂ්ට සාර්ථකත්වය මත, මෙම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කරන ලදී.
ඒ අනුව, වැඩසටහනේ පළමු අදියර 2025 දී දිස්ත්‍රික්ක 17ක ආරම්භ කිරීමට නියමිත අතර ඉතිරි දිස්ත්‍රික්ක 8 හි මෙම වැඩසටහන 2026 මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන හරහා ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර තිරසරව වර්ධනය කර ගැනීම සඳහා උපදේශන සහය, පුහුණු කිරීම සහ අවශ්‍යය සම්පත්දායකත්වය ලබාදීම අපේක්ෂා කරයි.
එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය, රැකියා උත්පාදනය සහ අපනයන ආදායම වැඩි කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙනු ඇත.
මේ පිළිබඳව වැඩි විස්තර ජංගම දුරකතන අංක 077 66 13 0 42 මගින් ශ්‍යාමා ප්‍රනාන්දු මහත්මිය ඇමතීමෙන් ගත හැක.
2025 අගෝස්තු 20 වන දින හෝ එදිනට පෙර පහත සබැඳිය හරහා මෙම ව්‍යාපෘතිය සඳහා ලියාපදිංචි විය හැක.
---------------------------
by (2025-08-11 18:28:12)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි