~

නව පොලිස්පති රාජකාරි අරඹද්දී කළ ඓතිහාසික ප්‍රකාශය නේවි, ආමි හමුදාපතිලාට ගැසූ කණේ පාරක්..!

-චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.14, ප.ව‍.11.30) නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද නමෝ විත්තියෙන් කියා රාජකාරි අරඹමින් මාධ්‍ය අමතා කළ වැදගත්, ඓතිහාසික ප්‍රකාශයක් විය. එය ඔහුගේම වචනයෙන් නම් මෙසේ ය.

"පොලිසියේ අපරාධකාරයෝ බිහි වෙලා හිටියා. එවැනි අවස්ථාවකට මං ඉඩ තියන්නේ නෑ. පොලිසියේ නිලධාරියෙක් යම් අපරාධයක් කළොත්, ඒ අපරාධය අපරාධයක් විදිහටත්, නිලධාරියා තවත් අපරාධකාරයෙක් විදිහටත්, සලකා පළමුවෙන් අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණයේ ක්‍රියාමාර්ග වලට අනුව පසුව තමයි විනය පියවර ගන්නේ"

එනම් නව පොලිස්පතිවරයා කියන්නේ තමන්ගේ යටතේ සිටින නිලධාරීන් අපරාධ සිදුකළා කියා තමන් ඔවුන්ව ආරක්ෂා නොකරන බව පමණක් නොව ඔවුන්ට ද අනෙක් සාමාන්‍ය අපරාධකරුවන්ට සේම රටේ නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙය පැහැදිලිවම කළු සුදු අන්තරාත්මකව පෙන්වන්නේ පසුගිය කාලයේ නාවික හමුදාවේ සහ යුද හමුදාවේ යම් යම් නිලධාරීන් ඉතා බිහිසුනු අපරාධ කිරීමෙන් පසු ඔවුන් පසුපස නීතිය ලුහුබඳිද්දී පවා නාවික හමුදාපතිලා සහ යුද හමුදාපතිලා නීතියට සහයෝගය නොදක්වා සිය යටත් නිලධාරීන් ආරක්ෂා කළ ආකාරයයි.

නේවි ආමි හමුදාපතිලාගේ දුෂ්ඨ පිළිවෙත උදාහරණ දෙකකින්..

එය කෙතරම් ඉතා දුෂ්ඨ වීද යන්න පෙන්නුම් කරන ප්‍රසිද්ධ සහගහන අපරාධ සිදුවීම් දෙකක් පමණක් උදාහරණ ලෙස දැක්විය හැකිය. 

එකක් නම් නාවික හමුදාවේ එවකට කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු ඉහල ඇවරියේ නිලධාරීන් පිරිසක් විසින් කප්පම් ලබා ගැනීමේ සාහසික අරමුණින් අහිංසක තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමලයේ ගන්සයිට් කඳවුරේ නීති විරෝධීව රහසේ රඳවා ගනිමින්, සමහරුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් ලබා ගැනීමෙන් ද අනතුරුව ඒ තරුණයින් 11 දෙනා ඝාතනය කර අතුරුදහන් කිරීමේ කුප්‍රකට අපරාධයයි. එම තරුණයන් අතර සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයින් පමණක් නොව යුද හමුදා මේජර් වරයෙකුගේ පුතෙකු ද විය. එම අපරාධය පිළිබඳ සීඅයිඩී විමර්ශන සිදුවෙද්දී හිටපු සියළුම නාවික හමුදාපතිවරු (ට්‍රැවිස් සින්නයියා හැර) තම අපරාධකාරී නිලධාරීන් ආරක්ෂා කිරීමට පියවර ගත්හ. අද සිටින නාවික හමුදාපති ගේ ද වෙනසක් පෙනෙන්නේ නැත.

මේ නාවික හමුදාපතිවරු තම අපරාධකාරී නිලධාරීන් ආරක්ෂා කළා පමණක් නොව සාමාන්‍යයෙන් නිලධාරියෙකුට විරුද්ධව අධිකරණයේ නඩුවක් විභාග වෙද්දී සේවාවෙන් වැඩ තහනම් කළ යුතු වුව ද එවැන්නක් කිසිවෙකුට සිදු නොකළහ. ඒ වෙනුවට ප්‍රධාන චුදිතයෙක් වූ කොමදෝරු ඩී.කේ.පී. දසනායකට රියර් අද්මිරාල් ධූරයට උසස්වීමක් ද ලබා දුන්නේ ය.

දෙවැනි උදාහරණය..

දෙවැනි සාහසික අපරාධය නම් ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදහන් කිරීමේ අපරාධයයි. ඊට ප්‍රධාන චුදිතයා වූ යුද හමුදාවේ එවකට ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වූ, එවකට  කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න නමැති අලුගෝසුවා ඇතුළු චුදිත අපරාධකාරී හමුදා නිලධාරීන් පිරිසට ද හිටපු සියළුම හමුදාපතිවරුන්ගේ අනුග්‍රහය ආරක්ෂාව ඉතා ඉහලින් ලැබිණ. යහපාලන යුගයේ මහේෂ් සේනානායක හමුදාපති වූවා  කියා වෙනසක් වූයේ ද නැත.  

ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු හමුදා නිලධාරීන්ට මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ගොනු කෙරුණේ බොහෝ කලකට ඉහත දී ය. හමුදා නිලධාරියෙකුට හෝ සෙබළෙකුට මහාධිකරණයකින් අධි චෝදනා බාර දුන් විට ඒ අවස්ථාවේ දී ම ඔවුන්ගේ සේවාව අත්හිටැවිය යුතුය. උසස්වීම් මෙන්ම වරප්‍රසාද ආදී කිසිවක් ලබා නොදිය යුතු ය. යළි ඒවා සක්‍රිය වන්නේ එම චෝදනාවන්ගෙන් ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වුවහොත් පමණි.

නමුත් ඒ කිසිවක් සිදුවූයේ නැත. චුදිත නිලධාරීන් සියල්ල තම නිලයන්හි රාජකාරි කළෝ ය. එපමණක් නොව පළමු විත්තිකාර ශම්මි අර්ජුන් කුමාරරත්නට කර්නල් නිලයේ සිට බ්‍රිගේඩියර් ධූරයට උසස්වීමක් ද ලබා දුන්නේ මහාධිකරණ නඩුව තිබියදී ම ය. 

එමෙන්ම ඉහත කී සියලුම යුද හමුදා අපරාධකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දී,  යුධ හමුදා බුද්ධි ඒකකය විසින් නිලධාරීන් සහ සෙබළුන් අනුයුක්ත කරමින් ආහාර සහ සියළුම අවශ්‍ය දේ නොපමාවම ඔවුන් වෙත ලබා දුන්නේ ය. වෙනකක් තබා, සෑම සතියකට වරක්ම බන්ධනාගාර නිලධාරීන් සමග සම්බන්ධ වෙමින් පාටි දැමීමට මත්පැන් බෝතල් පවා ලබා දුන්නේ ය.

අද සිටින හමුදාපතිවරයාගේ ද කියා වෙනසක් අපි නම් නොදකිමු. 

ඒ අනුව නව පොලිස්පතිවරයා ලෙස අද රාජකාරි ආරම්භ කරමින් නීතිඥ ප්‍රියන්ත වීරසූරිය කළ ප්‍රසිද්ධ ප්‍රකාශය, අපරාධකාරි තම පහල නිලධාරීන් ආරක්ෂා කළ යුද හමුදාපතිවරුන්ට සහ නාවික හමුදාපතිවරුන්ට ඍජුවම එල්ල කළ කණේ පහරක් ලෙස සියලු නීතිප්‍රේමී රටවැසියන්ගේ ප්‍රශංසාවට භාජනය විය යුතුය.

චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව‍
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2025-08-14 20:25:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links