(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.13, ප.ව.11.00) ශ්‍රී ලංකාවේ ඉතාම දූෂිත ආයතන වලින් එකක් ලෙස බන්ධනාගාර රෝහල සැලකිය හැකිය. බන්ධනාගාර ගත වන ඕනෑම රැඳැවියකුට මුදල් බලය, දේශපාලන බලය, හිතවත්කම් තිබේනම්, ඉහෙන් බහින රෝගයක් නැතත්, බන්ධනාගාරයේ සිරමැදිරියක නොසිට බන්ධනාගාර රෝහලේ වාට්ටුවක විවේකීව ගත කළ හැකිය. දුමින්ද සිල්වා වැනි අය මෙලෙස වසර ගණන් ගත කර තිබේ. දුමින්ද සිල්වාට සිර මැදිරියකට ගාල් වන්නට සිදුවූයේ වත්මන් ජනතාවගේ බලය වූ මාලිමා ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව ය.
තත්ත්වය මෙසේ තිබිය දී බන්ධනාගාර රෝහලේ දූෂන ගැන කිසිවෙකු නීතියට හසු නොවන්නේ මන්දැයි නීතිප්‍රේමී ජනතාව අතර කුකුසක් තිබුණු නමුත් අද ඒ කුකුස නැති විය. ඒ හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ නමැත්තා අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අද අත් අඩංගුවට ගැනීම නිසා ය.
2024 වර්ෂයේදී, බූස්සේ බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, යළි බූස්සට නොයවා තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 1,500,000 ක් ඉල්ලා ඉන් රුපියල් 300,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දොස්තර හේමන්ත රණසිංහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී. අත් අඩංගුවට ගන්නා තුරු අල්ලස් කොමිසම ඔහු ගැන සොයන බවක් ඔහු දැන සිටියේ නැත. නැතිනම් රාජිතලා රතනලා හිල්ඔළුවලා මෙන් ඔහුද අතුරුදහන් වනු ඇත.
අදාල ලක්ෂ 3 රැඳවියාගේ බිරිඳ විසින් දොස්තර හේමන්ත රණසිංහ කී ඔහුගේ බැංකු ගිණුමක තැන්පත් කර තිබේ. පැමිණිලි කාරිය වන්නේ එකී බිරිඳ ය.
2024 වසරේ අල්ලස් ගනිද්දී බන්ධනාගාර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වූ ඔහු අද අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනිද්දී අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැ.බ) ලෙස කටයුතු කරමින් සිටියේ ය.
අත් අඩංගුවට ගත් දොස්තර හේමන්ත රණසිංහ අද සවස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක වෙත ඉදිරිපත් කෙරිණ. එහිදී දොස්තර වරයාගේ නීතිඥයන් කියා සිටියේ තම සේවාදායකයා කිසිවෙකුගෙන් අල්ලස් ඉල්ලා නැති බවයි. නමුත් ඔවුන් දොස්තරගේ ගිණුමට ලක්ෂ 3 ක් වැටී නැතැයි කීවේ නැත. නොදන්නා කිසිවෙකුට අනුන්ගේ ගිණුමකට ලක්ෂ 3 ක් දැමීමේ රුදාවක් ද නැත. අනෙක් අතට ඔහු රැඳැවියාට තම ගිණුම් අංකය නොදුන්නා නම් රැඳැවියාගේ බිරිඳට දොස්තර ගේ ගිණුම් අංකය දැන ගැනීමට හැකියාවක් ද නැත. අල්ලස් ගෙන හසුවූ විට මෙවැනි දූෂිතයෝ සුරංගනා කතා කියති.
දෙපාර්ශවයේම නීතිඥවරුන්ගේ කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක දොස්තර හේමන්ත රණසිංහ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කෙළේ ය.
බන්ධනාගාර ලොක්කා තමන්ගේම සිර ගෙදර සිරබත් කා දැන් ඉන්නේ ඇප මත ය. බන්ධනාගාර රෝහලේ තවත් දූෂිත දොස්තරලා සිටියෝ ය. ලංකා ඊ නිව්ස් වරින්වර ඔවුන් ගැන තොරතුරු වාර්තා කර තිබිණ. උනට ද මේ සබ්බුවම ලැබෙනු ඇතැයි නීතිප්‍රේමී ජනතාව බලාපොරොත්තු වෙති.
---------------------------
by (2025-08-13 19:52:44)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි