(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.12, ප.ව.7.10) ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. (සේයාරුවක දැක්වේ) ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. (සේයාරුවක දැක්වේ) ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.
ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්‍යවේදීන්ට තහනම් කර ඇති පසුබිමක එහි සිට වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ සංහාරයේ ගොදුරු බවට පත්ව සිටින ජනයාගේ හඬ නිහඬ කිරීමට බැවින් ඒ පිළිබඳව අපගේ දැඩි විරෝධය පළ කරන්නෙමු.
Committee to Protect Journalists (CPJ) වාර්තාවලට අනුව 2023 ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා පලස්තීනයේදී ඝාතනය කර ඇති මාධ්‍යවේදීන් ගණන 186 කි. BBC, AP, සහ AFP ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් තම වාර්තාකරුවන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා අවධාරණය කළ අතර ඔවුන්ට යැපීමට තරම් ආහාර හෝ නොමැති බව සඳහන් කළේය. BBC සේවය වාර්තාවක් මුදා හරිමින්, දින ගණනක් නිරාහාරව සිටි තමන්ගේ නිදහස් සේවකයින් තිදෙනෙකු හා ඔවුන්ගේ පවුල් පිළිබඳ හෙළිදරව්වක් කළේය.
මේ ඊශ්‍රායල් ආණ්ඩුව පලස්තීන ජනසංහාරය අතරතුර දියත් කර ඇති මාධ්‍ය මර්දනයේ සැබෑ ස්වරූපයයි. රටක ජාතික ආරක්ෂාව සළසා ගැනීම හෝ ත්‍රස්තවාදයට පිළිතුරු දීම තුළ හෝ පවත්නා සැබෑ වුවමනාව ඉක්මවා සිදුවන මේ සියලු සංහාර ද එහි ගොදුරු බවට පත්ව සිටින පලස්තීන ජනතාවගේ හඬ නිහඬ කිරීමට සිදුවන මාධ්‍ය මර්දනයද හෙළා දැකීමට අප හා එක්වන මෙන් සමස්ත ලෝක ප්‍රජාවගෙන් අපි ඉල්ලා සිටිමු.!
---------------------------
by (2025-08-12 13:43:01)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි