(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.14, ප.ව.11.00) නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් මූලස්ථානයේ දී තම ධූරයේ රාජකාරී ආරම්භ කළ අද(14) දවසේම පොලිසියේ ඉහල නිලධාරියෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රන්ජන් හියාරේ ගමගේ හෙවත් එස්එස්පී සතිෂ් ගමගේ අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ෂන කොමිෂන් සභාව මගින් අත් අඩංගුවට ගැනීම සුවිශේෂී සිද්ධියකි.
අත් අඩංගුවට ගන්නා විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ රාජකාරි කරමින් සිටියේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) වැඩබලන අධ්‍යක්ෂ වරයා ලෙස ය. අත් අඩංගුවට ගත්තේ ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරි කරමින් සිටිය දී ය.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියේ මූලස්ථාන දෙකක දී දෙවිදියක සිදුවීම් දෙකක් ලෙස පෙනුන ද මෙය සමස්ථ චිත්‍රයේ දී එකම සිදුවීමකි. එනම් අදූෂිත පොලිසියක් සඳහා යන ගමනක එකම සිද්ධියකි.
අල්ලස් චෝදනා එල්ල වන විට සතිෂ් ගමගේ සේවය කරමින් සිට ඇත්තේ ගාල්ල සහ ඇඹිලිපිටිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙසය. ඒ කාලයේ දී මාස 8 ක් වැනි සුළු කාලයක් තුල ඔහු රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් අල්ලස් සහ කප්පම් වශයෙන් ලබාගෙන තිබේ. මෙම මුදල දැනට හෙළි වී ඇති මුදල පමණක් බව සැලකිය යුතු ය.
සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, වෙනත් අපරාධකරුවන්ගෙන්, නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථාන වලින් සහ තමන්ගෙන් සේවය ලබා ගැනීමට එන අයගෙන් මේ දූෂිත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අල්ලස් ලබාගෙන ඇතැයි අල්ලස් කොමිසම අද අධීකරණයට කරුණු වාර්තා කෙළේ ය.
ගාල්ල ඇඹිලිපිටිය ප්‍රදේශයන්හි පමණක් නොව මුළු පොලිසිය පුරාමත් එස්එස්පී සතිෂ් ගමගේ යනු අල්ලස් ගන්නා අන්ත දූෂිතයෙකු බව දැන සිටි නමුත් සිද්ධිය පිළිබඳ කොළඹ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට මුලින්ම සාක්ෂි සහිතව කරුණු හෙළිවී ඇත්තේ මෙසේ ය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන 'දුලාජ් තරංග' නමැත්තා සීඅයිඩිය මගින් අත් අඩංගුවට ගෙන විමර්ශන සිදුකරද්දී ඔහුගේ වට්ස් ඇප් අංකයට පැමිණ තිබූ මැසේජ් 3 ක් ගැන විමර්ශකයන්ගේ අවධානය යොමු වී ඇත. ඒවායේ තිබී ඇත්තේ 'අනුර නානායක්කාර' නමැති අයෙකුගේ ගිණුම් 3 ක් පිළිබඳ විස්තරයි. දුලාජ් තරංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ඒ ගිණුම් 3 ට වරින් වර මුදල් තැන්පත් කර තිබේ. ඒ අනුව සීඅයිඩිය 'අනුර නානායක්කාර' අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී අනුර නානායක්කාර කියා ඇත්තේ එම ගිණුම් තමාගේ නොව එහි සත්‍ය හිමිකරුවා එස්එස්පී සතිෂ් ගමගේ බවයි. වැඩි දුරටත් එම ගිණුම් පරීක්ෂා කිරීමේ දී හෙළිදරව් වී ඇත්තේ 'දුලාජ් තරංග' පමණක් නොව තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙම ගිණුම් වලට මුදල් තැන්පත් කර ඇති බවයි. තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන ලක්ෂාන් ද සොයියා විජේසිංහ හෙවත් "රත්ගම විදුර" නමැත්තා ද මෙම ගිණුම් වලට මුදල් තැන්පත් කර ඇති එවන් අයෙකි.
සීඅයිඩියේ මෙම විමර්ශන ආරම්භ වූයේ 2024 වර්ෂයේ පසුගිය ආණ්ඩු කාලයේ දේශබන්දු පොලිස්පතිව සිටි කාලයේ දී ය. සතිෂ් ගමගේට එරෙහි විමර්ශන ඉදිරියට යද්දී දේශබන්දුගෙන් ලැබුණු නියෝග අනුව විමර්ශන යට ගිය අතර සතිෂ් ගමගේ නිරුපද්‍රිත විය.
ජනතාවගේ ආණ්ඩුව හෙවත් මාලිමා ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු මෙම විමර්ශන යලි ආරම්භ වු අතර සීඅයිඩියේ විමර්ශන වල තොරතුරු ද අල්ලස් කොමිසම වෙත බාර දී ඉතිරි විමර්ශන අල්ලස් කොමිසම විසින් සිදු කෙරිණ. අල්ලස් කොමිසමේ විමර්ශන වල දී අනාවරණය වූයේ තවත් සාක්ෂි ගණනාවකි. එනම් සතිෂ් ගමගේ ගේ ආරක්ෂක නිලධාරියා විසින් ඉහත කී අනුර නානායක්කාර නමින් තිබූ ගිණුම් තුනට අවස්ථා සියයකට වඩා වැඩි වාර ගණනක දී කෑෂ් වශයෙන් මුදල් තැන්පත් කර තිබිණ. එමෙන්ම සතිෂ් ගමගේ ගේ රියැදුරා අවස්ථා පනකට වැඩි වාර ගණනක දී රුපියල් ලක්ෂ 14 කට වැඩි මුදලක් කෑෂ් වශයෙන් තැන්පත් කර තිබිණ. එසේ නම් තවත් සාක්ෂි කුමකට ද?
අල්ලස් කොමිසමේ විමර්ශන වලදී හෙළි වූ තවත් සාක්ෂි නම් විදෙස්ගත ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් අවස්ථා 3 ක දී මෙම ගිණුම් වලට මිලියන ගණන් මුදල් බැර කර තිබීමයි. අමිල පරණවිතාන නමැති තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද මෙම ගිණුම් වලට මුදල් බැර කර තිබී ඇති බව කොමිසමේ විමර්ශන වල දී හෙළි විය.
ඒ අනුව අද ප්‍රියන්ත වීරසූරිය නව පොලිස්පතිවරයා ලෙස දිව්රුම් දෙද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ රාජකාරි කරමින් සිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී ම ඔහු අත් අඩංගුවට ගත්තේ ය.
අත් අඩංගුවට ගත් මේ දූෂිත නිලධාරියා අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළා ය.
(සේයාරුවේ ඉන්නේ එස්එස්පී සතිෂ් ගමගේ ය)
---------------------------
by (2025-08-14 18:15:07)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි