-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.15, ප.ව.11.00) වසර 1964 මාර්තු 31 වන දින රාත්‍රියේ, බ්‍රසීල හමුදාව කුමන්ත්‍රණයකින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පැමිණි, නීත්‍යානුකූල ජනාධිපති ජෝඕ ගූලාර්ට් බලයෙන් පහ කළේය. ඒ සමඟ දශක දෙකකට වැඩි කාලයක් පවතින ඒකාධිපති පාලනයක් ආරම්භ විය. ජනාධිපති ජෝඕ ගූලාර්ට් බලයෙන් පහ කිරීමට හේතු වූයේ ඔහු ගෙන ගිය වාමාංශික, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය. ජනාධිපති ගූලාර්ට් බ්‍රසීලයේ බහුතරයක් වූ ගොවි කම්කරු ජනතා වෙනුවෙන් කෘෂිකාර්මික සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදුන්නේ ය. දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් මැදිහත් විය. එහෙත් ඔහුගේ ප්‍රගතිශීලී වැඩපිළිවෙළට බ්‍රසීල හමුදා ප්‍රධානීන්, ධනවතුන්, කතෝලික පල්ලිය ඇතුළු දක්ෂිණාංශික බලවේග විරුද්ධ වූයේ රට කොමියුනිස්ට් පාලනයකට ගෙන යන බවට චෝදනා කරමිනි. ජනාධිපති ගූලාර්ට් බලයෙන් පහ කිරීමේ ප්‍රධාන බලවේගයක් වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. තමන්ට ගැති රූකඩ පාලනයක් බ්‍රසීලයේ ස්ථාපිත කිරීම ඔවුන්ගේ ඉලක්කය විය. බ්‍රසීල හමුදා ජුන්ටා පාලනය නිළ වශයෙන් පිලිගත් පළමු රාජ්‍යය වූයේ ද ඇමරිකාවයි. ඔවුහු දශක දෙකකට අධික කාලයක් පුරා හමුදා ජුන්ටාවට මූල්‍ය ආධාර සහ අවි ආයුධ සැපයූහ. නව හමුදා පාලනය බ්‍රසීලයේ “ප්‍රජාතන්ත්‍රවාදී” සමාජයක් බිහි කිරීමේ ප්‍රවේශයක් වශයෙන් ඔවුහු අර්ථ දැක්වූහ. ජනාධිපති ජෝඕ ගූලාර්ට් බලයෙන් පහ කිරීමත් සමඟ වසර 1946 සිට 1964 දක්වා පැවති සිව්වන බ්‍රසීල ජනරජය නිමාවිය.
එතැන් සිට වසර 1985 දක්වා දශක දෙකකට අධික කාලයක් බ්‍රසීලය හමුදා ආඥාදායකත්වයකට යටත් වූ අතර මේ කාලයේදී හමුදා ජුන්ටාව බ්‍රසීල පාර්ලිමේන්තුව (කොන්ග්‍රසය) සහ එරට දේශපාලන පක්ෂ සියල්ල විසුරුවා හරිනු ලැබීය. හමුදා පාලනයට එරෙහි වූ දේශපාලනඥයන්, කම්කරුවන්, වෘත්තිය සමිති ක්‍රියාකාරීන්, ශිෂ්‍ය නායකයන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් දහස් ගණනින් අත්අඩංගුවට ගෙන වදබන්ධයට ලක් කෙරිණි. මේ අතරින් සිය ගණනක් අනීතික ලෙස ඝාතනය කර දැමූ ජුන්ටාව, ඔවුන් “අතුරුදහන්” වූවන් ලෙස නම් කරනු ලැබීය. බ්‍රසීල හමුදා කුමන්ත්‍රණය සිදු වන විට දහනම හැවිරිදි තරුණයෙකු වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ඉදිරි දශක දෙකක කාලයේ දී කම්කරුවෙකු, වෘත්තීය සමිති නායකයෙකු වශයෙන් ඇමරිකාව ස්ථාපිත කළ හමුදා ජුන්ටා පාලනයට එරෙහිව සටන් කළේ ය. බ්‍රසීල හමුදා කුමන්ත්‍රණයෙන් දශක හයකට පසුව ද ලූලා ද සිල්වාට, ඇමරිකානු බලපෑමෙන් සිය රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් කිරීමට සිදුව තිබෙයි. මෙවර ඔහු ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව සටන් කරන්නේ බ්‍රසීල ජනාධිපතිවරයා වශයෙනි.
වසර 2024 දී, ඇමරිකා එක්සත් ජනපදය බ්‍රසීලය සමඟ සිදු කළ වෙළඳපොළ ගණුදෙනුවලදී ඩොලර් බිලියන 7.4 ක වෙළඳ අතිරික්තයක් පවත්වා ගෙන යෑමට සමත් විය. එයින් අදහස් කරන්නේ එක්සත් ජනපදය බ්‍රසීලයෙන් ආනයනය කළ භාණ්ඩවලට වඩා වැඩි භාණ්ඩ බ්‍රසීලයට අපනයනය කළ බවයි. දෙරට අතර සමස්ත වෙළඳ වටිනාකම ඩොලර් බිලියන 92 ක් වූ අතර වෙළෙඳ වාසිය ලැබී තිබෙන්නේ ඇමරිකාවටය. ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වාදුන් තීරුබදු (tariff) හි මූලික අරමුණ වූයේ ඇමරිකාවට වෙළෙඳ අවාසියක් සහිත රටවල් මට්ටු කිරීමය. ඒ අනුව බ්‍රසීලයට එරෙහිව “ට්‍රම්ප් තීරුබදු” පැනවීමට අවශ්‍යතාවයක් නැත. එවැනි තීරුබදු සඳහා කිසිදු තර්කානුකූල පදනමක් හඳුනාගත නොහැකිය. එහෙත් ඉහළම “ට්‍රම්ප් තීරුබදු” ප්‍රතිශතයක් පනවා ඇත්තේ බ්‍රසීලයට එරෙහිව ය. බ්‍රසීලයට අලුතින් පනවා ඇති තීරුබද්ද සියයට පනහකි.!
බ්‍රසීලයට එරෙහිව සියයට පනහක තීරුබද්දක් පැනවීමේ පදනම කුමක් ද? එය පැහැදිලිව දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් පැන වූ බද්දකි. දකුණු ඇමරිකාවේ හිට්ලර් යැයි තමන් විසින් හඳුන්වාගන්නා බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝ නීතිවිරෝධී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලය ලබා ගැනීමට උත්සාහ කිරීම පිළිබඳ පැවැත්වෙන නඩු විභාගය ඉලක්ක කර ගත්තකි.
ට්‍රම්ප්, සිය සහෝදර ඒකාධිපතියා වන බොල්සනාරෝ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම වැළැක්වීම සඳහා බ්‍රසීලයට එරෙහිව සියයට පනහක තීරු බදු පැනවීමට තීරණය කළේ ය. ඔහුගේ තර්ජනය වූයේ බොල්සනාරෝ සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාමාර්ග වහාම අත්හැර නොදැමුවහොත් බ්‍රසීලයට එරෙහිව සියයට පනහක තීරු බදු මගින් එම රට විනාශ කරන බවයි.
හමුදා කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමේ වරදට බොල්සනාරෝට දඬුවම් ලබාදීම වැළැක්වීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැවැන්ත දේශපාලන මැදිහත්වීමක් සහ තර්ජනයක් බ්‍රසීල රජයට සහ එරට අධිකරණ පද්ධතියට එල්ල කරමින් සිටියි. ඔහු බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් එකළොස් දෙනාගෙන් අටදෙනෙකුට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කළේ ය. බොල්සනාරෝට එරෙහි නඩුව විභාග කරන බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Alexander de Moraes ට එරෙහිව සම්බාධක පැනවීය. කීර්තිමත් Economist සඟරාව පෙන්වාදෙන ආකාරයට ශීතල යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය, ලතින් ඇමරිකානු රාජ්‍යයක දේශපාලන බලය වෙනස් කිරීමට මෙතරම් තීව්‍ර ලෙස මැදිහත්වී නැත.
මේ අගෝස්තු මාසයේ ආරම්භයේ සිට බ්‍රසීල ආනයන සඳහා ඇමරිකාව සියයට පනහක බදු ප්‍රමාණයක් අය කරයි. එය ට්‍රම්ප්ගේ ඉහළම බදු ප්‍රමාණයයි. මේ ආනයන බදු හරහා ඔහු බලාපොරොත්තු වූයේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා තමා ඉදිරියේ දණ ගසා, සුවච කීකරු බලු කුක්කෙකු සේ අවනත වනු ඇති බවයි. බොල්සනාරෝට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගෙන ඔහුගේ දේශපාලන සහ ආර්ථික කොන්දේසි ඉටු කරනු ඇති බවයි. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඇතුළු ලෝක බලවතුන් බොහෝ දෙනෙක් මෙසේ ට්‍රම්ප් ඉදිරියේ දණ ගැසූහ. එහෙත් ලූලා ද සිල්වා ට්‍රම්ප්ගේ සියයට පනහක ආනයන බද්ද තඹ පයිසෙකට මායිම් කළේ නැත. මෙය ඇමරිකානු ජනාධිපතිවරයා කිසිවිටෙක බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයකි. නව ආනයන බද්ද ක්‍රියාත්මකවීමෙන් දින කිහිපයකට පසුව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට ඕනෑම මෙහොතක තමා ඇමතීමට හැකි බව ට්‍රම්ප් කියා සිටියේ තම බලාපොරොත්තු වූ දණින් වැටීම සිදු නොවූ බැවිනි.
බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා පසුගිය අගෝස්තු 6 වන දා “රොයිටර්” පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සෘජු සාකච්ඡා සඳහා දැන් ඉඩක් නොමැති බවයි.
"ට්‍රම්ප්ට කතා කිරීමට සූදානම් බව මගේ බුද්ධිය පවසන දින, මම ඔහුට කතා කිරීමට පසුබට නොවෙමි" යැයි පවසන ලූලා, දැනට ට්‍රම්ප් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි. "නමුත් අද මගේ බුද්ධිය පවසන්නේ ඔහුට කතා කිරීමට කැමති නැති බවයි. එවැනි තත්ත්වයක දී මම මාවම අවමානයට ලක් කර ගන්නේ නැත”. වසර 2022 මැතිවරණය අවලංගු කිරීමට හමුදා කුමන්ත්‍රණයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දී සිටින දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව නඩු පැවරීම වැළැක්වීම සඳහා වන ට්‍රම්ප්ගේ ඉල්ලීම සමඟ නව තීරුබදු සම්බන්ධ කිරීමෙන් පසුව, වසර දෙසියයකට අධික කාලයක් පැවති ඇමරිකා-බ්‍රසීල සබඳතා පහළම මට්ටමට ඇදවැටී ඇතැයි ලූලා කියා සිටියි.
‘බොල්සොනාරෝට එරෙහි නඩුව විභාග කරන බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප් කියන දේ ගණන් ගන්නේ නැහැ. ඒ වගේම ගණන් නොගත යුතුයි’ යනුවෙන් පවසන ජනාධිපති ලූලා, ට්‍රම්ප්ගේ මැදිහත්වීම නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බොල්සොනාරෝට එරෙහිව පරීක්ෂණයක් කළ යුතු බව ප්‍රකාශ කළේ ය. "1964 කුමන්ත්‍රණයේදී එක්සත් ජනපද මැදිහත්වීමට අපි දැනටමත් සමාව දී තිබෙනවා. එහෙත් දැන් මෙය කුඩා මැදිහත්වීමක් නොවේ. බ්‍රසීලය වැනි ස්වෛරී රටක් සඳහා නීති රීති නියම කළ හැකි යැයි ඇමරිකානු ජනාධිපතිවරයා සිතමින් සිටියි. එය පිළිගත නොහැකියි." ට්‍රම්ප් සමඟ තමාට පෞද්ගලික ගැටළු නොමැති බව පැවසූ බ්‍රසීල ජනාධිපතිවරයා, ලබන මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී හෝ නොවැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡාවලදී ඔවුන්ට හමුවිය හැකි බව පැවසීය. එහෙත් ධවල මන්දිරයේ දී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමෆෝසාගේ සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ “රෙදි ගැලවීමේ” නින්දා සහගත ඉතිහාසයක් ට්‍රම්ප්ට තිබෙන බව ඔහු “රොයිටර්” පුවත් සේවයට පෙන්වා දුන්නේ ය. "ට්‍රම්ප් සෙලෙන්ස්කිට කළ දේ නින්දාවකි. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ට්‍රම්ප් රාමෆෝසාට කළ දේ නින්දාවකි. එක් ජනාධිපතිවරයෙකු තවත් ජනාධිපතිවරයෙකු නින්දාවට පත් කළ නොහැකියි. මම සැමට ගරු කරන අතර මම ද ගෞරවය පෙරලා බලාපොරොත්තු වෙමි” යැයි ලූලා පැවසීය.
ට්‍රම්ප්ට බ්‍රසීල සහ ජනාධිපති ලූලා සමඟ තවත් ආරෝවක් පවතියි. ඒ බ්‍රසීලය සහ ලූලා BRICS සංවිධානයේ නායකයන්වීමය. BRICS යනු රටවල් දහයකින් සමන්විත අන්තර් රාජ්‍ය සංවිධානයකි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි සාමාජිකයෝ වෙති. පසුගිය දා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති BRICS සමුළුවට පෙර ජනාධිපති ට්‍රම්ප් BRICS රාජ්‍ය එකතුව "ඇමරිකානු විරෝධී" සංවිධානයක් ලෙස හංවඩු ගැසූ අතර එම රටවලින් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා අතිරේක 10% ක තීරුබදු පනවන බවට තර්ජනය කළේ ය. එහෙත් එම තර්ජනවලට ලූලා හෝ BRICS රාජ්‍ය එකතුව බිය වූයේ නැත. ඇමරිකානු තීරුබදු වලට ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලූලා, ඉන්දීය සහ චීන රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව රොයිටර්” පුවත් සේවයට හෙළි කළේ ය. ඉන් පසුව BRICS කණ්ඩායමේ නායකයින් කැඳවා ඇමරිකානු තීරුබදු වලට එරෙහිව ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීම ජනාධිපති ලූලාගේ ඉලක්කයයි.
ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යනු ශරීරයෙන් කුඩා මිනිසෙකි. එහෙත් ඔහුට දැවැන්ත දේශපාලන පෞර්ෂයක් තිබේ. යුරෝපයේ සුපිරි බලවතුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙපා ලෙවකන විට ලූලා නිර්භීතව ඉහළම ආනයන බද්දට මුහුණ දුන්නේ ය. ට්‍රම්ප් බ්‍රසීලයේ අධිකරණ පද්ධතියට සහ රටේ සෛවරීත්වය අභියෝග කරන විට එයට මුහුණදීමට අවශ්‍ය දේශපාලන ධෛර්ය, අධිෂ්ඨාන ලූලා සතු විය. ඔහු නව ඇමරිකානු අධිරාජ්‍යවාදයට මුහුණදීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල එකතුව වන BRICS සංවිධානය සංවිධානය කරමින් සිටියි. මේ උත්සාහයන් අසාර්ථක විය හැකිය. එහෙත් මෙහිදී වැදගත් වන්නේ සතුරා ඉදිරියේ දණින් නොවැටී සටන් කිරීමය. තමාගේ මෙන්ම තම දේශයේ අභිමානය රැක ගැනීමය. අර්නස්ට් හෙමිංවේ පැවසූ පරිදි “මිනිසෙකු විනාශ කළ හැකිය, එහෙත් පරාජය කළ නොහැකිය”.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
ප.ලි.
බ්‍රසීල හමුදා ජුන්ටා පාලන සමයේ (වසර 1964-1985) සත්‍ය සිදුවීමක් පසුබිම් කරගනිමින් වසර 2024 දී “I'm Still Here” නමින් විශිෂ්ට සිනමා නිර්මාණයක් බිහිවිය. වෝල්ටර් සාල්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ දේශපාලන චරිතාපදානය රූබන්ස් පයිවා නම් බ්‍රසීල කොන්ග්‍රස් මන්ත්‍රීවරයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය වටා නිර්මානය වී ඇත. මේ සිනමා කෘතිය එම වසරේ ඇකඩමි සම්මාන උළෙලේ විශිෂ්ටතම ජාත්‍යන්තර සිනමා කෘතියට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර බ්‍රසීල සිනමා නිර්මාණයක් ඇකඩමි සම්මාන උළෙලේ සම්මානයක් දිනාගත් ප්‍රථම අවස්ථාවයි. මේ කෘතිය ලංකාවේ අපට Netflix හරහා නැරඹිය හැකිය.
---------------------------
by (2025-08-15 17:48:53)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි