~

හරිනි ලවා බොරු කියෙව්වා නම්, එය වරප්‍රසාද ප්‍රශ්නයක්..! නිවැරදිව කළ යුතු දේ මෙන්න..! ආනුභාවනන්දට ඌණ පූර්ණයක්..!

-අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම්, සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.12, පෙ.ව‍.8.35) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුම්ගත වී සිටින, රෝහිත රාජපක්ෂගේ ද දායකත්වය ඇති Supreme Sat සමාගම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පසුගිය බදාදා (6) අගමැතිනිය විසින් පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුර හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව තුළත්, සමස්ත රට තුළත් යම් විසංවාදයක් ඇති වී තිබේ.

මෙය විසංවාදයක් බවට පත් වූයේ අගමැතිනිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු නිවැරදි නැති බව ඊට පසු දා ඇමැති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමඟ ය.

ප්‍රශ්නයක් ඇසූ විට සාමාන්‍ය ක්‍රමවේදය..

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී, ජනාධිපතිගෙන්, අගමැතිගෙන් සහ ඇමැතිවරුන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයකට උත්තර ලියන්නේ ඒ අය නොවේ. ප්‍රශ්නයක් ඇසූ විට එම පැනය සහ ඊට පිළිතුරු ලබා දිය යුතු දිනය දක්වා, ඊට අවශ්‍ය පිළිතුරු ලබා දෙන ලෙස දන්වා අදාළ ආයතනයට හෝ ආයතන කීපයකට එය යොමු කරන්නේ, අගමැතිගේ හෝ ඇමැතිගේ අමාත්‍යංශ ලේකම්වරයා හෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් වරයා ය.

අදාළ ආයතනය හෝ ආයතන විසින් ලබා දෙන පිළිතුරු පිළිබඳව ඔවුන්ට සෑහීමකට පත්විය නොහැකි නම්, ඒවායේ අඩංගු කරුණු සම්බන්ධව නැවත විමසීමක් කිරීමට එම දෙදෙනාටම පියවර ගත හැකිය. එසේ ලබාගත් තොරතුරු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් විසින් යොමු කරනු ලබන්නේ අමාත්‍යංශ ලේකම්ට ය. පාර්ලිමේන්තුවට ලබා දිය යුතු පිළිතුර අවසාන වශයෙන් සකස් කිරීමේ වගකීම පැවරෙන්නේ අමාත්‍යංශ ලේකම්වරයාට ය. එය ඉන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අගමැතිට හෝ අදාළ ඇමැතිවරයා වෙත ලබා දෙනු ලැබේ.

තමන් අතට පත් වූ පිළිතුර පිළිබඳව අගමැතිවරයාට හෝ ඇමැතිවරුන්ට සෑහීමකට පත්විය නොහැකි නම්, එහි අඩංගු කරුණු පිළිබඳව නැවත විමසීමක් කළ හැකිය. අවශ්‍ය නම් නීති උපදෙස් පවා ලබා ගත හැකිය. මෙවැනි අවස්ථා වලදී පිළිතුරු දීම සඳහා තව සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් අවශ්‍ය බව අදාළ පිළිතුර ලබා දීමට නියමිතව ඇති දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දිය හැකිය. මන්දයත්, අසවල් ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නේ අසවල් දිනයේය කියා එය න්‍යාය පුස්තකයකයේ ඇතුළත් කරන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් නිසාය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මේවාට ඕනෑ තරම් ප්‍රතිපාදන තිබේ..

පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මේවාට ඕනෑ තරම් ප්‍රතිපාදන තිබේ. ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය යනු වසර 60 -70 ක් පැරණි එකකි. එතරම් කාලයක් තුළ මේවා පරීක්ෂණ වලට භාජනය වී ඉදිරියට පැමිණ ඇති සම්ප්‍රදායයන් ය.

හරිනි අගමැතිවරිය පසුගිය දා පාර්ලිමේන්තුවට ලබා දුන් පිළිතුරින් පෙන්නුම් කළේ ඉහතින් සඳහන් කළ ක්‍රියාදාමය හරි හැටි සිදු වී නොමැති බවකි. ඇතැම් විට අදාළ පිළිතුර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඇය කියවා බලා නැතිවා දැයි අපි නො දනිමු. මේ අනුව බලන විට ආණ්ඩුවේ පාර්ශවයෙන් අතපසුවීමක් සිදු වී ඇති බව පැහැදිලිය.

ඕනෑම දේශපාලකයකු බබලවන්නට හෝ නිවා දමන්නට..

මෙම අතපසුවීමේ එක් ප්‍රධාන සාධකයක් වන්නේ, අග්‍රාමාත්‍යවරියගේ කාර්ය මණ්ඩලයේ සිටින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ක්‍රියාවලියෙහි ඇති අඩුපාඩුය. සාමාන්‍යයෙන් කාර්ය මණ්ඩලයේ අය දේශපාලනික දැනුමක්, ඒ පිළිබඳ පරිචයක් ඇති අය වීම වැදගත් වන්නේ මේ නිසාය. එසේ දැනුමක් හෝ පරිචයක් නැති නම් ඔහු හෝ ඇය හෝ කළ යුත්තේ එවැනි දැනුමක් සහ පරිචයක් ඇති අයගෙන් සහය ලබා ගැනීමය. ඕනෑම දේශපාලකයකු බබලවන්නට හෝ නිවා දමන්නට ඔහුගේ හෝ ඇයගේ කාර්ය මණ්ඩලයට සෑහෙන විභවයක් ඇත.

ආණ්ඩුකරණයෙහි අත්දැකීම් අඩු පිරිසක් ආණ්ඩුකරණයේ යෙදෙන විට මෙවැනි අතපසුවීම් සිදු විය හැකිය. එය මහා අපරාධයක් ලෙස හුවා දක්වා අගමැතිනිය වහා ඉල්ලා අස්විය යුතු යැයි බෙරිහන් දී මහා වීරයන් ලෙස හැසිරෙන්නන්  දෙස බැලිය යුත්තේ අනුකම්පා සහගතවය. අතපසුවීම් විය හැකි වුවත්, මෙවැනි අතපසුවීම් හැකිතාක් දුරට අවම කර ගැනීම ආණ්ඩුවේ බලවත් වගකීමකි. එම වගකීමෙන් මිදීමට නම් කිසිසේත්ම ආණ්ඩුවට නොහැකි ය.

බරපතල වන්නේ කාරණයේ අනෙක් පැත්තය..

මේ එක් පැත්තකි. සැබැවින්ම බරපතල වන්නේ කාරණයේ අනෙක් පැත්තය. එනම්, අගමැතිනිය පාර්ලිමේන්තුවට ලබා දුන් පිළිතුර වැරැදි තොරතුරු මත සිදු වූවක් බව ආණ්ඩුවේම ඇමැතිවරයෙක් වූ වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව තුළදීමය. මෙය විසංවාදයකි. මේ කාරණා දෙකම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වී තිබේ.  ඇත්ත කුමක් දැයි මේ දක්වා පැහැදිලි කර නැත. හරිනි ඉදිරිපත් කළ කරුණු හරිද? වසන්ත සමරසිංහ ඉදිරිපත් කළ කරුණු හරිද? යන්න පිළිබඳව ඇත්තේ නො විසඳුණු ගැටළුවකි. මෙය විසඳාගත යුත්තේ සහ විසඳා ගත හැක්කේ ද පාර්ලිමේන්තුව තූළින්ම පමණි.

වසන්ත සමරසිංහ කියන පරිදි අගමැතිවරිය  නොමඟ යැවීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නිලධාරීන් විසින් වැරැදි සහගත තොරතුරු ලබා දී තිබේ. අධිකරණයට වැරැදි තොරතුරු ඉදිරිපත් කිරිම අපරාධයක් වනවා සේම, පාර්ලිමේන්තුවට වැරැදි තොරතුරු ඉදිරිපත් කිරීම ද අපරාධයකි. ලාංකීය රාජ්‍යය පවතින මුල් ගල් තුන වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යයි. මේවාට බොරු ඉදිරිපත් කර නොමඟ යැවිය නො හැකිය.

වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව ඉතා පැහැදිලිය

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතා පරමාධිපත්‍යය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. වැරැදි හා අසත්‍ය තොරතුරු ලබා දී ඒ අය නොමඟ යැවූ විට, ඒ අය විසින් ගන්නා තීන්දු හා තීරණ රටේ ජනතාවට හා රටේ ඉරණමට ඍජු ලෙස බලපායි. මේ අනුව ගත් විට පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මත අගමැතිවරියගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව ඉතා පැහැදිලිය. අවසාන වශයෙන් ගත් කල එය රටේ සමස්ත ජනතාවගේ ම වරප්‍රසාද උල්ලංඝනය කිරීමකි.

එක් පැත්තකින් පාර්ලිමේන්තුව තුළ විසංවාදයක්, ප්‍රතිවිරෝධයක් පවතී. අනෙක් අතට එය හැන්සාඩ් ගත වී තිබේ. එනිසා මෙය විසඳාගත යුත්තේ පාර්ලිමේන්තුව තුළින්ම පමණි.

ඇත්ත නිවැරදිව කීමට පාර්ලිමේන්තුව බැඳී සිටී..

හරිනි කීවේ ඇත්ත ද? වසන්ත කියන්නේ ඇත්තද යන්න නිවැරැදිව සොයා බලා රටට, සමාජයට ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුව බැඳී සිටියි. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ඇති එකම ක්‍රමවත් ක්‍රියාමාර්ගය වන්නේ අදාළ ආයතන සියල්ල පාර්ලිමේන්තූ වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවා විමර්ශනය කිරීම පමණි. 

අදාළ සියලු ආයතන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවන්න..

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, Supreme Sat සමාගම, විගණකාධිපති දෙපාර්තමේන්තුව, සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී මීට අදාළ සියලු ආයතන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවා විමර්ශනය කළ යුතුය. එවිට මෙම ප්‍රස්තුත කාරණයට අදාළ තවත් සැඟැවුණු කරුණු ඇතුලු සියලු තොරතුරු රට හමුවේ හෙළිකර ගත හැකි වනු ඇත. එසේ නොකොට BOI නෝනා පස්සෙන් පමණක් හඹා යෑමට කටයුතු කළ හොත් නැවත සිදුවිය හැක්කේ රාජපක්ෂලා සහ ඔවුන්ගේ ඕනෑ එපා කම් සපුරමින් තවමත් වෙස් බඳිමින් සිටින දූෂිත නිලධාරීන් එක්ව කපන තවත් බොරු වලක වැටීමට සිදුවීමය.

වැටුණු බොරු වලෙන් ඇති වූ කම්පනය භාවිතා කොට නිවැරැදි ඉලක්කය වෙත ලඟා වීමට මේ ආණ්ඩුව නිවැරැදි ප්‍රතිපාදනය තෝරා ගනු ඇතැයි අපි හුදෙක්ම විශ්වාස කරමු.

-සුනිල් ගාමිණී ජයලත්ගේ

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106

ආනුභාවනන්දගේ සබැඳි ලිපිය
*හරිනි එන්න මල් පිපීලාදැයි බලන්න..!

---------------------------
by     (2025-08-12 03:14:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links