-විශේෂ ලියුම්කරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.15, ප.ව.10.30) "මා ජීවතුන් අතර සිටින තුරු අනුර කුමාර දිසානායකට ජනාධිපති වන්නට ඉඩ දෙන්නේ නැතැයි" ශ්‍රී ලංකාවේ නෂ්ඨාවශේෂ බවට පත්වෙමින් යන රදලයන්ගේ අවසන් පරපුරේ නෂ්ඨයක් වූ ලොහාන් එවින්ද්‍ර රත්වත්තේ හෙවත් ලොහාන් රත්වත්තේ පසුගිය ජනාධිපතිවරණයට පෙර ප්‍රසිද්ධ වේදිකාවේ වහසි බස් දෙඩූවේ ය. අනුර කුමාර දිසානායක ජනාධිපති වී වසරක් ගත වීමට පෙර එදා වහසි බස් දෙඩූ ලොහාන් රත්වත්තේ අද මරු රැගෙන ගොස් තිබේ.
පසුගිය ගෝඨාභයගේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙකු වූ ලොහාන් රත්වත්තේ පසුගිය කාලයේ දැඩි ලෙස රෝගාතුරව සිටි අතර, අද(15) උදෑසන මිය ගියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දී ය. මියයන විට ඔහු සිටියේ 57 වැනි වියේ දී ය. 1968 ජූනි 22 උපන් ලොහාන් එවින්ද්‍ර රත්වත්තේ අනුරුද්ධ රත්වත්තේ සහ කාමන් රත්වත්තේ දෙපලගේ වැඩිමහල් පුත්‍රයා විය.
1994 දී චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාධිපතිනිය වීමෙන් අනතුරුව ආරක්ෂක ඇමැතිධූරය තම අත තබා ගත් ඇය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දුන්නේ තම මාමණ්ඩියක වන අනුරුද්ධ රත්වත්තේ ට ය. නිල වශයෙන් නියෝජ්‍ය වුවද සත්‍ය වශයෙන්ම අනුරුද්ධ දැරුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිධූරය නොව ආරක්ෂක ඇමැතිධූරයම ය.
තරුණ වියේ දී ම තම පියා රටේ ආරක්ෂක ඇමැතිවරයා වීමත්, එවක දී යුද්ධය පැවැතීමත් හේතුවෙන් ලොහාන් හැසිරුනේ නිල රදල චන්ඩියෙකු ලෙස ය. ආරක්ෂකයන් පිරිවරා ගෙන සල්ලාල ජීවිතයක් ගත කළ ඔහු අත නිතරම ගිනි අවි තිබිණ. එවන් එක් අවස්ථාවක එනම් 1997 දී රාත්‍රී සමාජ ශාලාවක දී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් එවකට ලංකාවට පැමිණ සිටි රගර් පුහුණුකරුවෙකු වු ජොඑල් ප්‍රේරා නම් විදේශිකයෙකුට ඔහු ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමුවේ දෙනෝ දහක් බලා සිටිය දී ය. නමුත් පියා ආරක්ෂක නියෝජ්‍ය ඇමැති වීමත්, ජනාධිපතිනිය ගේ ඥාතීත්වයත් හේතු කොට ලොහාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. අද බුද්ධ පූජාව මෙන් කතා කරන චන්ද්‍රිකා එදා සිය මාමණ්ඩියට කීවේ පුත්තු නිසා තම ආණ්ඩුවට ද අවලාද අහන්නට සිදුවන බැවින් කලකට ඔවුන් රටින් පිටකර තබන ලෙසයි. ඒ අනුව ලොහාන් ටික කලක් රටින් බැහැරව සිට ජොඑල් ප්‍රේරාගේ ඝාතනයේ උණුසුම පහව යෑමෙන් පසු යළි සිය රට ආවේ ය.
ඉන් අනතුරුව 2001 පැවැති මහ මැතිවරණයේ දී කවුරුත් දන්නා උඩතලවින්න දස පුද්ගල ඝාතනය සිදුවිය. මුස්ලිම් තරුණයන් දස දෙනෙකු එකම ස්ථානයක දී මහ දවල් ඝාතනය කිරීම අනුරුද්ධ රත්වත්තේගේ බල ප්‍රදේශයේ සිදුකළ තිරශ්චීන ඝාතනයකි. ඒ සම්බන්ධයෙන් ඝාතකයන් සමග ලොහාන් රත්වත්තේ ද, ඔහුගේ මල්ලී චානුක ද ගිනි අවි සහිතව සිටි බවට ඇසින් දුටු සාක්කි තිබුනේ වී නමුත් ටික කලක් ලොහාන් ද, සොයුරු චානුක ද, පියා අනුරුද්ධ ද රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට එළියට ආවෝ ය. ඒ නඩු කටයුත්ත අවසානයේ පිය පුතු තිදෙනා නිදහස් වූ අතර ඝාතනයන් සිදුකළ බවට යුද හමුදාවේ පස් දෙනෙකුට දඬුවම් නියම විය. ඇසින් දුටු සාක්ෂි තිබිය දීත් රත්වත්තේලා නිදහස් වූයේ මන්දැයි මෙසිරි ලංකාවේ කාටවත් පැහැදිලි කළ යුතු කාරණයක් නොවේ.
තමන්ට බලය තිබූ කාල වල දී ලොහාන් කළ ප්‍රධාන කාරියක් වූයේ අනුන් සතු ව්‍යාපාර බලහත්කාරයෙන් අල්ලා ගැනීමයි. අල්ලා ගත්තද ඔහුට ඒවා කරගෙන යෑමට කිසිදු දියුණු හැකියාවක් තිබුනේ නැති අතර කෙළේ ඒවා විකුණා ලැබෙන මුදල් වලින් පිස්සු කෙළීම ය.
චන්ද්‍රිකාගේ බලය ගිලිහී එය රාජපක්ෂලා අතට සංක්‍රමණය වෙද්දී ලොහාන් කෙළේ චන්ද්‍රිකාට තිබූ ඥාතීත්වය අමතක කර දමා රාජපක්ෂලා ට හේත්තු වීම ය. රාජපක්ෂලාද කෙළේ ලොහාන්ගෙන් ප්‍රයෝජන ගැනීම ය. අවසානයේ ලොහාන්ට සිය දියණියක ද රාජපක්ෂ පුතෙකුට දන් දෙන්නට සිදුවිය. නමුත් රාජපක්ෂලාගෙන් ලොහාන්ට රාජ්‍ය ඇමැතිධූරයකට එහා යමක් ලැබුනේ නැත.
පසුගිය ගෝඨාභයගේ කාලයේ බන්ධනාගාරය භාරව ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළ ලොහාන් රත්වත්තේ සිදුකළ ජුගුප්සාජනක ප්‍රසිද්ධ මැර ක්‍රියා කිහිපයකි.
අනුරාධපුරයේ සිරකඳවුරට බීමතින් ගොස් දඬුවම් ලබමින් සිටි දෙමළ සිරකරුවන් කැඳවා, දණගස්වා, ඔවුන්ගේ කටට සිය පිස්තෝලය ඔබා, මරණ තර්ජන කිරීම ඉන් ප්‍රධාන ය. තවත් විටෙක වැලිකඩ බන්ධනාගාරයට මහා රාත්‍රියේ සිය අනියම් නාරි මාංශයක ද සමග බීමත්ව නීති විරෝධීව ඇතුළු වී ඇයගේ මනදොළ පිනවීම පිණිස එල්ලුම් ගස පෙන්වීමට ක්‍රියා කෙළේ ය. තවත් විටෙක අනුරාධපුර රුවන්වැලි සෑ මහ මළුවට පාන්දරක බීමතින් ඇතුළු වීමට ගොස් එහි ආරක්ෂකයන් සමග කලහයක් ඇති කර ගත්තේ ය.
අනුරුද්ධ රත්වත්තේ මිය ගියේ ලොහාන් විසින් සිය පියා තල්ලු කිරීමක දී ඔහු උඩ මාලයේ සිට පඩි පෙළින් බිමට වැටීමෙන් සිදු වූ ආබාධ හේතුවෙන් යැයි ශ්‍රීලනිපයට සම්බන්ධ අය තුල කතාවක් තිබේ. වලව් තුල බොහෝ රහසිගත දෑ සිදුවන බැවින් අප ඒ ගැන ඇත්ත නැත්ත දන්නේ නැත.
පොදු මහජනතාවට නම් අද මිය ගිය ලොහාන් රත්වත්තේ ගැන කියන්නට කිසි හොඳ දෙයක් නැත. සමහර විටෙක ඔහුට සමීප, ඔහු සමග පිස්සු කෙළිය උන්ට සහ 'මැරුනත් අපි රත්වත්තේලාට' යයි කියා නෂ්ඨාවශේෂ රදලයන්ටම කඹුරන නෂ්ඨාවශේෂ බයියන්ට නම් කියන්නට 'හොඳ' දේ ඇත.
අපට කියන්නට ඇත්තේ "මා ජීවතුන් අතර සිටින තුරු අනුර කුමාර දිසානායකට ජනාධිපති වන්නට ඉඩ දෙන්නේ නැතැයි" කී ලොහාන් රත්වත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපති වනවා දුටුවා සේ ම, ඔහු ඉදිරියට කරන්නේ කුමක්ද කියා දකින්නටත්, තමන්ට සිදු වෙන්නේ කුමක්ද කියා විඳින්නටත්, තව ටික කලක් හෝ ජීවත් වූවා නම් හොඳයි කියා ය.
අනිද්දා 17 දා පස්වරු 5 ට මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේ දී ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත ය.
---------------------------
by (2025-08-15 19:01:37)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි