-LEN ඉංග්‍රීසි සංස්කරණයේ අගෝස්තු 9 දා පළවූ ගවේෂණශීලී වාර්තාකරුවකුගේ වාර්තාවක් සිංහලට නැගුවේ සංජය දසනායක
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.12, ප.ව.6.10) මහින්ද රාජපක්ෂ පවුලේ බාලයා වන චිචිගේ ''රොකට්ටුව'' පිලිබඳ කථාව නැවත වරක් කරලියට පැමිණියේ අගමැතිනි හරිනි අමරසුරිය විසින් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව පිළිබඳව ඩී.වී.චානක මන්ත්‍රීවරයා විසින් වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් අසන ලද ප්‍රශ්ණයකට දෙන ලද පිළිතුරකින් පසුවය. ඇය එම පිළිතුරෙන් පැවසුවේ Supreme Sat සමාගම ශ්‍රී ලංකාවේදී සිදුකළ ආයෝජනය සඳහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු මුදලක් වැයකර නැති බවයි.
එම පිළිතුරෙන් පසුව මෙතෙක් කළක් ''චිචිගේ රොකට්ටුව'' සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 320ක් හොර රහසේ ලබා දී ඇති බවට සමාජගත වී තිබු මතය උඩු යටිකුරු විය. NPP රජය බලයට පත්කිරීමට වෙහෙසුනු කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරෙන් අගමැතිනිය විසින් ලබාදුන් එම පිළිතුරෙන් පසු උද්දාමයට පත් රාජපක්ෂ පිළ මල්වෙඩි ගසද්දී, රාජපක්ෂලාගේ මහා පරිමාණ දුෂණ, වංචා පිළිබඳව තොරතුරු සමාජ ගත කළ ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ NPP රජය වැටුනේ අලි අමාරුවකය.
අගමැතිනි හරිනි අමරසුරිය පාර්ලිමේන්තුවේදී පැවසුවේ වර්ෂ 2019 වනවිට Supreme SAT Pvt Ltd ආයතනයේ කොටස් සමාගම් දෙකකට හිමිව ඇති බවත්, ඒ අනුව Supreme Sat Investment Pvt Ltd සමාගමට එහි කොටස් එකතුවෙන් 20% ක් හෙවත් කොටස් 471 80 200 ක්ද, Supreme Global Holding Ltd සමාගමට කොටස් නිකුතුවෙන් 80%ක් හෙවත් කොටස් 1883 44 979 ක්ද හිමි බවයි. ඊට අමතරව ඇය ලබා දුන් පිළිතුරට අනුව පහත දැක්වෙන වර්ෂ වලදී මෙම සමාගම;
2015 - 2016 මිලියන 19617, 2016 - 2017 මිලියන 28133, 2017 - 2018 මිලියන 29106, 2018 - 2019 මිලියන 34169, 2019 - 2020 මිලියන 42960, 2020 - 2021 මිලියන 62545, 2021 - 2022 මිලියන 87789, 2023 මුල් මාස 06 මිලියන 39590 පරිදි ලාභ ලබා ඇති අතර සමාගම මුලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 12 කට අධික මුදලක් වැයකර තිබේ.
හරිනිගේ පිළිතුරෙන් රාජපක්ෂ පවුලට එරෙහිව නගා ඇති මහා පරිමාන දුෂණ කථා බොරු බව ඔප්පුවී ඇතැයි රාජපක්ෂලාට හිතවත් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ පිණුම් ගැසුහ. මේ හේතුව නිසා NPP රජය බලවත් අවුලකට පත්වූ අතර NPP ය බලයට පත්කළ මහජනතාව ඉදිරියේ ආණ්ඩු පක්ෂය පත්වූයේ ඉමහත් අපහසුතාවයකටය.
මේ හේතුව නිසාම පාර්ලිමේන්තුවේදී ඇමති වසන්ත සමරසිංහ විසින් අගමැතිනිය හා ආණ්ඩුවට සිදුවූ අපහසුතාවය සමනය කර ගැනීම සඳහා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අගමැතිනිය නොමග යවා ව්‍යාජ දත්ත ඇතුලත් වාර්තාවක් ලබා දී ඇතැයිද, ඒ නිසාම ශ්‍රීලංකාවේ එකම අභ්‍යාවකාශ ඉංජිනේරුවා යයි ඔහු විසින්ම හඳුන්වාගන්නා හිටපු ජනාධිපතිගේ පුත් 'චිචි' හෙවත් රෝහිත රාජපක්ෂ හා එක්ව ආර්.එම්. මනිවන්නන් නමැත්තාට අයත් යැයි කියන Supreme-sat සමාගම පිළිබඳව කතාව හෙළිකර ගැනීමට කාලය පැමිණ ඇතැයිද ප්‍රකාශ කළේය.
චිචිගේ රොකට්ටුව පිළිබඳ කතාව පට්ට ගැසූ එදා විපක්ෂය හා වර්තමාන NPP රජය තමන්ගේම අගමැතිනියගේ පිළිතුරෙන් යන එනමං නොමැතිව අතරමං වෙත්දී , අගමැතිනිය කල ප්‍රකාශය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් බොරු වාර්තා ලබා දී ඇති බව ඇමති වසන්ත සමරසිංහ ඊට පසුවදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා එම්. වීරකෝන් විසින් මෙම බොරු වාර්තා අගමැතිනියට දී ඇතැයිද මෙම අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේදී , ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍යවරයා වූ ඩී.වී.චානකගේ නිර්දේශ මත ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්කල තැනැත්තියක් බවත් NPP යට ලැදී සමාජ මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ආණ්ඩුව මේ පිලිබඳව ඇමති වසන්ත සමරසිංහගේ ප්‍රකාශය හැර වෙනත් නිල ප්‍රකාශයක් තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැත.
වසන්ත සමරසිංහ පවසන පරිදි 2014 වසරේදී Supreme SAT Pvt Ltd හි ගිණුම් ප්‍රකාශයෙන් මුලික ප්‍රාග් ධනය වූ රුපියල් බිලියන 12 ප්‍රමාණය අතුරුදන් වී ඇත. එය සිදු වුයේ කෙසේදැයි විමර්ශනය කරන බව සමරසිංහ පවසයි. එසේම මෙම සමාගම පසු පස සිටින සැඟවුණු හිමිකරුවන් කව්ද යන්න විමර්ශනය කරන බව හෙතෙම පවසයි.
Supreme SAT Global Holdings Ltd ආයතනය ඩොලර් මිලියන 220ක ආයෝජනයකින් 2011 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර එහි හිමිකරු ආර්. එම්.මනිවන්නන් (සේයාරුවේ ඇත) නමැති කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයෙකි. මෙම සමාගමේ සෙසු අධ්‍යක්ෂවරුන් බවට වාර්තාවී තිබුනේ බ්‍රිතාන්‍ය ජාතික බාලජී රාමස්වාමි නම් අයෙක් හා බාලසුබ්‍රමනියම් සීතාරාමන් නමැත්තෙකි.
මෙම Supreme SAT Global Holdings සමාගම යටතේ ලියාපදිංචි කරන ලද Supreme Sat (Pvt.) Ltd නම්, එස්. සුදර්ශන් , කේ. එස්. ඩබ්ලිව් ප්‍රනාන්දු සහ වයි. සත්‍යසීලන් නමැති පුද්ගලයන් අධ්‍යක්ෂ වරුන් ලෙස කටයුතු කරන ආයතනය 2012 වසරේදී ශ්‍රීලංකාවේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස Supreme Sat-1 නම් සන්නිවේදන චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට අයත් අභ්‍යාවකාශය පරාසයට මුදා හැරීමේ ව්‍යාපෘතියකට මුල පුරයි. මෙම ව්‍යාපෘතියේ මුලික ආයෝජනය රුපියල් මිලියන 12105 කි.
එහෙත් එක විටම රුපියල් මිලියන 12105 ක ප්‍රාග් ධනයක් සහිත මෙවැනි සමාගමක් ආරම්භ කර Supreme SAT-I නමින් තොරතුරු සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට මුදාහරින්නට තරම් හැකියාවක් මෙම සමාගමට ලැබුනේ කෙසේද යන්න විශ්මයකි.
කෙසේ වෙතත් 2011දී ආරම්භ කරන ලද Supreme Global Holdings සමාගම 2024 නොවැම්බර් 19 දින හදිසියේම විසිරුවාහැර තිබේ.
කෙසේ වෙතත් 2011දී ආරම්භ කරන ලද Supreme Global Holdings සමාගම 2012 වසරේදී චීනයේ China Great Wall Industry Corporation නම් චන්ද්‍රිකා සන්නිවේදන සමාගම හා එක්ව 2012.11.12 වැනි දින Supreme SAT-I නමින් චන්ද්‍රිකාවක් ශ්‍රීලංකාවට අයත් අභ්‍යාවකාශ පරාසයේ කක්ෂගත කරනු ලබයි. එහෙත් එකල මාධ්‍ය වාර්තාවලට අනුව චීන China Great Wall Industry Corporation සමාගම විසින් දියත් කරන්නට නියමිතව තිබු China Sat-12 සන්නිවේදන චන්ද්‍රිකාව මනිවන්නන්ගේ Supreme Global Holdings සමාගමේ ඉල්ලීම මත Supreme SAT-I නමින් වෙනස් කර අභ්‍යාවකාශයට ගුවන් ගත කල බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ වරෙක තමන්ව හඳුන්වා දුන්නේ අභ්‍යාවකාශ තාක්ෂණ විෂය උගත් ශ්‍රී ලංකාවේ සිටින එකම අභ්‍යවකාශ තාක්ෂණ ඉංජිනේරුවා වශයෙනි. මෙම කතාබහට මුල්වූ Supreme Sat-1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කල China Great Wall Industry Corporation සමාගම යටතේ ඔහු Technical Director හෙවත් Supreme Sat-1 ව්‍යාපෘතියේ ප්‍රධාන චන්ද්‍රිකා තාක්ෂණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල බව එම සමාගම ප්‍රකාශ කරයි.
රොකට් තාක්ෂණය හා චන්ද්‍රිකා තාක්ෂණයෙන් අගතැන්පත් චීනය වැනි රටක අභ්‍යාවකාශ වැඩසටහන් වල ප්‍රධාන කොටස් කරුවා වන China Great Wall Industry Corporation ආයතනයේ Supreme Sat-1 ව්‍යාපෘතියේ ප්‍රධාන තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට රෝහිත රාජපක්ෂව එම සමාගමට නිර්දේශ කරන ලද්දේ කව්රුන්ද යන්නත් ඔහු ඒ සඳහා සුදුසු පුද්ගයෙකුදැයි සොයා බැලිය යුතු කාරණයකි.
චිචි ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සොයා බලන විට අන්තර්ජාලය තුල කුලියට ලියන ශ්‍රී ලංකාවේ වෙබ්අඩවියක් වන Financial Times හි 2014 අගෝස්තු 20 දින මෙසේ ප්‍රවෘත්තියක් ඇත. එම වෙබ් අඩවිය රනිල් වික්‍රමසිංහගේ මාමාගේ විජය පුවත්පත් සමුහ ආයතනය යටතේ පාලනය වන වෙබ් අඩවියකි. එහි සිංහල පරිවර්තනය මෙසේය.
''ජනාධිපති මහින්දගේ බාල පුත්‍රයා සහ බ්‍රිතාන්‍යයේ සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් (University of Southampton) උපාධිය ලබා ඇති අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු වන රෝහිත රාජපක්ෂ, දැනට බ්‍රිතාන්‍යයේ සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධිය සඳහා හදාරමින් සිටී.
අභ්‍යවකාශ සුන්බුන් අවම කිරීම සහ උපාය මාර්ග විශ්ලේෂණය ප්‍රශස්තිකරණය කිරීම පිළිබඳ අඛණ්ඩ පර්යේෂණයේ පළමු වසර සම්පූර්ණ කිරීමත් සමඟ. ඉතා කීර්තිමත් ඉන්දියානු විද්‍යා හා තාක්ෂණ සඟරාවේ 2014 ජූලි කලාපයේ ජේ.කේ. විජේරත්න සමඟ රෝහිත රාජපක්ෂ විසින් ලියන ලද ලිපියක් ප්‍රකාශයට පත් කර ඇත. රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා චන්ද්‍රිකා ක්‍රියාකරු සුප්‍රීම්සැට් හි ප්‍රධාන තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන අතර නුදුරු අනාගතයේ දී වෘත්තීය ගගනගාමියෙකු වීමට ඔහුගේ උත්සාහයන් දිගටම කරගෙන යයි. මේ සම්බන්ධයෙන් මූලික පුහුණුව දැනටමත් චීනයේ බීජිං හි චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව (CAST) විසින් ලබා දී ඇත''.
ඊට අමතරව Researchgate.net නම් වෙබ් අඩවියක චන්දන රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව ආචාර්ය උපාධියක් ඇති අයෙකු බව සඳහන් වේ.
2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමගම රාජපක්ෂවරුන් අත තිබු ව්‍යාපාර බොහොමයක් ඔවුන්ට හිතවත් අය වෙත රහසේ පවරා දී ඇති බව 2015 න් පසු එක්වරම කෝටිපතියන් වූ අය පිළිබඳව මේ රටේ මුල්‍ය අපරාධ විමර්ශන අංශය සොයා බැලුවහොත් හෙළිකර ගන්නට අපහසු නොවේ.
එලෙසින්ම යෝෂිත රාජපක්ෂ සභාපතිත්වය දැරූ රාජපක්ෂ පවුලේ රුපවාහිනී නාලිකාව වන Carlton Sports Network හෙවත් CSN නාලිකාව දැන් එම UHF සංඛ්‍යාත භාවිත කරමින් Supreme TV නමින් පවත්වාගෙන යනු ලබයි. එම සංඛ්‍යාත වන්නේ UHF 47 (පිදුරුතලාගල), UHF 28 (දකුණු පළාත - දෙනියාය / ගෝනගල), UHF 56 (සබරගමුව - රත්නපුර) සහ UHF 32 (මධ්‍යම / උතුරු මැද - කරගහතැන්න) ඒවාය.
CSN නාලිකාව පසුගිය කාලයේදී මනිවන්නන්ගේ Supreme Holdings (Pvt) Ltd. ආයතනය යටතට පැවරුවේ කෙසේද යන්නත් මේ පිලිබඳ පවත්වන පුර්ණ විමර්ශනයකදී හෙළිකර ගත යුතුය.
ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයේ උච්චතම අවස්ථාවේදී, ආර්. එම්. මනිවන්නන් (මෙහි දැක්වෙන සේයාරුවේ දැක්වේ) සභාපතිත්වය දැරූ Supreme Global Holdings සමාගම රනිල්ගේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයු ප්‍රධාන සැපයුම් කරුවෙක් ලෙස මතු විය.
ඉන්ධන සැපයීම සඳහා මෙම සමාගම ජාත්‍යන්තර සැපයුම් කරුවන් වෙත ඇ.ඩො. බිලියනයක ඇපකරයක් ලබාදී ඉන්ධන සැපයීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් කරනු ලබන ගෙවීම් ශ්‍රී ලංකා රුපියල් වලින් ලබා ගැනීමට තරම් කාරුණික වී තිබේ. ඊට අමතරව ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත්ව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට ඩොලර් බිලියන 1.5 කට වඩා ණය ලබා දී ඇති බව Supreme Global Holdings සමාගම ප්‍රකාශ කර ඇත.
මේ පිලිබඳ ජ්‍යෙෂ්ඨ මූල්‍ය විශ්ලේෂකයින්ට අනුව, ඉන්ධන සැපයීම සඳහා ජාත්‍යන්තර ඇපකර තැබිය හැක්කේ විශාල විදේශ විනිමය සංචිත විදේශයන්හි ඇති සමාගම් වලට පමණි. දැනටමත් ශ්‍රීලංකාවේ විදේශ සංචිත සොරකම් කර රහස් විදේශ ගිණුම් වල තැන්පත්කර ඇති බවට චෝදනා ලබා සිටින රාජපක්ෂ පවුලට සම්බන්ධ මෙම රහස් මුල්‍ය සංචිත හරහා මෙම ජාත්‍යන්තර ඇපකර ලබාදී ඇතිබව මුල්‍ය අපරාධ විශ්ලේෂකයන්ගේ මතයයි. ජ්‍යෙෂ්ඨ මූල්‍ය විශ්ලේෂකයින්ට අනුව, මෙම අරමුදල් එකම දේශපාලන-ව්‍යාපාරික සම්බන්ධතාවයක් තුළ පාලනය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
කෙසේ වෙතත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ධනය සොරකම් කර විදේශයන්හි හොර රහසේ සඟවා ඇති රාජපක්ෂ පවුල එම මුදල් රහස් ක්‍රම හරහා සිය හිතවතුන් නමින් ලියාපදිංචි කරන ලද විවිධ සමාගම් ඔස්සේ නැවත ශ්‍රී ලංකාවේ කරනු ලබන මෙවන් ආයෝජනයන් ගැන සොයා බැලීම පිළිබඳව වර්තමාන රජයට ඇති විශාල වගකීමක් හා යුතුකමක් ඇත. එහෙත් මේ වනවිට රාජපක්ෂවරුන්ට විරුද්ධව අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති චෝදනා දෙස බැලීමේදී රටෙන් හොරකම් කර සඟවා ඇති ධනය නැවත මෙරටට ගෙන එන්නට ක්‍රමවත් විමර්ශනයක් තවමත් ආරම්භ වී නොමැති බව පෙනේ.
-LEN ඉංග්‍රීසි සංස්කරණයේ ගවේෂණශීලී වාර්තාකරුවකුගේ වාර්තාවක් සිංහලට නැගුවේ
---------------------------
by (2025-08-12 18:53:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි